අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දෝෂ මූල සිත් දෙක

  1. දෝමනස්ස සහගත පටිඝසම්පයුත්ත අසංඛාරික සිත (දුක් වේදනා සහිත පටිඝය හෙවත් කිපීමෙන් යුක්ත වූ මෙහෙයීමක් නැති සිත.)
  2. දෝමනස්ස සහගත පටිඝසම්පයුත්ත සසංඛාරික සිත (දුක් වේදනා සහිත පටිඝය හෙවත් කිපීමෙන් යුක්ත වූ මෙහෙයීමක් ඇති සිත.)
පළමුවෙනි දෝෂ මූල සිත

අමනාප වූ, අප්‍රිය වූ, නො කැමැති වූ අරමුණක් හමුවූ විට, ඒ අරමුණ නිසා සිතෙහි යම් අප්‍රසන්න බවක්, කිලිටි බවක්, දුක් සහිත බවක් හටගනී නම් එකල්හි දෝමනස්ස වේදනාව උපදී.

මේ අරමුණ තමන්ට සතුරු බැවින්, එය නැති කිරීමට, නැසීමට පෙලීමට, කැමැති වේ. එයට පටිඝය ක්‍රෝධය, තරහව යයි කියනු ලැබේ. දොම්නස් වේදනා සහිත වූ පටිඝය හා යෙදුන සිත දොමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිතය. මෙහෙයීමක්, අනු බලයක්, උනන්දු කරවීමක් නැතිව හටගන්නා මේ සිත අසංඛාරික සිතක් වේ.

මේ පටිඝ සිත ඇති වීමට ප්‍රධාන කරුණු නම්:

  1. අමනාප අරමුණක් හමුවීම.
  2. නිතර කිපෙන බව සහ තරහ ගති ඇති බව.
  3. නූගත් කම.
  4. අරමුණ ගැන දුර දිග කල්පනා නො කිරීම.

පටිඝ සිත් ඇති වූ විට, යහපත අයහපත, වරද නිවරද, නො පෙනේ. නිතරම සිතෙහි තැවීම ඇති කරන්නේ ය. කණගාටු වත්, සොකයත් ඇති වීමෙන් ශරීරයෙහි වියළි ස්වභාවයක් ද ඇති වේ. වර්ණය ද වෙනස් වේ. සිත තුළ තැවීම ඉවසා ගත නො හැකිව හඬන්නට ද පටන් ගන්නේ ය. තද පරුෂ වචන ද මුවින් පිට වේ. අත් වලින් තම හිසටත් පපුවටත් ගසා ගනී. ළඟ තිබෙන යමක් රැගෙන, සමීපයෙහි සිටි කෙනෙකුට හෝ වස්තුවකට පහර දෙයි. පරපණ නැසීමටත් සිය පණ හානිකර ගැනීමටත් මෙයම හේතු වේ.

කෙනෙක් ජරාවට පැමිණෙන විට ද සොක කරන්නේ ය. නොයෙක් ශරීරාබාධ ඇතිවූ විටද, හිතවත් නෑ මිතුරන්ගේ විපතෙහිද, මරණයෙහි ද, අප්‍රියන් හමුවූ විට ද, ප්‍රියයන්ගෙන් වෙන් වූ විට ද, තමන් කැමති දේ නොලැබීමේදී ද, මේ පටිඝසිත් උපදී.

තවද, අනුන්ගේ සම්පත, දියුණුව නොරුස්නා, නො ඉවසන බවයයි කියන ලද ඊෂ්‍යාවද, තම සම්පත අනුන්ට නො වේවායි සැඟ වීම ඇති මසුරු බව හෙවත් මච්ඡරිය ද, කළ වරද හා නො කළ යහපත ගැන පසුව තැවීම නම් වූ පසුතැවිල්ල හෙවත් කුක්කුච්චයද මේ ද්වේෂ සිත්හිම හට ගනී. මරණාසන්න කාලයේදී ද මේ සිත් බහුලව හට ගැනීමෙන් සතර අපා දුකට ද පමුණුවනු ලැබේ.

ප්‍රාණඝාතය, ප්‍රාණවධය, සත්ත්ව හිංසා කිරීම, පරුෂ වචන කීම අනුන් නැසේවා යි සිතන ව්‍යාපාදය මේ පටිඝ සිතෙහි නියතය.

සොරකම් කිරීම, බොරු කීම, කේලාම් කීම සහ සම්ඵප්පලාපය නම් වූ හිස් කථා කිරීම යන අකුසල් සතර මේ සිතෙහි අනියතය.

සතෙකුගේ මස් කෑමට ඉතා ආශාවෙන් සිටින විට ලොභ සිත් උපදී. නමුත් සත්ත්වයා ජීවත්ව සිටින තාක් කල් තම අදහස ඉටු කර ගැනීමට නුපුළුවන. සත්ත්වයා නො මළහොත් මස් කෑමකුත් නැත. ඒ නිසා තම අදහස ඉටුකර ගැනීමට බාධා කරන මේ සත්ත්වයාගේ ප්‍රාණය සිඳීමට හෙවත් සත්වයා මැරීමට කැමැත්ත ඇති වේ. මෙතැන් පටන් ඔහුට ඇති වන්නේ පටිඝ සිත් ය. එවිට ආයුධයක් රැගෙන තම අතින් හෝ අනුන් ලවා හෝ ඒ සත්ත්වයාගේ ප්‍රාණයත් සිඳ දමන්නේ ය. ප්‍රාණඝාත අකුසල කර්ම පථය මේ පටිඝ සිතින් සම්පූර්ණ වන්නේ ය.

දෙවැනි දොෂමූල සිත

දෙවැනි දොෂමූල සිත ද පළමුවෙනි දොෂමූල සිතට බොහෝ සෙයින් සමානය. වෙනස නම් මේ සිතෙහි මෙහෙයීමක් අනුබලයක් උනන්දු කරවීමක් ඇති නිසා සසඞ්ඛාරික වීමය.

පෘථග්ජන පුද්ගලයන්ට වැඩි වශයෙන් පහළවන්නේ මේ පටිඝ සිත් බව අවබෝධ කරගෙන එයින් වැළකීම පිණිස සිහිනුවණින් යුක්තව වාසය කළ යුතුයි.