අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඝාණ විඤ්ඤාණ සිත් දෙක

ඝාණ විඤ්ඤාණ යනු ගන්ධය දැනගන්නා සිතට නමෙකි. නාසය තුළ පිහිටි ඝාණප්‍රසාද වස්තුව ආශ්‍රයකරගෙන ඝාණ විඤ්ඤාණ සිත පහළවේ. කුසල විපාකයක් වශයෙන් ලැබෙන මිහිරි සුවඳ ආදිය අරමුණුකරගෙන අහේතුක කුසලවිපාක ඝාණ විඤ්ඤාණය ඇතිවේ. අකුසල විපාක වශයෙන් ලැබෙන අමිහිරි දුගඳ අරමුණු නිසා අහේතුක අකුසල විපාක ඝාණ විඤ්ඤාණය ලැබේ. ගන්ධ අරමුණ ඝාණ ප්‍රසාද වස්තුරූපයන්හි ගැටෙන කල්හි වස්තු දුර්වලතා කෘත්‍ය දුර්වලතාවන් නිසා ඝාණ විඤ්ඤාණ සිතෙහි වේදනාව ද උපෙක්ඛා වේ. ගන්ධය දැනීමට වාතය හෙවත් වායො ධාතුහුගේ උපකාරය අවශ්‍යය. වායො ධාතුව නැති කල්හි ගන්ධය නොපැතිරෙන්නේ ය.

ඝාණ විඤ්ඤාණය ඉපදීමට උපකාර වන කරුණු නම්:-

  1. ඝාණ ප්‍රසාදයාගේ නොපිරිහීම.
  2. ගන්ධාලම්බනයක් ලැබීම.
  3. නාසිකා සිදුරෙන් වැදගන්නා වායො ධාතුහුගේ උපකාරය ලැබීම.
  4. මනසිකාරය.