ලෝභමූල සිත් අට
- සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත. (සැප වෙදනා සහිත වැරැදි දැකීම සමග යෙදුන මෙහෙයීමක් නැති සිත.)
- සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත. (සැප වෙදනා සහිත වැරැදි දැකීම සමග යෙදුන මෙහෙයීමක් ඇති සිත.)
- සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත. (සැප වෙදනා සහිත වැරැදි දැකීම් සමග නොයෙදුන මෙහෙයීමක් නැති සිත.)
- සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත. (සැප වෙදනා සහිත වැරැදි දැකීම සමග නො යෙදුන මෙහෙයීමක් ඇති සිත.)
- උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත. (මැදහත් වෙදනා සහිත වැරැදි දැකීම සමග යෙදුන මෙහෙයීමක් නැති සිත.)
- උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත. (මැදහත් වෙදනා සහිත වැරැදි දැකීම සමග යෙදුන මෙහෙයීමක් ඇති සිත.)
- උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත. (මැදහත් වෙදනා සහිත වැරැදි දැකීම සමග නොයෙදුන මෙහෙයීමක් නැති සිත.)
- උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත. (මැදහත් වෙදනා සහිත වැරැදි දැකීම සමග නො යෙදුන මෙහෙයීමක් ඇති සිත.)
පළමුවෙනි ලෝභමූල සිත
අපට හමුවන අරමුණු, ප්‍රියමනාප වූද, මධ්‍යස්ථ වූද, අප්‍රිය වූ ද, අරමුණු වෙති. ප්‍රියමනාප වූ අරමුණක් හමුවූ විට ඇති වන සතුටත්, ප්‍රීතියත් නිසා සැප වෙදනා උපදී. එයට සොමනස්ස යයි කියනු ලැබේ. සොමනස්සය සහිත සිත සොමනස්ස සහගත සිත නම්.
සොමනස්ස සහගත සිතක් හටගැනීමට උපකාර වන වෙනත් කරුණු නම්.
- සොමනස්ස ප්රතිසන්ධිකයෙකුවීම හෙවත් සොම්නස් විපාක සිතකින් උපන් කෙනෙකු වීම.
- නො ගැඹුරු අදහස් ඇතිවීම.
- ජරා, ව්‍යාධි, රෝග ආදි ව්‍යසන හෙවත් විපත් වලින් මිදීම යනාදී යයි.
මේ සොම්නස ඇතිවීමත් සමගම අරමුණෙහි ඇලීම ස්වභාවයකි. ඇලීම සහිත සිත ලෝභමූල සිතකි. මෙසේ අරමුණු රසය විඳීමේදී ඒ අරමුණු ස්වභාවය ගැන වැරැදි දැකීම් හෙවත් වැරැදි ලෙස පිළිගැනීමක් ඇති වන්නට පිළිවන. ඇතැම් අය කුසලාකුසල කර්ම නැත, කර්ම විපාක නැත, පරලොව නැත, දානයෙහි අනුසස් නැත, සීලයෙහි අනුසස් නැත, අන් සතු දෙය, තමන්ට රුචි නම්, ගත්තාට වරදක් නැත. තමා ගේ සැප විහරණය පිණිස සතුන්මරා මස් අනුභව කිරීමෙහි වරදක් නැත. කැමැති සේ කාමයෙහි හැසිරීමෙන් වරදක් සිදුවන්නේ නැත. මත් පැන් බීමෙහි දොසක් නැත. තමන්ගේ නිදහසට හෝ ප්‍රයෝජනයට බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්කථා කිරීම යනාදියෙහි වරදක් නැත. යනාදී වැරැදි දැකීම් හෙවත් දෘෂ්ටි ඇත්තෝ වෙති. මෙයට මිථ්‍යාදෘෂ්ටි යයි කියනු ලැබේ. මේ මිථ්‍යාදෘෂ්ටිය ඇතිව යම් කර්මයක් කරණ විට ඇතිවන්නේ මිථ්‍යාදෘෂ්ටිය සහිත සිතකි. දිට්ඨිය දෙවැදෑරුම් වේ:සම්මාදිට්ඨිය හෙවත් යහපත් නිවැරදි දැකීමත්, මිච්ඡාදිට්ඨිය හෙවත් අයහපත් වැරැදි දැකීමත් ය. සම්මාදිට්ඨිය ඇති වන්නේ පිරිසිදු කුසල් සිතකය. මිථ්‍යාදෘෂ්ටිය යෙදෙන්නේ අකුසල් සිත්හි පමණය. එබැවින් අකුසල් සිත් ගැන කියනවිට දිට්ඨිය යයි කියනු ලබන්නේ මිච්ඡාදිට්ඨියට බව දත යුතුයි. මේ දිට්ඨිය හා සමග යෙදුන සිත දිට්ඨිගත සම්පයුත්ත සිත නම් වේ.
මේ දිට්ඨිගත සම්පයුත්ත සිත ඇතිවීමට වෙනත් කරුණු ද ඇත. එනම්:-
- මිච්ඡාදිට්ඨිය ඇත්තවුන් ආශ්‍රය කිරීම.
- ධර්මයෙන් වෙන්ව වාසය කිරීම.
- නොමනා වැරැදි කල්පනා බහුල කොට ඇතිවීම.
- නුනුවණින් මෙනෙහි කිරීම, යනා දී යයි.
