අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සිතේ ප්‍රභේද

චිත්ත පරමාර්ථය නමින් දැක්වෙන මේ සිත සංක්ෂෙප වශයෙන් සිත් 89 ක් ද, විස්තර වශයෙන් සිත් 121 ක් ද වේ. මේ සියලුම සිත් නොයෙක් ක්‍රමවලට බෙදනු ලැබේ.

  1. (1) කාමාවචර සිත් (2) රූපාවචර සිත් (3) අරූපාවචර සිත් (4) ලෝකෝත්තර සිත් ය යි භූමි වශයෙන් සතරෙකි.
  2. (1) කුසල් සිත් (2) අකුසල් සිත් (3) විපාක සිත්
  3. ක්‍රියා සිත් යයි ජාති වශයෙන් ද සතරෙකි.
  4. (1) සුඛ සහගත සිත් (2) දුක්ඛ සහගත සිත් (3) සොමනස්ස සහගත සිත් (4) දොමනස්ස සහගත සිත් (5) උපෙක්ඛා සහගත සිත් ය යි ද කොටස් පසෙකි.
  5. (1) සම්ප්‍රයුක්ත සිත් (2) විප්‍රයුක්ත සිත් ය යි ද කොටස් දෙකෙකි.
  6. (1) අසංඛාරික සිත් (2) සසංඛාරික සිත් ය යි ද කොටස් දෙකෙකි.
  7. (1) ලෞකික සිත් (2) ලෝකෝත්තර සිත් ය යි ද කොටස් දෙකෙකි.
  8. (1) අහේතුක සිත් (2) සහේතුක සිත් ය යි ද කොටස් දෙකෙකි.
  9. (1) අසෝභන සිත් (2) සෝභන සිත් ය යි ද කොටස් දෙකෙකි.

භූමි - සත්ත්වයන් වසන ස්ථානයන්ටත්, සත්ත්වයන් පිළිබඳ යම් යම් අවස්ථාවන්ටත්, භූමි යයි කියනු ලැබේ. ලෝකෝත්තර භූමිය නම්, කෙලෙස් නැසීමෙන්, දුක් නිරුද්ධ කිරීමෙන්, භවය සිඳීමෙන්, පුද්ගලයකු විසින් පැමිණෙන එක්තරා අවස්ථාවකි. අනිත් භූමි තුන සත්ත්වයන් වාසය කරණ ස්ථාන වේ. සත්ත්වයන් වසන ලෝක තුන් කොටසකි. එනම් කාම ලෝක, රූප ලෝක සහ අරූප ලෝක යන තුනයි. කාම ලෝක 11 කි. අපාය සතරත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක සයත් ය. මෙයින් සතර අපායට කාම දුගතිය යයි ද, මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක සයට කාම සුගතිය යයි ද කියනු ලැබේ. මෙහි දුක් සැප දෙකම මිශ්‍රව පවතී. මේ කාම ලෝකවල හෙවත් එකොළොස් (11) කාම භූමිවල වසන සත්ත්වයන්ට වැඩි වශයෙන් ඇතිවන සිත් කාමාවචර සිත් නම් වේ. මේ සිත් වලින් අරමුණු කරනු ලබන්නේ කාම අරමුණු යි. එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ ආදියයි.

කාමයන්හි ආදීනව දැක කාමයන්ගෙන් මිදෙනු කැමැති පුද්ගලයන් විසින් චිත්ත භාවනා වඩා කාමයන්ගෙන් වෙන් වූ ධ්‍යාන කුසල් සිත් උපදවා ගනිති. මේ ධ්‍යාන සිත්, රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන යයි දෙකොටසකි. රූපාවචර ධ්‍යානයෙන් නොපිරිහී චුත වන පුද්ගලයන් රූප ලෝකවල ද, අරූපාවචර ධ්‍යානයෙන් නොපිරිහී චුත වන පුද්ගලයන් අරූප තලවල ද උපදිති. රූපාවචර බ්‍රහ්මලෝක 16 කි. එයින් අසංඥසත්ත නම් බඹතලයෙහි රූප කාය මිස නාම කායයක් නැත. ඉතිරි රූප ලෝක 15 වෙහි වසන බ්‍රහ්මයන්ට වැඩි වශයෙන් ඇතිවන සිත් රූපාවචර සිත් නම් වේ.

