චක්ඛු විඤ්ඤාණ සිත් දෙක
මේ චක්ඛු විඤ්ඤාණ සිත් උපදින්නේ චක්ඛුප්‍රසාද වස්තුවෙහි ය. චක්ඛු ප්‍රසාද වස්තුව නම් ඇසතුල පිහිටා තිබෙන, කර්ම හේතුවෙන් හටගත්, විශේෂ රූප සමූහයකගේ ඕපය හෙවත් පැහැය ගෙණ දෙන ශක්තියකි. මේ ශක්තියට ප්‍රසාදරූපය යයි කියනු ලැබේ. චක්ඛු විඤ්ඤාණ නම් සිත ඉපදීමට ස්ථාන වන බැවින් මේ ප්‍රසාද රූපයට චක්ෂුප්රසාද වස්තුව යයි ද නම් වේ. මේ චක්ඛු විඤ්ඤාණය ඉපදීමට උපකාර වන රූප අරමුණ යයි කියනු යේ ඇසින් දකින රූප වලට ය. රූප සටහන දක්වන වර්ණය චක්ෂුප්රසාද වස්තුවෙහි දී හමුවීමෙන්, හැපීමෙන් චක්ඛු විඤ්ඤාණ නම් සිත හටගනී. මේ චක්ඛු විඤ්ඤාණය ද චිත්ත පරම්පරාවට අයත් එක් සිතකි. හෘදයවස්තුරූප ආශ්‍රය කරගෙන පවතින මේ චිත්ත පරම්පරාවට, යම් රූප අරමුණක් ගැනීමට කැමැත්ත ඇතිවෙතොත්, භවාඞ්ග සිතෙහි අරමුණ ක්‍රමයෙන් ඉවත්ව, සිත්පරම්පරාව අලුත් අරමුණට යොමුකරවන සිතක් ඇතිවී, තදනන්තරව, මේ චක්ෂු ප්‍රසාද වස්තුවෙහි දී හමුවන වර්ණය හෙවත් රූප අරමුණ ගෙන චක්ඛුවිඤ්ඤාණ සිත උපදී. මේ අරමුණ ගනු ලබන්නේ චක්ෂුප්රසාද වස්තුව නොව චක්ඛු විඤ්ඤාණ නම් වූ සිත බවද, අරමුණ හමුවන්නේ චක්ඛුප්‍රසාද වස්තුවෙහි බවද දතයුතුය.
ඇසට හමුවන රූප අප්‍රමාණය. ඒ රූප සියල්ලම දුටුවා යයි කීමට නුපුළුවන. යම් රූප සමූහයක් දැකීමට කැමැත්ත ඇතිවෙතොත්, ඒ පිළිබඳව මනසිකාරය ඇති වීමෙන් උවමනා කළ රූප අරමුණ පමණක් ගෙන චක්ඛු විඤ්ඤාණයෝ පහළ වෙති. මේ රූපය දැකීමට ආලෝකය ද උපකාර විය යුතුයි. ආලෝකය නොමැති නම් වර්ණය ප්‍රකට නොවේ. අන්ධකාරය පවතින විට එළියක් නැතිව රූප බැලීමට නොහැකි වන්නේ ඒ හේතුවෙනි.
චක්ඛු විඤ්ඤාණ සිත මෙසේ චක්ඛුප්‍රසාද වස්තුවෙහි ඉපිද නිරුද්ධවීමෙන් පසු ඒ අරමුණම ගෙන ඇතිවන සිත් පෙළේ හෙවත් චිත්ත වීථියේ ඉතිරි සිත් පෙර මෙන් හෘදය වස්තු රූපය ආශ්‍රය කරගෙන මිස චක්ඛු ප්‍රසාද වස්තුවෙහි හට නොගන්නා බව දත යුතු. රූප සටහන ඇඳින ගැනීමට මෙවැනි චිත්ත වීථි කීපයක් ඇතිවිය යුතුයි. මේ චක්ඛු විඤ්ඤාණ නම් වූ සිත ඉපදීමට උපකාර වන කරුණු නම්:-
- චක්ඛු ප්‍රසාදයාගේ නොපිරිහීම හෙවත් චක්ෂුප්රසාද වස්තුව යහපත්ව පිහිටීම,
- රූප අරමුණක් හමුවීම,
- ආලෝකයෙන් රූපයට උපකාර ලැබීම,
- මනසිකාරය.