තවද, මේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සිත යම්කිසි මෙහෙයීමක්, අනුබලයක්, උනන්දු කරවීමක් නැතිව ස්වභාව යෙන්ම තියුණුව හටගන්නේ නම්, ඒ සිත අසංඛාරික සිතක් වේ.එවිට මේ පළමුවන සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිතකි.
සිතක් අසංඛාරික වීමට උපකාරවන වෙනත් කරුණු නම්:-
- අසංඛාරික විපාක සිතකින් ප්රතිසන්ධිය ගත් බවය.
- සිත හා කය නිරෝගීව පැවැත්වීමය.
- ඉවසීම බහුල බවය.
- කටයුත්තෙහි මනා පුරුද්දක් ඇති බවය.
- සෘතු, භෝජන ආදිය යෝග්‍ය පරිදි ලැබීම යනාදීයයි
දස අකුසල් අතුරෙන්, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය මුසාවාදය, පිසුණාවාචය, සම්ඵප්පලාපය, අභිධ්‍යාව සහ මිච්ඡාදිට්ඨිය යන අකුසල් හත ලෝභමූල සිතින් සිදුවිය හැකි. එයින් ද කාමමිථ්‍යාචාරය, අභිධ්‍යාව සහ මිච්ඡාදිට්ඨිය ලෝභ මූල සිතකින් මිස අන් සිතකින් සිදු නොවේ. එබැවින් මේ අකුසල් තුන ලෝභමූල සිත්වලට නියතය. අනිත් අකුසල් සතර අනියතය.
දෙවැනි ලෝභමූල සිත
මේ දෙවැනි ලෝභමූල සිත පළමුවෙනි ලෝභ සිතට බොහෝ සෙයින් සමානය. වෙනස නම්:- සසංඛාරික වීමය. මෙහිදී මෙහෙයීමක්, අනුබලයක් උනන්දු කරවීමක් ඇතිවම සිත හටගන්නේ ය. මේ සිතේ මැලි බවක්, බර බවක් ඇති වීමට අවකාශ තිබේ. ථීනමිද්ධය නම් වූ චිත්ත චෛතසික-යන්ගේ මැලි බව ඇති වන්නේ සසංඛාරික අකුසල් සිත්හි පමණකි.
තුන්වැනි ලොභමූල සිත
මේ සිතේ දිට්ඨිය හෙවත් වැරැදි දැකීමක් යෙදී නැති බැවින් දිට්ඨිගත විප්පයුත්ත නම් වේ. අනිකුත් කරුණු වලින් පළමුවැනි ලොභමූල සිතට සමානය. කර්මඵල විශ්වාස නො කිරීමක් මේ සිතේ නැත. ප්‍රාණඝාත ආදී අකුසල කර්මවල අනිෂ්ට දුක් විපාක හා දාන, සීල, භාවනාදී කුසල කර්මවල අනුසස් ද නො දන්නේ නොවේ. කර්මඵල අදහන්නේ වී නමුත්, ආශාව හෙවත් ලොභය මැඩ පැවැත්වා ගැනීමට නොහැකි බැවින් අකුසල් කරන්නේ ය. මෙය බොහෝ සෙයින් සසර පුරුද්ද නිසා ද ඇති වේ. තමන්ට ලාභ ප්‍රයෝජනය පිණිස ද, හිරිහැර කරදර වලින් මග හැරීම පිණිස ද, මිථ්‍යාදෘෂ්ටිය වැළඳ නොගත් අයට අකුසල් කිරීමේ දී මේ සිත පහළ වේ.
සතරවැනි ලොභමූල සිත
මෙය දෙවැනි ලොභමූල සිතට බොහෝ සෙයින් සමානය. වෙනසනම් තුන්වැනි සිතෙහි මෙන් දිට්ඨිගත විප්‍රයුක්ත වීමය.
පස්වැනි ලොභමූල සිත
මේ සිතට හමුවන අරමුණ මධ්‍යස්ථ අරමුණකි. එය ප්‍රියමනාප ද නොවේ. අප්‍රිය ද නොවේ. එහෙයින් සොම්නසත්, දොම්නසත් ඇතිවන්නට අවකාශ නැත. එබැවින්, මේ සිතෙහි වෙදනාව උපෙක්ඛා වෙදනාව නිසා ඒ සිත උපෙක්ඛා සහගත සිතක් වේ. සිතක් උපෙක්ඛා සහගත වීමට උපකාර වන වෙනත් කරුණු නම්:-
- උපෙක්ඛා සහගත සිතකින් උපන් කෙනෙකු වීම.
- ගැඹුරු අදහස් ඇති බව.
- රෝග පීඩා ආදී ව්‍යසනයන්ගෙන් මිදීම යනාදි යයි.
මේ පස්වැනි ලොභමූල සිත අනිකුත් කරුණු වලින් පළමු වැනි ලොභමූල සිතට සමානය.
සවැනි ලෝභමූල සිත
මේ සිත දෙවැනි ලෝභමූල සිතට බොහෝසෙයින් සමානය. වෙනස නම් මේ සිතේ වේදනාව සොම්නස නොව උපෙක්ඛා වීමය.
සත්වැනි ලෝභමූල සිත
මේ සිත තුන්වැනි ලෝභමූල සිතට සමානය. වෙනස නම් වෙදනාව උපෙක්ඛා වීමය.
අටවැනි ලෝභමූල සිත
මේ සිත සතර වැනි ලෝභමූල සිතට සමානය. වෙනස නම් වේදනාව උපෙක්ඛා වීමය.