කාමාවචර මහා විපාක සිත් අට
- සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික විපාක සිත
- සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සසංඛාරික විපාක සිත
- සොමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසංඛාරික විපාක සිත
- සොමනස්ස සහගත ඤාණ විප්පයුත්ත සසංඛාරික විපාක සිත
- උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික විපාක සිත
- උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත සසංඛාරික විපාක සිත
- උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත අසංඛාරික විපාක සිත
- උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසංඛාරික විපාක සිත
කාමාවචර මහා කුසල් සිත් අටෙහි විපාක වශයෙන් ලැබෙන මේ මහාවිපාක සිත් අට ද, ඒ පිළිවෙලටම ඒ නම් වලින්ම හඳුන්වනු ලැබේ. කුසල විපාක වශයෙන් ඉෂ්ට වූ රූප ශබ්දාදී අරමුණු හමුවන කල්හි චක්ඛුවිඤ්ඤාණාදී අහේතුක කුසල විපාක සිත් අට උපදින සැටි කලින් විස්තර කරන ලදී. දැන් විස්තර කරනු ලබන්නේ ඒ කුසලකර්මයන් ගේ සහේතුක විපාක සිත් අටය.
මේ මහා විපාක සිත් අටේ ම ප්රතිසන්ධි විපාක ශක්තිය හා ප්රවෘත්ති විපාක ශක්තිය ද ඇත්තේ ය.
මනුෂ්‍යලෝකය සහ දිව්‍යලෝක යන කාමසුගතීන්හි ප්රතිසන්ධිය ගෙනදීමේදී මේ මහා විපාක සිත් අටෙන් එකක් ප්රතිසන්ධි සිත වශයෙන් පහළ වේ. මේ විපාක සිත් ලැබෙන්නේ කුසල කර්මශක්තියට අනුකූලවය. ඤාණය යෙදීම හෝ නො යෙදීම අනුව මේ කුසල් සිත් ත්‍රිහේතුක උත්කෘෂ්ට, ත්‍රිහේතුක ඕමක, ද්විහේතුක උත්කෘෂ්ට, ද්විහේතුක ඕමක යයි සතර කොටසකට බෙදිය හැකිවේ.
ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයක ප්රතිසන්ධි විපාක වශයෙන් ඤාණසම්ප්‍රයුක්ත මහා විපාක සිත් සතරෙන් එකක් උපදී. හෙතෙමේ කාමසුගතියෙහි බොහෝ කලක් නොයෙක් සැප සම්පත් විපාක ආනිසංසයන් වශයෙන් විඳිමින් කල් යවන්නේ ය. සසර නොයෙක් ජන්මවල ඉපිද, මෙබඳු පින්කම් කොට, ඤාණය වඩා, භාවනාදිය කොට, ප්‍රාර්ථනා බලයකුත් ඇතිව උත්පත්තිය ලැබූයේ නම්, ඕහට කළ්‍යාණ මිත්‍රයන් ලැබීමෙන් බොහෝ වැඩ සිදුකර ගැනීමට අවකාශ ලැබෙන්නේය. භාවනා වැඩීමෙන් ධ්‍යානාදී ඵල ලබා ගැනීමට හැකිවන්නේ මුහුකුරාගිය ඤාණයක් ඇති මෙබඳු පුද්ගලයන්ටය. මාර්ගඵල ලබා ගැනීමට ද ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් අවශ්‍යමය. ඇතැම්විටෙක මෙවැනි හේතු සම්පත් නැති පුද්ගලයන් භාවනාදිය කොට ඵල ලබා ගැනීමට නො හැකිව සිත් දූෂ්‍යවීමෙන් සිහි විකලත්වයට ද පැමිණෙත්. දුර්වල වූ ත්‍රිහේතුක