සෝතාපත්ති ඵල සිත
සෝතාපත්ති මාර්ග සිතට අනතුරුව දෙකක් හෝ තුනක් ව ලැබෙන්නා වූ මේ ඵල චිත්තයෝ ද ඒකාන්තයෙන් ම නිවන් අරමුණු කොට ඇත්තා වූ ලොකොත්තර සිත් වූයේ වී නමුත් කුසල් නො වෙති. ආනන්තරීක සමාධිය අකාලික විපාකය යයි කියනු ලබන මේ විපාක අව්‍යාකෘත ධර්මයෝ වෙති. මේ ඵල චිත්තයෝ කුණු කසල දවා අලු කොට, උණුසුම නිවීමට පැන් කළ දෙකක් හෝ තුනක් වත් කිරීමක් මෙනි. මාර්ගයෙන් නසන ලද කෙලෙස් ඇති එම සන්තානයෙහි සන්සිඳීම් වශයෙන් උපදනා බැවින් පටිප්පස්සද්ධි ප්‍රහාණිය යයි කියන ලද සන්සිඳීම කරමින් ඉපිද නිරුද්ධවීමෙන් පසු චිත්ත සන්තතිය නැවත භවාඞ්ග වේ.
මේ සොවාන් ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ ධ්‍යානලාභී නම් මරණින් මතු කාම භූමියෙහි නො ඉපිද ලබන ලද ධ්‍යානයට අනුව රූපා රූප භූමින්හි පටිසන්ධිය ලබා එහි දී ම ඉතිරි මාර්ග ඵල ලැබීමෙන් පිරිනිවන් පාන්නේ ය.
ධ්‍යාන නො ලැබූ හෙවත් ධ්‍යානය පාදක කොට නො ගෙන විදර්ශනා වඩා මාර්ගයට පැමිණි ශුෂ්ක විදර්ශක සොවාන් පුද්ගල යෝ තිදෙනෙකි.
- ඒක බීජි සෝතාපත්ති පුද්ගලයා-එක් වරක් පමණක් කාම භවයෙහි ඉපිද අර්හත්වය ලබා නිවන් දකී.
- කොලංකොල සෝතාපත්ති පුද්ගලයා-දෙවර සිට සයවර දක්වා කාම භවයන්හි ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී.
- සත්තක්ඛත්තු පරම සෝතාපත්ති පුද්ගලයා-සත් වරක් කාම භවයන්හි ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී.
මේ ශුෂ්ක විදර්ශකයා විසින් ලබන්නා වූ මාර්ගය ඒකාන්තයෙන් ම ප්‍රථම ධ්‍යානයට සමාන වූ විතක්ක විචාර පීති සුඛ එකග්ගතායන ධ්‍යානාඞ්ග පසකින් යුක්ත වන්නේ ය. එහෙයින් ශුෂ්ක විදර්ශකයාට හෝ සමථ යානිකයාට හෝ ලැබෙන්නා වූ මාර්ගය ඒකාන්තයෙන් ධ්යානාඞ්ගයන්ගෙන් නො මිදෙන්නේ මැ යි.