අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සන්තීරණ සිත් තුන

සම්පටිච්ඡන සිතින් පිළිගන්නා ලද අරමුණ විමසා බලන්නාක් මෙන් උපදින සිත සන්තීරණ සිත නමි. ඇතින් පිළිගන්නා ලද වස්තුව කෙබඳු දැයි හරිහැටි දැන ගැනීමට පෙර, ඒ වස්තුව මනා කොට පරික්ෂා කළ යුතු වේ. එමෙන්ම, සම්පටිච්ඡන සිත විසින් පිළි ගන්නා ලද අරමුණ ගැන, ස්ථිරව නිශ්චය කර ගැනීමට ප්‍රථම, ඒ අරමුණ මනාකොට විමසා බැලීම් වශයෙන් මේ සන්තීරණ සිත ඇති වේ. අකුසල විපාක සම්පටිච්ඡන සිතින් පිළිගන්නා ලද අනිෂ්ට අරමුණ විමසා බලන සිත අහේතුක අකුසල විපාක සන්තීරණ සිත නමි. එමෙන් ම කුසලවිපාක සම්පටිච්ඡන සිතින් පිළිගන්නා ලද ඉෂ්ට අරමුණ විමසා බලන සිත අහේතුක කුසල විපාක සන්තීරණ සිත නමි. මේ කුසල විපාක සන්තීරණ සිත්, දෙකක් ම ලැබේ. එකක් උපෙක්ඛා සහගත ය. අනික සොමනස්ස සහගතය. අකුසල විපාක සන්තීරණ සිත උපෙක්ඛා සහගතය.

ඉෂ්ට අරමුණු, ඉෂ්ට මධ්‍යස්ථය, අතිඉෂ්ටය කියා දෙකොටසකට බෙදිය හැකි වේ. එයින් ඉෂ්ට මධ්‍යස්ථ අරමුණ විමසා බලන සිත උපෙක්ඛා සහගතය. අතිඉෂ්ට අරමුණ විමසා බලන සිත සොම නස්ස සහගතය. එහෙයින් කුසල විපාක සන්තීරණ සිත් දෙකක්ම ඇති බව සැලකිය යුතු.

උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙකින්, සන්තී රණ කෘත්‍ය පමණක් නොව තවත් කටයුතු ද කරනු ලැබේ. එයින් ප්‍රධාන කටයුත්ත නම් පටිසන්ධි කෘත්‍යය යි. අකුසල් සිත් දොළොස අතුරෙන් උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත හැර, ඉතිරි සිත් එකළොසින් යම් අකුසල කර්ම පථයක් සිදු වී, එහි පටිසන්ධි විපාකය ගෙනදීමට අවකාශ ලද හොත්, සතර අපායෙහි පටිසන්ධිය ගෙන දෙන්නේය. අපායෙහි පහළවන විට ඇතිවන පළමුවන සිත වූ පටිසන්ධි සිත, මේ අහේතුක අකුසල විපාක සන්තීරණ සිත වේ. එමෙන් ම ඉතා දුර්වල වූ කුසල කර්මයක පටිසන්ධි විපාක දෙනකල්හී, ජාති අන්ධ, ගොළු බිහිරි ආදී අංගවිකලත්වයක් ඇතිව හෝ, ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන මනුෂ්‍ය ආදී යෝනිවල හෝ උත්පත්තිය ගෙන දෙන්නේ ය. එවිට පටිසන්ධි සිත වශයෙන් ලැබෙන්නේ අහේතුක කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතය. එබැවින් මේ අහේතුක උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙකට අහේතුක පටිසන්ධි යුගලය යයි කියනු ලැබේ. තව ද මේ සන්තීරණ සිත් තුනම ඇතැම් චිත්තවීථිවල ජවන් සිත්වලට පසුව, එම අරමුණම ගෙන තදලම්බන කෘත්‍ය සිද්ධ කරමින් චිත්ත වීථියේ කෙළවර ඇති වන විට එයට තදලම්බන සිත් යන නාමයද ව්‍යවහාර කරනු ලැබේ.