අරූපතල සතරෙකි. එහි රූප කායයක් නැත. එහි ඇත්තේ නාම කාය පමණකි. අරූප තල සතරෙහි වසන අරූපී බ්‍රහ්මයන්ට වැඩි වශයෙන් ඇති වන සිත් අරූපාවචර සිත් නම් වේ. කාම සුගතියෙහි වසන පුද්ගලයන්ට ධ්‍යාන සිත් උපදවා ගත හැකි වන්නාක් මෙන් රූපාවචර අරූපාවචර ලෝකයන්හි වසන බ්‍රහ්මයන්ට කාම අරමුණු හමුවූ විට කාමාවචරසිත් පහළ වේ. ඉහත කී කාම භූමි 11 ත්, රූප ලෝක 16 ත්, අරූප ලෝක 4 ත් යන 31 ක් තලයට එක් සක්වළක් යයි කියනු ලැබේ. සත්ත්වයන් වසන මෙවැනි සක්වළවල් අනන්තය, අප්‍රමාණය.

තණ්හා දිට්ඨි වශයෙන් තදින් අල්වාගන්නා ලද; පංචුපාදානස් කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් ද, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයෙන් ද එතර කරවන සියලු දුක්වලින් මුදවා, නිර්වාණ ධාතුවට පමුණුවා පෘථග්ජන ගෝත්‍රයෙන් එතර කොට, ආර්‍ය්‍ය භාවයට පමුණුවන මාර්ග සිත් සහ ඵල සිත් ලොකොත්තර සිත් යයි දත යුතු.

කුසල්, අකුසල්, විපාක, ක්‍රියා යයි සිත් ජාති සතරෙකි. නරක අයහපත් පාප ගති නසන අර්ථයෙන් කුසල් නම් වේ. මේ කුසල් සිත් හෙවත් කුසල කර්ම, යහපත් සැප විපාක උපදවති.

කුසලයන්ට ප්‍රතිවිරුද්ධ වූ නොයෙක් දුක් විපාක උපදවන සිත් අකුසල් සිත් නම් වේ.

මේ කුසල් සහ අකුසල් සිත් කර්ම සිත් යයි ව්‍යවහාරවේ. මේ කර්මයන් ගේ ඵලය හෙවත් විපාක වශයෙන් ඇතිවන සිත් විපාක සිත් නාමි. අඹ පැලයක් රෝපණය කිරීමේ දී කැමති වන්නේ ඒ අඹ ගස වර්ධනය වී, මල් ඵල හටගෙන ක්‍රමයෙන් මේරූ, පැසුණු බවට හෙවත් පාක බවට පැමිණි අඹ ගෙඩි හෙවත් එල ලබා ගැනීමය. එමෙන් ම කුසලාකුසල කර්ම කිරීමේ දී, කර්ම ශක්තිය පැසුණු බවට පැමිණීමේ දී ඒ කර්මයන්ට අනුකූලව දුක් හෝ සැප ගෙන දෙන්නා වූ විපාක සිත් හටගනි. කුසල කර්ම හේතුවෙන් ඉෂ්ට වූ යහපත් වූ සැප විපාක ද, අකුසල කර්ම හේතුවෙන් අනිෂ්ට වූ, අයහපත් වූ දුක් විපාක ද ලැබෙන්නේ ය.

කුසල් ද නොවූ, අකුසල් ද නොවූ විපාක ද නොවූ සිත් ක්‍රියා සිත් නම් වේ. මේ සිත්වල විපාක ශක්තියක් නැත. එය ක්‍රියා මාත්‍රයක් පමණය. වැඩි වශයෙන් ක්‍රියා සිත් පහළ වන්නේ රහතන් වහන්සේලාටය. කෙලෙස් නැසූ හෙයින් අකුසල් සිත් හටගන්නේ නැත. මතු භවයක් නැති හෙයින් කුසල් සිත් ද හටනොගනී. ප්‍රථග්ජන වූ අපට ද ක්‍රියා සිත් 2 ක් පමණක් ඇතිවේ.

සෑම සිතකම අරමුණු රසය විඳ ගැනීමේ ශක්තියක් ඇත. එයට වේදනාව යයි කියනු ලැබේ.

මිහිරි වූ කායික සැප වේදනා සහිත සිත සුඛ සහගත සිත නම් වේ.

අමිහිරි වූ කායික දුක්ඛ වේදනා සහිත සිත දුක්ඛ සහගත සිත නම් වේ.

ඉෂ්ට අරමුණේ මිහිරි රසය සතුටින් විඳිනා සැප වේදනා සහිත සිත සොමනස්ස සහගත සිත නම් වේ.

අනිෂ්ට අරමුණේ අමිහිරි රසය නොකැමැත්තෙන් විඳින දුක් වේදනා සහිත සිත දොමනස්ස සහගත සිත නම් වේ.

මධ්‍යස්ථ අරමුණේ මිහිරිද නොවූ, අමිහිරිද නොවූ රසය, කැමැත්තෙනුත් නොව, අකැමැත්තෙනුත් නොව විඳින උපෙක්ඛා වේදනා සහිත සිත උපෙක්ඛා සහගත සිත නම් වේ.

