නිර්වාණ විනිශ්චය
රේරුකානේ චන්දවිමල හිමි
පොත ගැන
ලේකම්ගේ සටහන්....
1926 දී සහ 1927 දී මුල් වරට වෙන වෙනම පලකරන ලද රේරුකානේ නාහිමියන්ගේ “නිර්වාණ විනිශ්චය හා පුනරුප්පත්ති ක්රමය” යන ග්රන්ථද්වය 1991 දී දෙවන වරට එක් පොතක් වශයෙන් අප මණ්ඩලයෙන් එළි දක්වන ලදී.
ග්රන්ථකරණය පිළිබඳ ආධුනික අවධියේදී ලියන ලද මේ පොත්වල භාෂාව පිළිබඳ ආධුනික බවක් මිස, කරුණු විග්රහය පිළිබඳ ආධුනික බවක් නැති නිසා නිවන හා පුනරුත්පත්තිය පිළිබඳ ගැඹුරින් හදාරන්නකුට මේ පොත හොඳ අත්වැලකි.
යම් කරුණක් පිළිබඳ පෙලෙහි ඇති විග්රහයත්, ඒ අනුව අටුවා ටීකාවන්හි දැක්වෙන ථෙරවාදී පද විග්රහයත් එක් තැන් කොට හැකිතාක් සරලව ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුදුන් වහන්සේගේ අදහස තේරුම් ගැනීමට සැලැස්වීම රේරුකානේ නාහිමිපාණන් වහන්සේගේ කෘතීන්හි එන ලක්ෂණයයි. පසු කාලයේ පොත් වල ඉතා දියුණුවට පෙණුනු මේ තත්ත්වයට එන්නට නාහිමියන් ගත් වෑයමේ මූල ලක්ෂණය ද මේ පොතෙන් තේරුම් ගත හැකිය.
ලෞකික වින්දනය හා ද්රව්ය හැඳින්වීම සඳහා නිර්මාණය කරගෙන ඇති වචන වලින් ලෝකෝත්තර තත්වයක් විග්රහ කරන්නේ කෙසේද යන ගැටළුව ජය ගැනීම රේරුකානේ නාහිමිපාණන්ට පමණක් නොව බුදුන් වහන්සේට ද මතු වූවකි. ඒ නිසා ම බුදුන් වහන්සේ ධර්ම දේශනාවට පසුබා ගිය බවත්, මහා බ්රහ්මයාගේ ආරාධනාවෙන් ධර්මය දේශනා කිරීමට නැවත තීරණය කළ බවත් සඳහන් වෙයි. එකල බ්රහ්ම සංකල්පය යටපත් කරගෙන මතු වූ බුද්ධ සංකල්පය තුලනය කිරීම පිණිස යෙදී ඇති මේ අදහස් කෙසේ වෙතත්, භාෂාව මෙවලමක් වශයෙන් ගෙන ලෝකෝත්තර වූ නිවන තේරුම් කිරීමත්, තේරුම් ගැනීමත්, කොතරම් අසීරු කාර්යක් වී ද යන්න නිවන සහ රහතන් වහන්සේ තේරුම් කරන්නට දේශිත සූත්රවල එන පද හරඹයෙන් වටහා හැකිය.
1927 සිට 1947 දක්වා රේරුකානේ නාහිමියන්ගේ කිසිදු පොතක් පල නොවීම හා මේ කාලය ධර්ම පත්රිකා පමණක් පළවීම තුළ වසර 20 ක පමණ කාලයක් භාෂාව පිළිබඳ මේ ගැටළුව ජය ගැනීමට නාහිමියන් ගත් වෑයම තේරුම්ගත හැකිය. උන් වහන්සේගේ අනික් පොත් හා සසඳන විට, කරුණු තේරුම් කිරීම අතින් සරල, සුගම නොවූ මේ පොත් දෙක පිළිබඳ අදහසත්, එය පාදක කරගෙන භාෂාව සකස් කරගැනීමත් නිසා මේ පොත් දෙකෙහි වටිනාකම අති විශාලය. 1947 දී පල වූ චතුරාර්ය්ය සත්යය භාෂාව පිළිබඳ වූ අඩුපාඩු ඉවත ලා කියවන්නාගේ අදහස් සීඝ්ර වර්ධනයකට ගෙන යා හැකි සේ අදහස් කුළු ගැන්වීමේ ලක්ෂණයන්ගෙන් යුක්තව ඉදිරිපත් කිරීමට නාහිමියෝ සමත් වෙති.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මය සැඟවෙන්නට නොදී එය ප්රබුද්ධ ජනයාගේ යහපත පිණිස විවර කර දුන් මහා කාශ්යප, මහින්ද, බුද්ධඝෝෂාදි මහා සංඝ පරම්පරාවට අයත්ව 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විශාල සේවයක් කර සියක් වසරක් ආයු වළඳා බුද්ධ ධර්මය අනුව ම සංස්කාරයන් කෙරෙහි පිළිපැදීමට ශ්රාවකයන්ට අනුබල දී ලෝකය ඉක්ම වූ රේරුකානේ නාහිමියන්ගේ උදාර ගති අවබෝධ කර ගනිමින්, ලොව සත්ය වසා ඇති මායා පටලය තේරුම් ගැනීමටත්, ඒ සඳහා උන් වහන්සේගේ සරල සුගම පොත් භාවිතා කිරීමටත්, ඒ පොත් පවත්වන්නට ආධාර අනුබල දෙන්නටත්, අපි ඔබට ආරාධනා කරමු.
මේ මුද්රණයේදී ප්රයෝජනයට ගත්තේ පෙර මුද්රණයේ සෝදුපත් සටහන් ම ය. එහි යෙදුණු මාලනී හා ගයානි වනිගතුංග මෙනෙවියගේ සහාය නැවත සිහිකරන්නේ ගුණ ප්රගුණය පිණිසය. හොරණ රූ මායා ග්රැෆික්ස්හි සාලිය ජයකොඩි මහතාගේ සංශෝධිත පරිඝණක අකුරු ඇමුණුමත්, සිකුරු ප්රකාශකයෝ හි ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්රමුඛ කාර්ය්ය මණ්ඩලයේ මුද්රණ සහායත් ස්තුති පෙරටුව සටහන් කරමි.
අප සංරක්ෂණ මණ්ඩලයේ කාර්ය්යයන්හි නිබඳ සහාය දක්වන ගරු සභාපති කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ප්රමුඛ ශිෂ්ය ස්වාමීන් වහන්සේලා ද මේ කටයුතු කෙරෙහි දක්වන උනන්දුව පැසසුමින් සටහන් කරමි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2007 දෙසැම්බර් 14 වන දින,
පොකුණුවිටදී ය.