අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චිත්ත සඞ්ග්‍රහ විභාගය

සිත යයි කියනුයේ අරමුණු දැනීමේ ශක්තියට බව මෙයට ප්‍රථම ප්‍රකාශ කෙළෙමු. මනුෂ්‍යයා යයි කියන විට සිතක් සහිත වූ ශරීරයක් ඇති පුද්ගලයෙක් බව දැනගනී. ශරීරයෙන් එම සිත පහ කළහොත් එම ශරීරයට, මෘත ශරීරය, මළ සිරුර, මළ කුණ යනාදී නම් ව්‍යවහාර කරණු ලැබේ. ගස්, ගල් පර්වත, දිය පොකුණු, ගංගා ආදියට සිත් නැති හෙයින් සත්ත්ව යන ව්‍යවහාරයක් නො ලැබේ. අචෙතනික වස්තු සංඛ්‍යාවට ගැණේ. එබැවින් සිත සත්ත්වයන් පිළිබඳව ම ඇති ධර්මයකි. එක් සත්ත්වයෙක් කෙරෙහි ඇත්තේ එක් සිතක් නොව සිත් පරම්පරාවකි. මේ සිත් පරම්පරාවට අයත් සිත්, ඉතා වේගයෙන් ඉපිද නැතිවන බැවින් ද, අතරක් නැතිවම සිත් හටගන්නා බැවින් ද එක ම සිතක් මෙන් අපට වැටහේ. තව ද, එක්වර එක් සිතක් මුත්, සිත් දෙකක් හට නොගන්නා බව ද, එක් සිතක් එක අරමුණක් මුත් අරමුණු දෙකක් නොගන්නා බව ද, එසේ ම එක් සිතක් එකවර ගනු ලබන්නේ එක් අරමුණක එක් ස්වභාවයක් මුත් ස්වභාව දෙකක් නොවන බව ද දත යුතුය.

තව ද, සිතේ විසිතුරු බව වටහා ගැනීමට, සිත් හටගන්නේ කෙසේ ද, සිතේ ආයුෂ කොපමණ ද, සිත් උපදින්නේ කවර තැනකද යනාදිය පිළිබඳව කරුණු ස්වල්පයක් දැන ගැනීම ප්‍රයෝජනවත් වේ.

සිතක් හටගැනීමට කරුණු කීපයක් සම්පූර්ණ විය යුතු ය. පළමු කොට පැවත එන සිත් පරම්පරාවක් තිබිය යුතුය. අඹ පල හටගන්නේ අඹගස් පරම්පරාවක මිස අන් තැනක නොවන්නා සේ සිත් හටගන්නේ සිත් පරම්පරාවකමය. එසේම එම අඹ ගස් පරම්පරාවේ මුල් අඹ ගස සොයා ඇවිදින පුද්ගලයා මුල් අඹ ගස නො දැක, එය දන්නා, දක්නා ඇසූ කෙනෙකුවත් නැති හෙයින් වෙහෙසට පත්වනු මිස අන් ඵලයක් නොලබන්නාක් මෙන්, මේ සිත් පරම්පරාවේ මුල් සිත හෙවත් පළමු සිත සෙවීමට තැත් කරන පුද්ගලයා අධික වෙහෙසට පත් වන්නේ මුලක් නැතිහෙයිනි. අනාදිමත් කාලයක් භවයෙන් භවයට පත් වෙමින් සසර සැරිසරමින් ආ පුද්ගලයාගේ පළමු භවය හෝ පළමු සිත අසවල් කාලයේදී යයි කීමට සමතෙක් නැත. යමෙක් එසේ කිවහොත් ඒ මුල් භවය හෝ සිත ඇතිවීමට හේතු දැක් විය යුතු ය. එය දැක් විය නොහැකි බැවින් දෙවියෙකුගේ හෝ බඹෙකුගේ හෝ මැවීමක් යයි සිතා මිථ්‍යාදෘෂ්ටිය ගන්නේ ය. ඒ මැවුම්කාර දෙවියාගේ හෝ බ්‍රහ්මයාගේ පහළ වීමට හේතු ඔහුට දැක් විය නොහැකි බැවින් නිශ්ශබ්ද වන්නේ ය. මෙසේ සීමාරහිත කාලයක සිට පැවත එන මේ චිත්ත පරම්පරාවේම සිත් ඇතිවනු මිස අන් තැනක සිත් පහළ වීමට නුපුළුවන.

