අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාමාවචර මහා කුසල් සිත් අට

  1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික කුසල් සිත. (සැප වේදනා සහිත ඤාණය සමග යෙදුන මෙහෙයීමක් නැති කුසල් සිත.)
  2. සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික කුසල් සිත. (සැප වේදනා සහිත ඤාණය සමග යෙදුන මෙහෙයීමක් ඇති කුසල් සිත.)
  3. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසංඛාරික කුසල් සිත. (සැප වේදනා සහිත ඤාණය සමග නො යෙදුන මෙහෙයීමක් නැති කුසල් සිත.)
  4. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත සසංඛාරික කුසල් සිත. (සැප වේදනා සහිත ඤාණය සමග නො යෙදුන මෙහෙයීමක් ඇති කුසල් සිත.)
  5. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික කුසල් සිත. (මැදහත් වේදනා සහිත ඤාණය සමග යෙදුන මෙහෙයීමක් නැති කුසල් සිත.)
  6. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත සසංඛාරික කුසල් සිත. (මැදහත් වේදනා සහිත ඤාණය සමඟ යෙදුන මෙහෙයිමක් ඇති කුසල් සිත.)
  7. උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත අසංඛාරික කුසල් සිත. (මැදහත් වේදනා සහිත ඤාණය සමඟ නො යෙදුන මෙහෙයිමක් නැති කුසල් සිත.)
  8. උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසංඛාරික කුසල් සිත. (මැදහත් වේදනා සහිත ඤාණය සමඟ නො යෙදුන මෙහෙයිමක් ඇති කුසල් සිත.)

අකුසල් හෙවත් පාප ගති නසන බැවින් කුසල් නම් වේ. ලෝභ දෝෂ, මෝහ ආදී අකුසල මූලයන් නිසා ඇතිවන පාප ධර්මයන් මැඩ පවත්වා යහපත් මගට පමුණුවන්නාවූ, මනුෂ්‍යලෝක, දිව්‍ය ලෝක ආදී කාම සුගතින්හි ප්‍රතිසන්ධිය ඇති කොට මහත් වූ සැප සම්පත්, විපාක වශයෙන් ගෙන දීමේ ශක්තිය ඇති කුශලකර්ම කිරීමේදී මේ සිත් පහළවේ. දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, වතාවත් කිරීම, බණ ඇසීම, බණ දෙසීම, පින් පැමිණවීම යන ආදී උසස් පින්කම් කරන්නේත් මේ කුසල් සිත් අටෙනි.

පින්කම් කිරීමේදී ඉෂ්ට අරමුණු හමුවන්නේ නම් ඒ කුසල් සිත් සොමනස්ස සහගත වේ. ඉෂ්ට මධ්‍යස්ථ නම් උපෙක්ඛා සහගත වේ. ශ්‍රද්ධාවෙන් දනක් දෙනු කැමැති කෙනෙකුට, යෝග්‍ය වූ දානවස්තුවක් ලැබීමත් ගුණවත් ප්‍රතිග්‍රාහකයෙකු හෙවත් දානවස්තුව පිළිගැනීමට සුදුසු පුද්ගලයෙකු ලැබීමත්, දන් දීමට සුදුසු කාලය පැමිණීමත්, යෝග්‍ය ස්ථානයක් ලැබීමත්, උපකාර පිණිස කල්‍යාණ මිත්‍රයන් ලැබීමත්, පිරිසිදු සම්‍යග්දෘෂ්ටිය ඇති බවත්, ප්‍රති ග්‍රාහකයාගේ ගුණ දැනීමත් දන් දීමෙහි අනුසස් දැනීමත්, සොමනස්ස සහගත මහා කුසල විපාක සිතකින් ප්‍රතිසන්ධිය ලබා සිටීමත් යනාදී හේතූන් ඇති කල්හි ඒ දානමය පුණ්‍ය කර්මය සොමනස්ස සහගත උසස් කුසල කර්මයක් වන්නේ ය.