ධ්‍යාන උපදවන පිළිවෙල
ධ්‍යාන ඉපදවීමට හේතු සම්පත් ඇති යෝගාවචර තෙම, ගොචර ස්ථානයකට එළඹ, පඨවි කසිණය කර්මස්ථාන වශයෙන් ගත්තේ වීනම්, පඨවි කසිණය නම් වූ පරි කර්ම නිමිත්ත ඉදිරියෙහි තබාගෙන පද්මාසනයෙන් හෝ හිඳ, ඒ නිමිත්ත දෙස බලමින්, “පඨවි පඨවි” යනාදී වශයෙන් පරි කර්ම භාවනාව ආරම්භ කරන්නේය. මෙසේ භාවනා කරණ කල්හි, අන් අරමුණු වළක්වා ගනිමින්, පරි කර්ම නිමිත්තෙහි ම සිත නැවත්වීමෙන්, සිතෙහි එකඟ බව ඇති වී, ඒ පරිකර්ම නිමිත්තෙහි සියළු වර්ණ සටහන් ආදිය මනාව වැටහෙන්නේය. එවිට වට පිට බලන්නාවූ ද, ඇස් වසාගෙන බලන්නාවූ ද, ඔහුට, මේ නිමිත්ත මිස අන් කිසිවක් සිතට හමු නොවන්නේය. එසේ වැටහුණු කල්හි ඒ නිමිත්තට උග්ගහ නිමිත්ත යයි කියනු ලැබේ. දැන් මොහුට පරි කර්ම පිණිස ඉදිරියෙහි තබා ගත් කසිණ නිමිත්ත උවමනා නැති බැවින්, එය අත්හැර දමා, විවේකය ඇති අන් තැනකට එළඹ, සිතට වැටහුණු ඒ පඨවි නිමිත්ත නැවත මෙනෙහි කරමින් භාවනාවෙහි යෙදෙන්නේ ය. මෙසේ බොහෝ වේලා මේ උග්ගහ නිමිත්ත අරමුණුකොට භාවනාවඩනකල්හි, ඒ උග්ගහ නිමිත්ත විවෘත කොට ගෙණ පළමු වාරයෙහි කණමැදිරි ආලෝකයක් පමණ වූ, අතිශයින් ප්‍රසන්න වූ කසිණ ප්‍රතිභාග නිමිත්ත යයි කියන ලද කසිණා ලෝකය උපදී. ඒ කසිණා ලෝකය උපන් මාත්‍රයකින් ධ්‍යානය නූපදී. ඒ ආලෝකය මහත් වේවායි නිකාන්තිය හෙවත් කැමැත්ත උපදවා ගෙණ, ඒ කසිණාලෝකය අරමුණු කොට ගෙණ “පඨවි පඨවි” යනාදී වශයෙන් නැවත භාවනා කරණ කල්හි, ඒ ආලෝකය අඟලක් දෙකක් පමණ මහත්ව වැටහෙන්නේ ය. එයට පරිත්තාලම්බණ යයි කියනු ලැබේ. මේ අවස්ථාවේ දී යෝගාවචරයා හට ධ්‍යානය උපදවා ගත හැකි වේ. එයින් සතුටට නො පැමිණ ආලෝකය තවත් මහත් කරනු කැමැතිව, භාවනා කරණ කල්හි, ඒ ආලෝකය දොළොස් අඟලක් පමණ මහත් වේ. එයට මධ්‍යමා ලම්භණ යයි කියනු ලැබේ. මෙහිදී ද කැමැති නම් ධ්‍යානය උපදවා ගත හැකි වේ. මෙයිනුත් සතුටට නො පැමිණ කසිණාලෝකය තවත් මහත් කරනු කැමැතිව භාවනා කරණ කල්හි සැම දිසාවන්හී ම පැතිර පවත්නා අප්පමාණාලම්බණ යයි කියනු ලබන මහත් වූ කසිණාලෝකය පහළ වේ. මේ ආලෝකය නිතර උපදවා ගත හැකි පරිද්දෙන් ආරක්ෂා කරන්නේ නම්, සෘද්ධිවිධඥානාදී පඤ්චාභිඥා උපදවා ගැනීමට ද, අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීමට ද පහසු වන්නේය.
මේ ධ්‍යාන සිත, එය පහළවන චිත්තවීථියේ එක් සිතක් බවත්, එයට අනතුරුව භවාඞ්ග සිත් නැවත නැවත හටගන්නා බවත් නැවත නැවත ධ්‍යාන චිත්තවීථි උපදවා ගැනීමෙන් ධ්‍යාන සිත් රාශි යක් පහළවන බව ද දත යුතුයි.
මේ රූපාවචර ධ්‍යාන කුසල් සිත් පහෙන් පළමු ධ්‍යාන සිත් සතර සොමනස්ස සහගත සිත් බවද, පස්වැනි ධ්‍යාන සිත උපෙක්ඛා සහගත බව ද මේ සිත් සියල්ලම සම්ප්‍රයුක්ත සිත් බවද, එසේම සසංඛාරික බවද දත යුතුය.