සිතක් හට ගැනීමට යම්කිසි අරමුණක් හමුවිය යුතු ය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ ධම්ම යන සය සිතට විෂයවන බැවින් ද, සිතින් සිතනු ලබන බැවින් ද අරමුණු නම් වෙති. ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, පරමාර්ථ වූද, පඤ්ඤත්ති වූද හැම දෙයක්ම මෙයට ඇතුළත් වේ. දුබලයෙකුට නැගිටීමට හැරමිටියක් උවමනා වන්නාක් මෙන් සිතක් හටගැනීමට ද අරමුණක් උවමනාවේ. අරමුණු මහත් රාශියක් හමුවන නමුත් එක් සිතක් විසින් ගනු ලබන්නේ එක් අරමුණකි. එසේ අරමුණක් ගෙන ඇති වූ සිතට වෙනත් අරමුණක් ගැනීමට නුපුළුවන. ඒ නිසා පළමු සිත නැති වී ගියායින් පසු එම අරමුණම හෝ වෙනත් අරමුණක් රැගෙන පසු සිත පහළ වේ. මේ ක්‍රමයෙන් නොයෙක් අරමුණු රැගෙන සිත් ඉපිද නැති වීමෙන් චිත්ත සන්තතිය පවතී. එක් භවයක් සිඳී වෙනත් භවයකට පත්වන විට ද මේ සිත් පරම්පරාව අතරක් නොමැතිව හටගනිමින්, භවයෙන් භවයට පමුණුවමින්, සත්ත්වයා පෙළමින් සසර දුකට පත් කරනු ලැබේ.

එක් භවයෙකින් චුතවීමේ දී හෙවත් සත්ත්වයෙක් යම් ස්ථාන යක ඉපිද කලක් සිට මැරෙන මොහොතේ දී ඇතිවන අවසාන සිත චුති සිත යයි ද, එයට පසුව අතරක් නො මැතිව පහළවන දෙවන භවයෙහි පළමුවන සිත ප්‍රතිසන්ධි සිත යයි ද කියනු ලැබේ. පූර්ව භවය, පසු භවය හා සම්බන්ධ කරවන, සන්ධි කරවන හෙයින් ප්‍රතිසන්ධි නම් වේ. මෙසේ එක් භවයකට අයත් සිත් පරම්පරාව පටිසන්ධි සිතකින් ආරම්භ වී චුති සිතින් අවසන් වේ. පටිසන්ධි සිතින් පටන් ගත් මේ භවයට අයත් සිත් පරම්පරාව නොසිඳී, චුතිය දක්වා ඇති මේ භවය පැවැත්වීමේ අඞ්ගයක් වශයෙන් පවතින යම් තාක් සිත් වේ නම් එයට භවාඞ්ග සිත් යයි ව්‍යවහාර කරනු ලැබේ. මෙකී ප්‍රතිසන්ධි, භවාංග චුති නම් වූ සිත් තම තමන්ට අයත් ක්‍රියාව හෙවත් කෘත්‍යය වෙනස් වුවත්, ඒ සිත් විසින් ගනු ලබන අරමුණ එකක්ම වේ. එනම් පටිසන්ධි සිතින් ගත් අරමුණ ය. මේ අරමුණ කුමක් දැයි තේරුම් ගැනීම එතරම් පහසු නොවේ. චිත්ත වීථි සම්බන්ධව මනා දැනීමක් ඇති කෙනෙකුට නම් එතරම් අපහසු ද නො වේ.

මෙයට පෙර භවයෙහි දී මරණය ඇතිවීමට හෙවත් චුති සිත ඇති වීමට පෙර, මරණාසන්න චිත්ත වීථිය නම් වූ සිත් පෙලක් ඇති වේ. එම චිත්ත වීථියට අයත් සිත්වලට හමුවන අරමුණු තුන් ජාතියකි. එනම් කර්ම, කර්ම නිමිති සහ ගති නිමිති යන අරමුණු තුනයි. මේ අරමුණු තුනෙන් යම්කිසි අරමුණක් රැගෙන මේ චිත්ත වීථිය ඇති වී චුති සිතින් කෙළවර වේ. මේ මරණාසන්න චිත්ත වීථියේ ඇති වන කර්ම සිත්වන ජවන් සිත්වල ද අරමුණ මේ තුනෙන් එකෙකි. මතු භවයක් ඇති කිරීමේ විපාක ශක්තියක් ඇති මේ ජවන් සිත් පහක් ඇති වී, එයට පසුව ඇති වන චුති සිත ඉපිද නැති වීමත් සමඟ ම, මතු භවයෙහි පහළවීම කරවන පටිසන්ධි සිත ඇති වේ. මේ පටිසන්ධි සිතේ අරමුණත් පෙර භවයෙහි මරණාසන්න චිත්ත වීථියෙහි ජවන් සිත්වල අරමුණත් එක ම බව දත යුතුය. මෙසේ සලකන විට පටිසන්ධි, භවාඞ්ග චුති යන සිත් තුනෙන් ගත් අරමුණ, එයට පෙර භවයෙන් ගත් අරමුණක් මිස, මේ භවයේ දී ගත් අරමුණක් නොවන බව පැහැ දිලි වේ. පටිසන්ධි සිත පිළිබඳව මෙසේ කරුණු ස්වල්පක් දැනගත්තේ වී නමුත්, එය කුමක් ද, එහි අරමුණ කුමක් දැයි දැන ගැනීමට අපට නුපුළුවන. අභිඥාලාභියෙකු හෙවත් විශිෂ්ට ඥාණයක් ඇති කෙනෙකු විසින් ම දැනගත යුතු වේ.