මෙතෙක් විස්තර කරන ලද මේ පසළොස් (15) කුසලාකුසල විපාක චිත්තයෝ අහේතුකම වෙති, ලෝභ, දෝෂ, මෝහ යන අකුසල හේතු හෝ අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල හේතු හෝ මේ සිත්හි යෙදී නැති හෙයිනි.

කුසලාකුසල කර්මයන්ගේ ශක්තිය මෝරා පැසීම් බවට පැමිණී මෙන් “විපාක” නම් ලත් මේ අහේතුක විපාක සිත් පසළොස (15) වස්තු දුර්වලතා, කෘත්‍ය දුර්වලතා ආදි වශයෙන් ඉතා දුර්වලය. හේතු ධර්මයෝ ඉතා බලවත් බැවින් දුර්වල සිත්වල නො යෙදෙන් නාහ. අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් ඇත්තේ මේ අහේ තුක අකුසල විපාක සත පමණ ය. කුසලකර්මයන්ගේ විපාක වශයෙන් මේ අහේතුක කුසල විපාක අට සහ තවත් සහේතුක මහා විපාක අටක් ද ඇත. එහි විස්තර පසුව දක්වන්නෙමු.

ප්‍රතිසන්ධි විපාකය, ප්‍රවෘත්ති විපාක යයි විපාක කොටස් දෙකෙකි. යම් කර්මයක් හේතුකොට ගෙන මරණින් මතු යම් භවයක උත් පත්තිය ගෙන දෙන්නේ නම්, එය පටිසන්ධි විපාක නම්, උපන්නා වූ සත්ත්වයාහට යම් දුක් සැප ආදී විඳීමක් ගෙනදෙන්නේ නම් එය ප්‍රවෘත්ති විපාක නම්. උපන්නා වූ සත්ත්වයාහට ඉෂ්ටානිෂ්ට අරමුණු හමු වීමේ දී මේ විපාක සිත් කර්මයන්ට අනුකූලව ලැබෙති. මේ සිත් පසළොසින්, උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙක ප්‍රවෘත්ති විපාක පමණක් නොව අහේතුක ප්‍රතිසන්ධිය ද ගෙන දෙති. ප්‍රති සන්ධි සිත මෙසේ ඉපිද නිරුද්ධවීමෙන් පසු එම සිත් ම, එම අරමුණම ගෙන, භවයාගේ පැවැත්මට අඞ්ගයක් වශයෙන්, භවාඞ්ග සිත් නමින්, චිත්ත පරම්පරාව ඇති කොට, ඒ භවයෙහි අවසානය වූ මරණය හෙවත් චුති සිතෙහි භංගය දක්වා නො සිඳී පවතී.

උසස් පින්කම් හෙවත් උත්කෘෂ්ට කුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් අහේතුක කුසල විපාක අට සහ සහේතුක කුසල විපාක අට ද ලැබෙන බව කලින් දක්වන ලදී. බලවත් වූ මහා විපාක සිත් වල විපාක ආනිශංස ගෙන දීමේ ශක්තියක් ඇත්තේ ය. විපාක ආනිශංසයෝ නම්, කුසලකර්ම බලයෙන් ලැබෙන ධන සම්පත්, වතුපිටි, ගේදොර, පිරිවර, යස ඉසුරු ආදී උසස් සැප විඳීමට උපකාරවන දේවල් ය. එවැනි හේතුසම්පත් ඇතියවුන්ට ඉතා ඉෂ්ට වූ රූප ශබ්ද, ගන්ධ, රස ස්පර්ශාදී අරමුණු හමුවූ විට ලැබෙන්නේ අහේතුක කුසල විපාක සිත්මය. කුසලකර්මය ඉතා දුර්වල නම් මහා විපාක සිත් කිසිවක් නො ලැබේ. අහේතුක විපාක සිත් අට පමණක් ලැබේ,

දුර්වල වූ කුසල කර්මයන්ගේ විපාක මේ ලෙසින් දුර්වල වීනම්, අකුසල කර්මයන්ගෙන්, සැප කිසිවක් නො ලැබී, දුක් පමණක් ලැබෙන බව කිවයුතු නොවේ. අකුසල් කළ සත්ත්වයන්ට අනිෂ්ට වූ රූප ශබ්දාදී, සිත් දූෂ්‍ය කරවන අරමුණු ලැබීමෙන් අහේතුක අකුසල විපාක සිත් සත උපදින සැටි දක්වන ලදී. අකුසල කර්මය බලවත් වූ පමණට ලැබෙන අරමුණු ද වැඩියක් ම අනිෂ්ට වේ. එබැවින් ඒ සත්ත්වයන්ට ලැබෙන දුක් සමූහය ද බලවත් විය යුතුයි.

