අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ලොකොත්තර ධ්‍යාන සිත් සතලිහ (40)

රූපාරූප ධ්‍යානයන් උපදවා එයින් යම් ධ්‍යානයක් හා යෙදුන සම්ප්‍රයුක්ත ධර්මයන් පාදක කොට නො ගෙන, හුදෙක් පඤ්චස්කන්ධ යන් ම අරමුණු කොට, විදර්ශනා වඩා, මාර්ග ඵලයන් උපදවන්නා වූ ශුෂ්ක විදර්ශකයාහට පහළවන ලොකොත්තර මාර්ග සිත් සතරත්, ඵල සිත් සතරත් විස්තර කරන ලදී. යම් යොගාවචරයෙක් ධ්‍යාන උපදවා, ඒ ධ්‍යානයෙහි අන්තර්ගත ධර්මයන් පාදක කොට ගෙන විදර්ශනා වඩා මාර්ග ඵල ලබන්නේ නම්, ඒ පුද්ගලයාහට ඒ ඒ ධ්‍යාන සිත්හි යෙදෙන ධ්‍යානාඞ්ගාදි සම්ප්‍රයුක්ත ධර්මයන් හා යෙදුන මාර්ග සිත් සහ ඵල සිත් උපදනේ ය. ධ්‍යාන සිත් පහෙන් ම මාර්ග සතරත්, ඵල සතරත් ලැබිය හැකි වේ. එවිට ප්‍රථමධ්‍යානය ඇති ව ලබන මාර්ග සතරත්, ඵල සතරත් යන ලොකොත්තර ධ්‍යාන සිත් අටක් ලැබෙන්නේ ය. මේ ක්‍රමයෙන් දෙවෙනි, තුන්වැනි, සතරවැනි පස් වැනි ධ්‍යානයන් ඇති ව ලබන මාර්ග ඵල සිත් අට බැගින් ලැබෙන්නේ ය. මෙසේ ලොකොත්තර ධ්‍යාන සිත් සතලිසක් වන්නේ ය.