මේ පිළිවෙලින් පැවත එන සිත් පරම්පරාවේ මෙයට වෙනස් සිත් ද ඇතිවීමට අවකාශ තිබේ. මේ භවයේ පහළ වී, අරමුණු ගැනීමට උපකාරවන අවයව හෙවත් ද්වාර නම් වූ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂට් ද්වාරයන් මනාව පිහිටි පසු, එම දොරටුවලින් ඇතුල්වන අරමුණු ගෙන අළුත් අළුත් සිත් මේ සිත් පරම්පරාවේ හටගනී. එසේ අළුත් අරමුණක් ගැනීමේ දී පළමු පැවති භවාඞ්ග සිතේ අරමුණ චලනය වීමෙන් දුර්වල වී, එයට පසුව උපදින සිතේ දී එම අරමුණ ඉවත් වේ. මෙයට පසු ඇතිවන සිත අළුත් අරමුණ රැගෙන ඇති වී එහි ශක්තිය තිබෙන තාක්, සිත් කීපයකින් යුත් සිත් පෙළක් හෙවත් චිත්ත වීථියක් පහළ වේ. මේ සිත් පෙළ අවසන් වීම සමඟ ම නැවත උපදින්නේ භවාඞ්ග සිත් පරම්පරාව ය. නැවතත් අළුත් අරමුණක් හමු වූ විට එය ගැනීමට කැමැත්ත ඇතිවුව හොත්, ඉහත කී අන්දමට භවාංග සිත බිඳී අළුත් අරමුණ ඇති චිත්ත වීථිය ඇති වේ. යම් කලෙක අර්හත් ඵලයට පැමිණ, පිරිනිවන් පෑමක් වේ ද, ඒ තාක් කල් මේ සිත් පරම්පරාව නොසිඳී පවතී. මේ අතර නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලයේ දී ද, අසංඥ භූමියේ ඉපිද සිටින අවස්ථාවේ දී ද තාවකාලික වශයෙන් සිත් හට ගැනීම නතර වේ.

සිතේ ආයුෂ. යහපත් ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් ඇති, හොඳ සිහියෙන් යුත් පුද්ගලයෙක් යම් තැනෙක සිටින විට, එතැන සහ අවට තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ යනාදී අරමුණු අවස්ථා පරිදි ඒ පුද්ගලයාට හමුවේ, එවේලාවේ දී ඔහුට වැටහෙන්නේ එම රූප බැලීමත්, ශබ්ද ඇසීමත්, ගඳ දැනීමත්, රස දැනීමත්, ස්පර්ශය දැනීමත්, වෙනත් දේ සිතීමත්, කය සෙළවීමත්, කථා කිරීමත් යනා දී නොයෙක් දේ එකවර සිදු වන සැටියටය. නමුත් එක් සිතක් එකවර ගනු ලබන්නේ එක් අරමුණකි. ඉතා ස්වල්ප කාලයක දී මහත් රාශියක් සිත්, වෙන් වෙන් වශයෙන් අරමුණු රැගෙන, ඉපි ද නැතිවන බැවින්, එකවර සිදුවන්නාක් මෙන් දැනේ. අසුරු සැනක් ගසන ඉතා ස්වල්ප කාලයේ දී මෙවැනි සිත් ලක්ෂ කෝටි ගණනින් ඇතිව නැති වේ. උපමාවකින් ද මෙය දැක්වීම දුෂ්කර වේ. මෙයින් එක් චිත්ත පරමාර්ථයකගේ ආයුෂ ඉතා ස්වල්ප බව වටහා ගත යුතු ය.

