අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අනාගාමි මග්ග කුසල් සිත

තුන් වැනි මාර්ග කුසල් සිත අනාගාමි මාර්ග කුසල් සිත නම්. කාම ධාතුවෙහි පිළිසිඳ ගැනීමට කිසි කලෙකත් නො එන සුළු වූ ආර්‍ය්‍ය පුද්ගලයා ගේ ඒ බව සිදු කර දෙන්නා වූ මාර්ගය අනාගාමි මාර්ග නම්. සකෘදාගාමි ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ නැව තත් ත්‍රි ලක්ෂණ භාවනා වඩනා කල්හි යටකී පරිද්දෙන් සම්පූර්ණ වූ විදර්ශනා ඥාන පහළවීමෙන්, මාර්ග චිත්ත වීථිය ඇති වී, එහි අනු ලොම චිත්තයන්ට අනතුරුව වොදාන සිත ඉපිද නිරුද්ධ වූ කල්හි තුන්වෙනි වරට චතුස්සත්‍යය අවබෝධ කරමින්, කෘත්‍ය සතර ම එකක්ෂණිකව සිද්ධ කරමින් අනාගාමි මාර්ග සිත නිර්වාණය අරමුණු කොට උපදනේ ය.

මේ අනාගාමි මාර්ග සිතින් සිදුවන ක්ලේශ ප්‍රහාණියෙන් අකුසල චිත්තයන් අතුරෙන්, පටිඝ සම්ප්‍රයුත්ත සිත් දෙක ද, සංයෝජනයන් අතුරෙන් සියුම් වූ කාමරාග පටිඝයෝ ද, ක්ලේශයන් අතුරෙන් ද්වේෂය ද, මිච්ඡත්තයන් අතුරෙන් මිච්ඡා සංකප්ප මිථ්‍යා වචනය (පිසුණු වචන සහ පරුෂ වචන), ලොක ධර්මයන් අතුරෙන් ඒ ඒ ලොක ධර්ම විෂයෙහි වූ පටිඝය ද, විපර්‍ය්‍යාසයන් අතුරෙන් අසුභයෙහි සුභයයි ගන්නා සංඥා චිත්ත විපර්‍ය්‍යාසයෝ ද, ග්‍රන්ථයන් අතුරෙන් ව්‍යාපාද කාය ග්‍රන්ථය ද, ආශ්‍රවයන් අතුරෙන් කාමාශ්‍රවය ද කාමොඝ සහ කාමයෝගද, නීවරණයන් අතුරෙන් කාමච්ඡන්ද ව්‍යාපාද, කුක්කුච්ච යන තුන් දෙනා ද, අනුශයන් අතුරෙන් කාමරාග පටිඝානුශයෝ ද, මලයන් අතුරෙන් ද්වේෂ මලය ද, අකුසල කර්ම පථ අතුරෙන් පිසුණාවාචා, පරුෂාවාචා, ව්‍යාපාදය යන තිදෙනා ද සමුච්ඡෙද වශයෙන් ප්‍රහාණි වන බව දත යුතු ය.