පෘථග්ජන වූ හැම සත්ත්වයන් විසින් ම සසරදී කරණ ලද කුසලාකුසල කර්ම අනන්ත අප්‍රමාණ බැවින් දුක් සැප දෙකම වරින් වර විඳීම ස්වභාවයකි. සුගති ප්‍රතිසන්ධියක් ලැබූ කෙනෙකුට මේ හේතුවෙන් සැප දුක් මිශ්‍රව ලැබෙන හෙයින් දුක් විපාක වලින් වන චිත්ත පීඩා ආදිය, සැප විපාක ලැබෙන විට, තාවකාලිකව අමතක වන්නේ ය. නමුත් කුසල විපාක ගෙන දීමට අවකාශ නැති, දුගති ප්‍රතිසන්ධියක් ලැබූ කෙනෙකුට දුක් විපාක බලවත්ව දැනෙන්නේ ය. මනුෂ්‍ය ලෝක ආදී සුගතිවල ඉෂ්ටානිෂ්ට අරමුණු මිශ්‍රව ලැබෙතත්, නරකාදී අපායයන්හි ඉෂ්ට අරමුණු ලැබෙන්නේ ඉතා කලාතුරෙකිනී. ඒ හේතුවෙන් අනිෂ්ට අරමුණු ගෙන ජීවිතාන්තය දක්වා විඳින බලවත් දුක් අප්‍රමාණ ය. සහේතුක කුසල කර්මයන්ගේ විපාක වශයෙන් සහේතුක අහේතුක විපාක දෙකොටසක් තිබෙන්නාක් මෙන් සහේතුක වූ අකුසල කර්මයන්ට සහේතුක විපාක නොලැබී අහේතුක විපාක පමණක් ලැබීමට හේතුව කුමක් ද යනු බොහෝ දෙනෙකු විසින් අසනු ලබන ප්‍රශ්නයකි. කුසල කර්මයන් ගේ විපාක වශයෙන් හමුවන ඉෂ්ට වූ රූප ශබ්ද දී අරමුණු නිසා, අහේ තුක කුසල විපාක සිත් ඇති වී සතුටුවීමටත්, සැප වෙදනා විඳීමටත් හැකි වන්නේ ය. සහේතුක මහා විපාක සිත් වලින් සහේතුක ප්‍රතිසන්ධියක් ද ලබා දී, ප්‍රවෘත්ති විපාක වශයෙන් නොයෙක් සැප සම්පත් හා විපාක ආනිශංසයෝ ද ගෙන දෙනු ලැබේ. ලැබූ සම්පත් දියුණු කර ගැනීමට ද මේ මහා විපාකයෝ උපකාර වන්නාහු ය. අකුසල විපාක වශයෙන් විඳින්නට සිදු වන්නේ අනිෂ්ට වූ රූපාදී අරමුණු ලැබීමෙන් ඇති වන්නා වූ දුක් සමූහය පමණකි. අහේතුක අකුසල විපාක සත්දෙනා ගෙන් මේ සියළුම දුක් ඒ ඒ අකුසල කර්ම යන්ට අනුකූලව ලැබෙන්නේ නම් අන් සිතකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? සහේතුක අකුසල විපාක ඇති වෙතොත් එහි ලෝභ, දෝෂ, මෝහ යන අකුසල හේතු යෙදිය යුතු වේ. මේ හේතු වලින් බලාපොරොත්තු වන්නේත් අකුසල දුක් විපාක බලවත් කර ගැනීම නම්, අහේතුක විපාකවලින් ඒ කටයුත්තම සිදුවන බැවින් සහේතුක අකුසල විපාක ඇතිවීමට අවකාශ නැති බව තේරුම් ගත යුතුයි. ප්‍රයෝජනයක් නැතිව සිත් හට නො ගන්නා බව ධර්ම ස්ව භාවයකි.