සුඛ සහගතවූ සිත කුසල විපාක වශයෙන් ලැබේ. දුක්ඛ සහගතවූ සිත අකුසල විපාක වශයෙන් ලැබේ. සොමනස්ස සහගත සිත් කුසල් අකුසල් දෙක්හිම ලැබේ. දොමනස්ස සහගත සිත් අකුසල් සිත්හිම ලැබේ. උපෙක්ඛා සහගත සිත් ද කුසල් අකුසල් දෙක්හිම ලැබේ.

යම් කිසි විශේෂ ගති නොහොත් ශක්තිවලින් යුක්තවූද ඒ හා සමඟ යෙදුනාවූද සිත් සම්ප්‍රයුක්ත සිත් නම් වේ.

එවැනි විශේෂ ශක්තියක් හා නොයෙදුනු සිත් විප්‍රයුක්ත සිත් නම් වේ.

දිට්ඨිය, ඤාණය, පටිඝය, විචිකිච්ඡාව, උද්ධච්චය යනාදී විශේෂ ධර්ම සිත්හි සම්ප්‍රයුක්ත වේ.

යම් කිසි මෙහෙයීමක්, උනන්දුකරවීමක්, අනුබලයක් නොමැ තිව ස්වභාවයෙන් ම තියුණුව හටගන්නා සිත් අසංඛාරික සිත් නම් වේ.

තමන් ගේ හෝ අනුන් ගේ මෙහෙයීමෙන්, උනන්දු කරවී මෙන්, අනුබල ලැබීමෙන් හටගන්නා සිත් සසංඛාරික සිත් නම් වේ.

සිතත් කයත් සැපවත්ව, කටයුතු කිරීමෙහි දක්ෂ බව හා මනා පුරුද්දක් ඇති විටෙක අසඞ්ඛාරික සිත් පහළ වේ. සිතත් කයත් ක්ලාන්තව බර බවට පැමිණි විටෙක සසඞ්ඛාරික සිත් ඇති වේ.

කාම ලෝක, රූප ලෝක, අරූප ලෝකවලට අයත් වූ සංඛතවූ හෙවත් හේතූන්ගෙන් හට ගන්නා වූද භව දුකට පමුණුවන්නා වූද කාමාවචර, රූපාවචර අරූපාවචර සිත් සියල්ල ම ලෞකික සිත් නම් වේ.

ඉහත කී ලෝකවලින් එතරවූ නිර්වාණය අරමුණු කරන, ආර්‍ය්‍ය භාවයට පමුණුවන, මාර්ග ඵල සිත් ලොකෝත්තර සිත් නම් වේ.

චිත්ත චෛතසිකයන්, අරමුණෙහි ස්ථිරව පිහිටුවීමට උපකාර වන බලවත් වූ ශක්ති කීපයක් තිබේ. සිත් උපදවන අන්‍ය හේතූන් ඇතත් මේ ශක්ති හෙවත් චෛතසික ධර්මයන්ට ඇතැම් සිත් හා සම්ප්‍රයුක්තව යෙදෙන බැවින් “හේතු” යන නාමය ලැබේ. ලෝභ, දෝෂ, මෝහ යන මේ චෛතසික තුන අකුසල් කිරීමේ දී අකුසල් සිත් සමඟ යෙදෙන බැවින් එයට අකුසල හේතුයයි ද කුසල පක්ෂ යෙහි යෙදෙන අලෝභ, අදෝෂ, අමෝහ යන චෛතසික තුන කුසල හේතු යයි ද ව්‍යවහාර කරනු ලැබේ. ගසක් පොළොවෙහි පිහිටීමට එම ගසේ මුල උපකාර වන්නාක් මෙන් මේ හේතු සයද සිත් හා සමඟ යෙදීමෙන් ස්ථිරව පිහිටුවීමට උපකාර වේ. එබැ වින් එයටම “මූල” යන නාමය ද ව්‍යවහාර වේ.

මේ හේතු සයෙන් එකක් හෝ වැඩි ගණනක් යම් සිතක යෙදුන විට ඒ සිත සහේතුක සිතක් වේ. මේ හේතු නොයෙදුනු සිත් අහේතුක සිත් නම් වේ.

සිත්වල යෙදෙන චෛතසිකයන් අතර යහපත් වූද, සැප දායක වූද කුසල පක්ෂයට අයත් චෛතසික සමූහයක් ඇත. එයට සෝභන චෛතසිකයෝ යයි කියනු ලැබේ. මේ සෝභන චෛතසිකයන් හා යෙදුන සිත් සෝභන සිත් යයි ද එසේ සෝභන චෛතසික නැති සිත් අසෝභන සිත් යයි ද ව්‍යවහාර වේ.