අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පරමාර්ථ ධර්ම සතර

අභිධර්මයෙහි හෙවත් සූත්‍ර දේශනාදියට වඩා විශේෂ වූ ධර්ම යෙහි වදාළ අර්ථ අභිධර්මාර්ථ නම් වේ. ඒ ධර්මාර්ථ සියල්ලම පරමාර්ථ ධර්ම වශයෙන් සතරෙකි. එනම්:—

  1. චිත්ත පරමාර්ත්ථය
  2. චෛතසික පරමාර්ත්ථය
  3. රූප පරමාර්ත්ථය
  4. නිර්වාණ පරමාර්ත්ථය යන සතරයි.

මේ පරමාර්ථ ධර්මයන්ට ඇතුළත් නොවන ධර්මයක් නැත. පරමාර්ථ ධර්මයෝ වනාහි, ඇසට නො පෙනෙන, ද්‍රව්‍ය සංඛ්‍යාවට නො ගැනෙන, ක්‍රියා මාත්‍ර වූ, ශක්ති විශේෂයකි. එමෙන් ම සත්‍ය වූ ද, විද්‍යමාන වූද, නො බෙදිය හැකි වූ ද, මූලාර්ථ වශයෙන් ගැනෙන සිතින් ම අවබෝධ කටයුතු ගැඹුරු ධර්ම සමූහයකි.

  1. චිත්ත පරමාර්ථ යයි කියනු ලබන්නේ සත්ත්වයා ගේ සිතට
  2. ය. එය අරමුණු දැනීමේ ශක්තියට කියන නමෙකි. රූප දැකීම, ශබ්ද ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශය දැනීම, වෙනත් නොයෙක් දේ සිතීම යනා දී දැනීම් සියල්ල ම ඇතිවන්නේ චිත්ත පරමාර්ථ ශක්තියෙනි.
  3. චෛතසික පරමාර්ථ වනාහී සිත සමඟ පවත්නා සිතේ ස්වභාවය දැන ගැනීමට උපකාරවන ශක්ති විශේෂයකි. චෛතසික නොමැතිව සිතක් හට නොගනී. සිතත් සමඟ එකට ඉපි ද, එකට නිරුද්ධවන, සිතේ අරමුණ ම ගෙන සිත උපදින තැන ම උපදින මේ ධර්මයෝ සිතට ඇතුළත්වම ඇතිවන හෙයින් චෛතසික නම් වේ.
  4. රූප පරමාර්ථයෝ නම් ඉහත කී චිත්ත, චෛතසික නම් වූ නාම පරමාර්ථයන්ට වෙනස් වූ ක්‍රියා විශේෂයකි. පඨවී, ආපො, තෙජො, වායො යන සතර මහා භූත රූප සහ ඒ නිසා හටගත් උපාදා රූපයන්ගෙන් යුත්, මේ රූප 28 (විසි අට), ශීතොෂ්ණ ආදී වූ විරුද්ධ ප්‍රත්‍යයන් ගෙන් පහර ලබන්නාවූ ද, පෙළනු ලබන්නාවූ ද, විනාශවනු ලබන්නාවූද, ධර්ම සමූහයකි. මේ රූප පරමාර්ථයන් මහත් රාශියක් එක් වීමෙන් ක්‍රමයෙන් ගස්, ගල් පර්වත, ශරීර ආදී වූ කුඩා, මහත් දෙය මවා පෑමේ ශක්තිය ඇති වේ. එය ද්‍රව්‍යයන් මෙන් පෙනෙතත්, ක්‍රියා සමූහයක ගේ විකාර ස්වභාවයකි. රූප පරමාර්ථයෝ නාම පරමාර්ථයන් මෙන් සියුම් නැත. එයට වඩා ඖදාරික ය, රළු ය, මහත් ය.
  5. නිර්වාණ පරමාර්ථය වනාහි ඉහත කී චිත්ත, චෛතසික, රූප යන ලෞකික වූ සංඛත වූ හෙවත් හේතු ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දා වූ, ජාති, ජරා, මරණාදී ව්‍යසනයන්ට භාජන වූ, ඒ පරමාර්ථයන්ට වඩා හාත්පසින් ම වෙනස් වූ, ලෝකෝත්තර වූ, අසංඛත වූ හෙවත් හේතු ප්‍රත්‍යයන් විසින් සකස් කරණු ලබන්නක් නො වන බැවින්ම, ජාති, ජරා, මරණාදියක් නැති, වාණ නම් වූ තෘෂ්ණාවෙන් නික්මුණ හෙයින් සියලු දුකින් මිදුනු, සංසිඳීම් සංඛ්‍යාත ශාන්ත වූ සැප ඇති, අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්ත වූ, ලෝකෝත්තර ඤාණයට අරමුණවන, ආර්‍ය්‍යයන් විසින් ම ප්‍රත්‍යක්ෂ කටයුතු ඉතා සූක්ෂම ධර්ම ධාතුවකි. මෙය නාම පරමාර්ථයක් වුව ද, චිත්ත, චෛතසික නම් වූ සංඛත නාම පරමාර්ථයන්ට වඩා අතිශයින් සියුම් වූ, අවබෝධ කර ගැනීමට ඉතා දුෂ්කර වූ, ගැඹුරු වූ ඒකාන්තයෙන්ම විද්‍යමාන වූ ධාතුවකි. මෙසේ සැකෙවින් පරමාර්ථ ධර්ම සතර හඳුන්වා දුන් නමුත් එහි විස්තර පසුව ප්‍රකාශ කරන්නෙමි.