ඇසට හමුවන මේ රූපයෝ ඇසතුල නොව පිටත පවතින රූප වෙති. ඒ රූප, තුබූ තැනින් අවුත් ඇසෙහි නොහැපෙන්නේය. ඇත තිබෙන රූපයන්ගේ වර්ණය හෙවත් ඡායාව පමණක් ඉතා සියුම් ලෙසින් ඇසට හමුවේ. ඉතා සියුම් වූ මේ වර්ණය, එලෙසම සියුම් වූ චක්ඛුප්‍රසාද වස්තුවෙහි හැපෙන්නේ ඉතා සියුම් ලෙසටය. පුළුන් පෙදක් පුළුන් පෙදක් හා ගැටෙන්නාක් මෙනි. එහෙයින් චක්ඛු විඤ්ඤාණ සිත අරමුණු රස විඳීමේදී සැප හෝ දුක් වේදනා ඇතිවීමට නුපුළුවන. උපෙක්ඛා වේදනාව ඇතිවන්නේ ඒ වස්තු දුර්වලතාව හා කෘත්‍ය දුර්වලතාව ද ඇති හෙයිනි. අරමුණ හොඳහැටි අඳුනගත් පසු ඒ අරමුණ ප්‍රියමනාප නම් සොම්නස් සිත් ජවන් වශයෙන් පසුව පහළවේ. අප්‍රිය අරමුණක් නම් දොම්නස් හෙවත් පටිඝ සිත් පහළ වේ. එබැවින් මේ සිතට උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණ යයි කියනු ලැබේ.
ඉෂ්ටාරම්මණයක් හෙවත් ප්‍රියමනාප වූ, සැපදායක වූ, අරමුණක් හමුවූවිට අහේතුක කුසල විපාක චක්ඛු විඤ්ඤාණ සිත ද, අනිෂ්ටාරම්මණ හෙවත් අප්‍රිය වූ, දුක්ඛදායක අරමුණු හමුවූ විට අහේතුක අකුසල විපාක චක්ඛු විඤ්ඤාණ සිත ද ඇතිවන්නේය. මෙසේ ඉෂ්ටානිෂ්ට වශයෙන් අරමුණු බෙදනු ලබන්නේ මධ්‍යස්ථ පුද්ගලයන්ගේ පිළිගැනීමේ සැටියටය. මධ්‍යස්ථ පුද්ගලයන් විසින් බොහෝ කලක සිට ඉෂ්ට යයි පිළිගන්නා ලද අරමුණු ඉෂ්ට නම් වේ. සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස ආදී වශයෙන් අරමුණු පිළිගන්නා ස්වභාවය වෙනස් වීමෙන්, පෙරලීමෙන්, ඉෂ්ට අරමුණු අනිෂ්ට වශයෙන් ද, අනිෂ්ට අරමුණු ඉෂ්ට වශයෙන්ද සැලකීමට අවකාශ තිබේ. ඇතැම් සත්ත්වයන්ට අසූචි සෙම්, සොටු ආදී අනිෂ්ට අරමුණු, සඤ්ඤා විපල් ලාස වශයෙන් පෙරළී ඉෂ්ටාලම්බන වශයෙන් වැටහී සොමනස් ජවන් උපදී. ඉෂ්ටාලම්බන වූ බුද්ධ රූපාදිය ද චිත්ත විපල්ලාසාදී වශ යෙන් පෙරලී අනිෂ්ටාලම්බන වශයෙන් වැටහී දොම්නස් ජවන් උපදී. ඇතැම් විට ඉෂ්ටාලම්බනය ද එක් ද්වාරයකට ඉෂ්ට වශයෙන් ද අනික් ද්වාරයකට අනිෂ්ට වශයෙන් ද වැටහේ. කඩු දුනු ආදිය චක්ඛුද්වාරයට ඉෂ්ට වේ. නමුත් කායද්වාරයට අනිෂ්ට වේ. එමෙන්ම කායද්වාරයට ඉෂ්ට වූ සියුම් ද්‍රව්‍යයක් දුර්ගන්ධය නිසා ඝාණද්වාරයට අනිෂ්ට වේ. මෙසේ ඉෂ්ටානිෂ්ටාලම්බන විපල්ලාසාදී වශයෙන් හෝ ද්වාරවශයෙන් හෝ වෙනස් විය හැකි බව දත යුතුය. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන්ට අසූචි ආදී දර්ශනයෙන් අකුසලවිපාක චක්ඛු විඤ්ඤාණය ඉපිද, එයට අනතුරුව දෝෂමූල අකුසල් සිත් උපදී. ඒ අරමුණම සූකර ආදි සත්ත්වයන්ට හමු වූ කල්හි අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණය ඉපිද එයට අනතුරුව ලෝභමූල අකුසල් සිත් උපදී. නුවණ ඇති පුද්ගලයෙකුට ඒ අසූචි දර්ශනයෙන් අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය ඇතිවී, මාගේ ශරීරය තුළද මෙබඳු අසූචි ඇත්තේ යයි පිළි කුල මෙනෙහිකිරීමට හැකි වීනම්, ඕහට කාමාවචර ඤාණ සම්ප්‍ර යුක්ත කුසල් සිත් උපදී. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට ඒ දර්ශනයෙන් අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය ඉපිද එයට අන තුරුව කාමාවචර මහා ක්‍රියා සිත් උපදී.