අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූපාවචර ක්‍රියා සිත් පහ

  1. විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත පඨමජ්ඣාන ක්‍රියා සිත.
  2. විචාර පීති සුඛ එකග්ගතා සහිත දුතියජ්ඣාන ක්‍රියා සිත.
  3. පීති සුඛ එකග්ගතා සහිත තතියජ්ඣාන ක්‍රියා සිත.
  4. සුඛ එකග්ගතා සහිත චතුත්ථජ්ඣාන ක්‍රියා සිත.
  5. උපෙක්ඛා එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන ක්‍රියා සිත.

රූපාවචර ධ්‍යාන සිත් පහ, රහත් නොවූ පුද්ගලයන්ට ඇති වූ කල්හි, කුසල් සිත් යයි ද, රහතන් වහන්සේලාට ඇති වූ කල්හි, ක්‍රියා සිත් යයි ද, කියනු ලැබේ. මේ ක්‍රියා සිත්හි වේදනාදී භේද පෙර සේම දතයුතුයි. රහතන් වහන්සේලා මේ රූපාවචර ධ්‍යාන සිත් උපදවා ගනු ලබන්නේ විවේක සැපය විඳිනු සඳහාය. තවද, මේ රූපාවචර ධ්‍යාන මෙසේ උපදවා, අරූපාවචර ධ්‍යානයන් ද වඩා, අෂ්ට සමාපත්තිලාභීව, ඉහාත්මයෙහිම නිවන් සුව විඳීම යයි කියන ලද නිරෝධ සමාපත්තියට සම වැදීම පිණිස ද, මේ ධ්‍යාන සිත් උපදවා ගන්නා බව දතයුතු. මතු භවයක් නැති හෙයින් විපාක ශක්තියක් නැති, ධ්‍යාන ක්‍රියා සිත් ම රහතන් වහන්සේලාට උපදින් නාහ.

මේ රූපාවචර ධ්‍යාන පස ලැබූ යෝගාවචර තෙමේ පස් වැනි ධ්‍යානය, ඉහත කියන ලද පස් ආකාරයෙන් පුරුදු කොට, පඤ්චාභිඥා උපදවන්නේ ය. මේ පඤ්චාභිඥාවෝ පඤ්චමධ්‍යානයාගේ ම ආනිශංසයෝ යි. පඤ්චාභිඥා නම් (1) සෘද්ධි විධඥාණය. (2) පර චිත්ත විජානනඥාන ය. (3) පුබ්බේනිවාසානුස්සති ඤාණය. (4) දිව්‍යචක්ෂුරභිඥාන ය. (5) දිව්‍යශ්‍රෝත්‍රඥානය යන අභිඥා පසය. මේ අභිඥා ලබන පුද්ගලයෝ සදෙනකි. (1) කර්මවාදී ක්‍රියාවාදී තීර්ථක තවුස් ආදී පෘථග්ජනයා ය. (2) සාමාන්‍ය රහතන් වහන්සේ ය (3) අසූමහාශ්‍රාවකයෝ ය, (4) අග්‍ර ශ්‍රාවක දෙදෙනාවහන්සේ ය. (5) පසේ බුදුන්වහන්සේ ය. (6) සර්‍වඥ බුදුන්වහන්සේ ය. මෙයින් නො රහත් වූ සියලුදෙනාම පඤ්චමධ්‍යාන කුසල් සිත අභිඥා බවට පමුණුවා ගනී. රහත්වූ අන්‍ය ආර්‍ය්‍ය පුද්ගල පස්දෙනා වහන්සේ පංචමධ්‍යාන ක්‍රියා සිතින් අභිඥා උපදවා ගන්නා සේක.

සෘද්ධිවිධ ඤාණය ලබනු කැමති යෝගාවචර තෙමේ භූත කසිණ සතර සහ වර්ණ කසිණ සතර යන කසිණ අට වෙන් වෙන් වශයෙන් අරමුණු කොට අෂ්ටසමාපත්ති ඉපද විය යුතුයි. එය ද අනුලෝම පටිලෝම යනා දී වශයෙන් දාහතර (14) ආකාරයෙකින් පුරුදු කොට පංචමධ්‍යාන සිත උපදවා ගෙන එයට අනතුරුව ප්‍රත්‍යවේක්ෂා ජවන චිත්තයන්ගේ කෙළවර අධිෂ්ඨාන කළ පරිදි සිය දහස් ගණන් රූප මැවීම, පොළොව කිමිදීම, අහසින් යාම යනා දී සෘද්ධි උපදවා ගන්නේ ය.

පරචිත්තවිජානනඥානය නම් අනුන්ගේ සිත් දැන ගන්නා නුවණය. එයට චෙතොපරියඥානය යයි ද කියනු ලැබේ. මෙතෙමේ ආලෝ කය වඩා දිවැසින් අනුන් ගේ හෘදයවස්තුව බලා එහි පවතින ලේ ධාතුවෙහි වර්ණයෙන් සිත මෙබඳු යයි කියන්නේ ය. පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ පුබ්බෙ නිවාසානුස්සති ඤාණය නමි. හෙතෙමේ තමා හිඳින ස්ථානයේ විස්තර පටන් ක්‍රමයෙන් ගත වූ තැන් සිතමින් පටිසන්ධිය දක්වා මෙනෙහි කොට, එයින් නො නැවතී පූර්ව ජන්මයෙහි චුතික්ෂණය ආදි වශයෙන් පෙර කඳ පිළිවෙල මෙනෙහි කරන්නේ ය.

දිව්‍යචක්ෂුරභිඥානය නම් භාවනා බලයෙන් නිපදවා ගත් ප්‍රඥා චක්ෂුසයෙන්, ඉතා ඈත රූප පවා දෙවියන්ගේ ඇස්වලින් බලන් නාක් මෙන් පිරිසිදුව දැකීමට උපදවා ගත් ඤාණයකි. සුගති දුගති දෙකට යන්නා වූ සත්වයන් ද, එයට හේතු වූ කර්ම ද ඒ නුවණින් දත හැකි වේ.

දිව්‍ය ශ්‍රෝතඥානය නම් දෙවියන් ගේ ශ්‍රෝතය මෙන් දුර ශබ්ද පවා ඇසිය හැකි ශ්‍රෝත ධාතුවයි. මොහු විසින් පළමු කොට තමා අවට සියළුම ශබ්ද, පුද්ගලාදී වශයෙන් වෙන් කොට දත යුතුයි. මෙසේ පුරුදු කිරීමෙන් උවමනා විටෙක උවමනා ශබ්ද ඇසීමේ ඤාණයක් මොහුට ඇති වන්නේය. අභිඥාලාභීන් ගේ ඤාණය ඒ ඒ පුද්ගලයන්ගේ වශයෙන් වෙනස් වේ. පෘථග්ජන අභිඥාලාභී පුද්ගලයාගේ ඤාණය කදෝපැණියෙකුගේ ආලෝකයට බඳු වේ. සාමාන්‍ය රහතන්වහන්සේගේ ඤාණය තෙල්පහන් ආලෝකයක් මෙන් ද, අසූමහා ශ්‍රාවකයන් ගේ ඤාණය පන්දම් එළියක් මෙන් ද, අග්‍රශ්‍රාවකයන්ගේ ඤාණය පහන් තරු එළිය මෙන්ද, පසේ බුදුන් වහන්සේගේ ඤාණය චන්ද්‍රාලෝකය මෙන් ද, ලොවුතුරා බුදුන් වහන්සේගේ ඤාණය සූර්‍ය්‍යාලෝකය මෙන් ද දත යුතුය.