අරූපාවචර සිත් දොළොස
අරූප ලෝක සතරෙහි පවත්නා හෙවත් අරූප ලෝකවලට අයත් සිත් අරූපාවචර සිත් නමි. රූපාවචර බ්‍රහ්ම ලෝකවලට වෙනස් වූ ද, රූපකායක් හෙවත් ශරීරයක් නැති, නාමකය පමණක් පවත්නා හෙයින් අරූප ලොක යයි කියනු ලැබේ. රූපාවචර පඤ්චමධ්‍යානය උපදවා ගත් යොගාවචර තෙමේ, කාමයන් ගෙන් වෙන් වූ නමුත්, මේ ශරීරය ඇති කල්හි කාය වාක් දුෂ්චරිතයන් කොට, මරණින් මතු සතර අපායෙහි ඉපිද, මහත් වූ දුක් විඳින්නට සිදුවන බව දැක, සසර දුකට මුල් හේතුව මේ රූප යයි සලකා, රූපයට නින්දා කොට, රූපයක් නැති අරූප භවයක් ලැබිය හැකි නම් එය ම උතුමැ යි සිතා, රූපය අත්හරිනු පිණිස භාවනා කොට මේ අරූපධ්‍යාන සිත් උපදවා ගන්නේ ය.
මේ අරූපාවචර ධ්‍යාන සිත් සියල්ල දොළොසකි. එයින් සිත් සතරක් අරූපාවචර කුසල් සිත් ය. සතරක් අරූපාවචර විපාක සිත් ය. ඉතිරි සිත් සතර අරූපාවචර ක්‍රියා සිත් ය. මේ අරූපාවචර සිත් දොළොසත්, රූපාවචර සිත් පසළොසත් යන සිත් සත්විස්ස (27) මහග්ගත ධ්‍යාන සිත් නම්.