අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අරූපාවචර විපාක සිත් සතර

  1. ආකාශානඤ්චායතන විපාක සිත.
  2. විඤ්ඤාණඤ්චායතන විපාක සිත.
  3. ආකිඤ්චඤ්ඤායතන විපාක සිත.
  4. නෙවසඤ්ඤා නා සඤ්ඤායතන විපාක සිත.

මේ විපාක සිත් සතර ද එම කුසල් සිත් සතරට සමාන ය. අරූපා වචර ධ්‍යාන කුසල චිත්තයන් ගේ විපාක වශයෙන් පහළවන මේ විපාක සිත් සතර, එකී ධ්‍යානයෙන් නොපිරිහී චුතවන්නාවූ පුද්ගල යාට සුදුසු වූ අරූප තලයෙහි ප්‍රතිසන්ධි සිත වශයෙන් උපදී. ඒ භවයෙහි භවාඞ්ග සිතත්, චුති සිතත් එය ම වේ. රූපය පිළිකුල් කොට වඩනා ලද ධ්‍යාන ඇති බැවින් ඒ අත්බැව්හි රූපකායක් පහළ නොවී නාම කය පමණක් පහළ වේ. මේ අරූපතලයන්හි වසන පුද්ගල යන්ට බොහෝ ආයු ඇත්තාහ. ආකාශානඤ්චායතන භූමියෙහි ආයු මහා කල්ප විසි දහසක් බවත්, විඤ්ඤාණඤ්චායතන භූමියෙහි මහා කල්ප සතලිස් (40) දහසක් බවත්, ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි මහා කල්ප හැට දහසක් බවත්, නෙවසඤ්ඤා නා සඤ්ඤායතන භූමියෙහි මහා කල්ප සූවාසූ දහසක් (අසූ හතර දහසක්) (84000) බවත් දත යුතු ය.