කුසලය, එනම් ඤාණය දියුණුනොවී ස්වල්ප වශයෙන් දැනුමක් ඇතිව කරන කුසලය, ත්‍රිහේතුක ප්රතිසන්ධිය ගෙන දීමට තරම් ශක්තිය නැති හෙයින් ද්විහේතුක ප්‍රතිසන්ධියක්ම ගෙනදෙන්නේ වේ. එවිට ප්රතිසන්ධිසිත වශයෙන් පහළවන්නේ ඤාණවිප්‍රයුක්ත මහා විපාක සිත් සතරින් එකකි. ඔහු මිනිස්ලොව ඉපිද ස්වල්ප වූ සම්පතක් ලැබ සතුටු වෙමින් කල් ගත කරන්නේය. ඒ සම්පත ලබා ගැනීමට ද බොහෝ වෙහෙස මහන්සි විය යුතුයි. ද්විහේතුක උත්කෘෂ්ට කුසලය හෙවත් අලොභ අදොෂ යන හේතු දෙක පමණක් බලවත්ව යෙදෙන කුසල් සිත, ද්විහේතුක ප්‍රතිසන්ධියක් දෙන්නේ ය. එනම් ද්විහේතුක හෙවත් ඤාණවිප්ර යුක්ත සිත් සතරින් එකක් පටිසන්ධි සිත වශයෙන් ලැබෙන්නේ ය. මේ පුද්ගලයා ද දුර්වල ත්‍රිහේතුක පුද්ගලයාට බොහෝ සෙයින් සමානය. කුසල කර්මය, දුර්වල වූ ද්විහේතුක හෙවත් දුර්වලව යෙදුන අලෝභ අදෝෂ හේතු ඇති, ඤාණවිප්‍රයුක්ත සිතකින් කරන ලද්දේ නම්, ඔහුට ඤාණවිප්‍රයුක්ත විපාක සිත් නො ලැබෙන්නේ ය. ඔහුගේ ප්රතිසන්ධිය ඇතිවන්නේ අහේතුක කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතිනි. දුගී දුප්පත් අඞ්ගවිකලත්වයෙන් යුත් නුවණ මඳ අසරණ මනුෂ්‍යයන් උපදින්නේ මේ දුර්වල කුසල කර්ම හේතුවෙන් බව දත යුතුයි. ඤාණයෙන් තොරව, අනුන් කුසල් කරන සැටි දැක, තරඟයටත් ලෝකයාගේ පැසැසුම් ආදිය ලබා ගැනීම පිණිසත් කරන කුසල්, මේ දුර්වල ඤාණවිප්‍රයුක්ත කුසල්ය. අහේ තුක සුගති ප්රතිසන්ධිය ලැබූ පුද්ගලයාට ඉෂ්ට අරමුණු ලැබුණත් එයින් සතුටුවීමට අවකාශ නො ලැබෙන්නේ ය. මනුෂ්යාත්මයෙන් ලැබිය යුතු උසස් ඵල ඔහුට නො ලැබේ.
මහා විපාක සිත් අටෙන් ප්රතිසන්ධිය ලැබූ පුද්ගලයාහට කර්ම ශක්තිය ඇති තාක් කල් ප්රවෘත්ති විපාක වශයෙන්ද මේ මහා විපාක සිත් අට කර්මයට අනුකූලව හටගන්නේ ය. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල් කළ තැනැත්තාට විපාක ආනිශංස වශයෙන් නොයෙක් සැප සම්පත් ලැබීමේ දී මේ මහා විපාක සිත් උපකාරවන්නේ ය. ඉෂ්ට අරමුණු හමුවීමෙන් චක්ඛුවිඤ්ඤාණාදී අහේතුක කුසල විපාක සිත් පළමු කොට ඉපිද, පසුව එයින් ඇතිවන සතුට විඳීමේදී මහා විපාක සිත් ලැබෙන්නේ ය. මේ සිත් සොළොසම කුසල කර්මයාගේ විපාක යෝ වන්නාහ.
අප හැම දෙනා විසින්ම සසරදී කළ නොයෙක් කුසලා කුසල කර්මයන් මිශ්‍රව තිබෙන හෙයින් ප්රවෘත්ති විපාක වශයෙන් මෙකී කාමාවචර විපාක සිත් සියල්ලම, එනම්, අහේතුක අකුසල විපාක සිත් සතත්, අහේතුක කුසලවිපාක සිත් අටත්, මේ සහේතුක මහා විපාක සිත් අටත් යන විපාක සිත් විසිතුනම අපට ලැබේ. බුද්ධාදී ආර්‍ය්‍යයන් වහන්සේලාට ද එසේ මය.