මේ හැම සිතකටම අවස්ථා තුනක් ඇත. එනම්, උප්පාද අවස්ථාව, ඨිති අවස්ථාව සහ භංග අවස්ථාව යන තුනයි. මේ එක් අවස්ථාවකට කුඩා චිත්තක්ෂණයක් යයි කියනු ලැබේ. කුඩා චිත්තක්ෂණයකට ආයුෂ ඇත්තේ එක් සිතක් පවතින කාලයෙන් තුනෙන් කොටසකි. රූප පරමාර්ථයකගේ ආයුෂ සිත් හෙවත් මහා චිත්තක්ෂණ 17 ක් නැතහොත් කුඩා චිත්තක්ෂණ 51 (17 × 3) පවත්නා කාලයක් බැවින් රූප පරමාර්ථයෝ චිත්ත පරමාර්ථයන්ට වඩා ඖදාරික ය.

සිත් උපදින තැන් හෙවත් වස්තු සයකි. එනම් චක්ඛු වස්තුව සොත වස්තුව, ඝාණ වස්තුව, ජිව්හා වස්තුව, කාය වස්තුව, හදය වස්තුව යන සයයි. සිත් උපදින තැන් නිසා මෙයට වස්තු යයි කියනු ලැබේ. රූප දක්නා අකුසල විපාක සිත සහ කුසල විපාක සිත යන සිත් දෙක චක්ෂු ප්‍රසාද වස්තුවෙහි ද, එමෙන් ම, ශබ්ද අසන සිත් දෙක ශ්‍රෝත ප්‍රසාද වස්තුවෙහි ද, ගඳ දැනෙන සිත් දෙක ඝාණ ප්‍රසාද වස්තුවෙහි ද, රස දැනෙන සිත් දෙක ජිව්හා ප්‍රසාද වස්තුවෙහි ද, ස්පර්ශය දැනෙන සිත් දෙක කාය ප්‍රසාද වස්තුවෙහි ද, අනිකුත් සියලුම සිත් හදය වස්තු රූපය ආශ්‍රය කර ගෙන ද උපදී මෙකී වස්තුවලින්ම අරමුණු ඇතුල් කරවනු නිසා ඒ සයට ද්වාර යන නාමය ද ලැබේ. එම ද්වාර සය නම් චක්ඛු ද්වාරය, සොත ද්වාරය ඝාණ ද්වාරය, ජිව්හා ද්වාරය කාය ද්වාරය සහ මනොද්වාරය සයයි. චක්ඛු ආදී පංචද්වාරයන් ඇස, කණ, නාසය, දිව කය යන තැන්හි පිහිටා තිබේ. මනොද්වාරය හදය වස්තුව ආශ්‍රය කර ගෙන පවතී. මෙකී ධර්ම සියල්ලම ඉතා සියුම් පරමාර්ථ ධර්ම බැවින් සිතින්ම අවබෝධ කළයුතු ය.

සිත් පවතින තැන ගැන මෙකල බොහෝ මත ප්‍රකාශ කරන බව පෙනේ. ශරීරය පිළිබඳව උසස් දැනීම් ඇති ශාස්ත්‍රඥයන් ගේ ද, මනෝවිද්‍යාඥයන් ගේ ද අදහස් වල හැටියට සිත පවතින්නේ මොලයේය, මේ ප්‍රශ්නය අප විසින් ධර්මානුකූලව නිරාකරණය කර ගත යුතුය. මනුෂ්‍යයෙකුගේ මව් කුස පිළිසිඳ ගැනීමේ දී, ප්‍රතිසන්ධි සිතත් සමගම කර්මයෙන් හටගත් රූප කලාප 3 ක් එනම්, කාය දසකය, භාව දසකය සහ වස්තු දසකය යන දසක 3 හෙවත් රූප 30 පහළ වන්නේ ය. මේ කලල රූප අවස්ථාවේ පටන් ක්‍රමයෙන් රූප පරම්පරාව වැඩීමෙන් නොයෙක් ශරීරාවයව සෑදෙන්නට පටන් ගනී. ප්‍රසාද වස්තු ආදිය සම්පූර්ණ වන්නට සති 11 ක් පමණ ගත වේ. මොලය සෑදී ක්‍රියාත්මක ශක්තිය දැක්වීමට සති 14 ක් පමණ ගත වේ යයි දැන ගෙන තිබේ. මොලය සෑදෙන තාක් කල් සිත් පරම්පරාව නොසිඳී පැවතුනා නම්, ඒ පැවතුනේ කොතැන්හි දැයි විමසා බැලීමේ දී, එවකට සෑදී නැති මොලයෙහි නොව, පටිසන්ධියත් සමග උපන් වස්තු දසකයට අයත් හදය වත්ථු රූප සන්තතිය ආශ්‍රය කර ගෙන බව දත යුතුය. කර්ම ශක්තිය ඇති තාක් මෙම කර්මජ රූප පරම්පරාව පවතී. චූති සිත අවසන් වීම සමග ම කර්මජ රූප සන්තතිය ද අවසන් වේ. හදයවත්ථු රූප නිරුද්ධ වීමෙන් මේ භවයට අයත් චිත්ත සන්තතිය ද නිරුද්ධ වේ.

ඇතැම් විට මව්කුසින් බිහිවන කල්හි අඟ විකල වූ ළදරුවන් උපදින බව පෙනේ. සමහර ළදරුවන්ට මොලයකුත් නැත. ඒ ළදරුවන්ගේ මරණය බිහි වී නොබෝ වේලාවකින් සිදුවන්නේ ය. මෙයට හේතුව ආශ්වාස ප්‍රශ්වාස කිරීම් ආදී ශරීරය පවත්වා ගැනීමට උවමනා අවශ්‍ය අවයව ක්‍රියා කරවීමට මොලයේ උපකාර වුවමනා බැවිනි. චක්ෂු ප්‍රසාද වස්තු ආදි ප්‍රසාද වස්තූන් ගේ නිරොගි භාවය රැක ගැනීමට ද මොලය උපකාර වේ. ඒ ප්‍රසාද වස්තූන් උපද්‍රව සහිත වූ කල්හි එහි උපදින සිත් හට ගැනීමට බාධා පැමිණේ. එබැවින් දැකීම්, ඇසීම්, ගඳ දැනීම්, රස දැනීම්, ශාරීරික වේදනා දැනීම් ආදී ක්‍රියාවන් සිදු කිරීමට මොලය අවශ්‍ය වේ. තව ද ළදරුවා බිහි වූවායින් පසු, හෘදය වස්තුව, පෙනහළු ආදි අභ්‍යන්තර ශරීරාවයවයන් ක්‍රියා කරවීමට ද මොලය උවමනා ය. ශරීර උෂ්ණය සම තත්වයෙන් පැවැත්වීම ද, ආහාර පැසවීම ද මොලය නිසා ඇති වේ. මේ ආදී කරුණු සළකා බලන කල්හි සිත පවත්වා ගැනීමට නොව ශරීරය පවත්වා ගැනීමට මොලයේ පිහිට ලැබිය යුතු බව ප්‍රත්‍යක්ෂ වේ. පීඩා සහිත වූ ක්ලාන්ත වූ අවයවයන් ඇති සිරුරක් ඇසුරු කරමින් පවතින සිත හෙවත් නාම කාය ද, ක්ලාන්ත ස්වභාවයට පත්වීමෙන් චිත්ත පරම්පරාව ද දුර්වල වේ. එබැවින් මේ සිත් පරම්පරාව කර්මජ වූ හදයවත්ථු රූප පරම්පරාව ආශ්‍රය කරමින් පවතින බව වටහා ගත යුතුය.

සිතේ බලය, ප්‍රමාණ කල නොහැකි ය. සිතින් අරමුණු කළ නොහැකි දෙයක් නැත. අතීත වූ ද, අනාගත වූද, වර්තමාන වූද, කාල නියමයක් නැත්තාවූ ද සියළුම අරමුණු සිතින් ගත හැකිවේ. සමාධි, ප්‍රඥා ආදිය වැඩීමෙන් ශක්තිමත්වූ සිතින් මේ භවය පමණක් නොව පෙර භවයන්හි විසූ පිළිවෙලද දත හැකි වේ. තමන් ගේ සිත පමණක් නොව අනුන් ගේ සිතද දැන ගැනීමේ ශක්තිය ඇති කර ගන්නට පිළිවන. අහසින් යෑම, පොළව කිමිදීම නොයෙක් දේ මැවීම ආදී සෘද්ධි පෑමටද මේ සිත සකස් කර ගත හැකි වේ. එමෙන්ම සත්ත්වයා දුකටත්, සැපතටත්, සතර අපායටත්, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදියටත් යවන්නේ සිත මය. සසර දුකින් මුදවා නිර්වාණ ධාතුවට පමුණු වන්නේත් සිතමය. බුදු, පසේ බුදු මහ රහත් බැව් ලබා දෙන්නේත් සිතමය. මේ සිත තරම් බලවත් අන් කිසිවක් ලෝකයේ නැත.