පුනරුත්පත්ති ක්‍රමය

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

උප්පත්තික්කම වාදීනං - වරං අනුපපත්තිකං

ජීනඤ්ච තස්ස ධම්මඤ්ච - සඞ්ඝඤ්ච සිරසා නමෙ.

සකල ඥෙය පාරගත වූ අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගේ අත්‍යන්ත නිර්මල ධර්මයෙහි පමණක් නොව රාගාදී ක්ලේශයන්ගෙන් දූෂිත වූ සිත් ඇති ප්‍රදේශදර්ශි ඇතැම් ශාස්තෘවරයන්ගේ ධර්මයන්හි ද මේ සත්ත්වයෝ නැවත නැවත චුත වෙමින් උපදමින් සංසාරයයි කියන ලද මේ භවත්‍රයෙහි ම භ්‍රමණය වෙමින් සිටින බව දක්වා තිබේ. ඒ නැවත නැවත ඉපදීමට පුනරුත්පත්තිය යයි කියනු ලැබේ. නුමුත් බුද්ධාගමයයි කියන ලද සර්වඥධර්මයේ දක්වා තිබෙන පුනරුත්පත්ති ක්‍රමය අන්‍ය ධර්මයන්හි දක්වන ලද පුනරුත්පත්ති ක්‍රමයන්ට ඉතාමත් වෙනස් වූ සූක්‍ෂම වූ ක්‍රමයකි. අන්‍ය බොහෝ ශාස්තෘවරයන්ගේ ධර්මයන්හි සත්ත්වයෝ පළමු කොට දෙවියකු විසින් හෝ බඹකු විසින් මවන ලදුව පසුව ඒ සත්ත්වයන්ගේ ආත්ම අනික් අනික් ස්ථානයන් කරා යාමෙන් පුනරුත්පත්තිය සිදුවන බව දක්වා තිබේ. සර්වඥ ධර්මයේ වනාහි දිව්‍ය බ්‍රහ්මාදි කිසිවකුගේ මැවීමකින් හෝ අන් ක්‍රමයකින් හෝ පළමු කොට පටන් ගැනීමක් නොමැති ව ස්වභාවයෙන් ම ඇත්තා වූ සත්ත්වයන් ගේ පුනරුත්පත්තිය එක් භවයකින් අන් භවයකට කිසිවක් නො ගොස් සිදුවන බව දක්වා තිබේ. එබැවින් එය අන්‍ය ධර්මයන්හි දක්වන පුනරුත්පත්ති ක්‍රමයන්ට අතිශයින් වෙනස් බව දතයුතු. ක්ලේශයන්ගෙන් දූෂිත වූ සිත් ඇත්තා වූ සියල්ල දන්නා නුවණ නැත්තා වූ මිසදිටුවන් විසින් කල්පනා කොට සාදා තිබෙන ආගම්වල දක්වන කරුණු අනුයෝගක්‍ෂම නොවෙති. අනුයෝගක්‍ෂම නොවීම යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන්නා වූ ඒ ඒ කරුණු ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවහොත් ඒවා විසඳා තමා කියන කාරණය ප්‍රත්‍යක්‍ෂ කරන්නට නොහැකි වීමයි. මිථ්‍යා දෘෂ්ටිකයෝ වනාහි ඔවුන්ගේ ආගම් වල දක්වා තිබෙන්නා වූ පණ්ඩිතයන්ගේ අනුයෝගයේදී (ප්‍රශ්න විචාරීමේදී) ස්ඵුට කළ නොහෙන සියල්ල දේව රහස්ය කියා හෝ දිව්‍ය ඥානයෙන් මිස මනුෂ්‍ය ඥානයෙන් දත නොහෙන කරුණුය කියා හෝ කියති. ඔවුහු ද ඒ ධර්මයන්ගේ හරයක් නැති බව දැක දැකත් ඒවා දේව රහස්ය කියා සැනසෙති. නමුත් නිම්ල වූ බුද්ධධර්මයෙහි ශාස්ත්‍රානුකූලව ඔප්පු කළ වූ අනුයෝගක්‍ෂම නො වූ එක ධර්මයකුදු නැත්තේ ය එබැවින් සර්වඥ ධර්මයේ බුද්ධ රහස්ය කියා හෝ දේව රහස්ය කියා හෝ මනුෂ්‍ය ඥානයෙන් දත නො හැකිය කියා හෝ කිවයුතු ධර්‍ම කොට්ඨාසයක් නැති බව දතයුතු.

බුද්ධ ධර්මයේ වනාහි මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥානයට වඩා පහත්කොට උගන්වා නැත්තේ ය. ලෝකයෙහි කල්ප කෝටි ගණනකින් වත් අන්‍යයන්ගෙන් නො ඉගෙන තමාගේ ම ඥාන ශක්තියෙන් සියල්ල ම දැන සර්වඥ බවට පැමිණෙන්නේත් මනුෂ්‍යයෙක් ම ය. දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ කිසි කලෙක සර්වඥ පදවියට නොපැමිණෙති. දහස් ගණන් දෙවියන් එකතුව බොහෝ වර්ෂ ගණන් කල්පනා කොට නිශ්චය කර ගත හැකි නො වූ දුෂ්කර ප්‍රශ්න පවා දිව්‍ය බ්‍රහ්මයෝ බුදුන් කරා පැමිණ විචාරා විසඳාගෙන යති. එබැවින් මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥානයට වඩා පහත් නො වන බව හා මිසදිටුවන් විසින් දේව රහස්ය කියන ශාස්ත්‍රානුකූලව ඔප්පු කළ නොහෙන කරුණු ද සත්‍ය නො වන බව දතයුතු.

බුද්ධාගමයේ මනුෂ්‍යයන්ට තේරුම්ගත නොහෙන රහස් නැතැයයි කී නමුත් සකල බුද්ධ ධර්මය ම සෑම දෙනාට ම තේරුම් ගත හැකි නොවේ. ඊට හේතුව නම් ඒ ධර්‍මය අනුක්‍රමයෙන් උගෙන තේරුම් ගත යුතු වූ සියුම් ශාස්ත්‍රයක් වීමයි. එක දෙක තුන සතර යනාදි වශයෙන් ගණන් කිරීමට නො දත් දරුවාට ඒ තත්ත්වයේ සිටින තුරු උසස් ගණිත ක්‍රම උගන්වා තේරුම් කරවිය හැකි නොවේ. කුමක් හෙයින්ද යතහොත් උසස් ගණිත ක්‍රමයක් කියා දුන් කල එය තේරුම් ගත හැකි තත්ත්වයට ඔහු පැමිණ නො සිටි හෙයිනි. එපරිද්දෙන් ම ධර්‍මය උගෙන ඒ ඒ ධර්ම කොටස් තේරුම් ගත හැකි තත්ත්ව වලට පැමිණියා වූ තැනැත්තන්ට ම ඒ ඒ ගැඹුරු දහම් කොටස් තේරුම් ගත හැකි වේ. ඒ ඒ කරුණු තේරුම් ගත හැකි තත්ත්වවලට පැමිණිය හොත් කාට වුවත් බුද්ධාගමයේ දැක්වෙන සියළු ම කරුණු නිසැකව දතහැකි වන බැවින් එහි තේරුම් ගත නො හැකි කරුණු නැත යයි කියන ලදී.

සර්වඥ ධර්මයේ දැක්වෙන පුනරුත්පත්ති ක්‍රමය ඉතා සියුම් වූවක් බැවින් එය තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීමත් එපමණ පහසු නොවන බැවින් හා සත්ත්වෝත්පත්තිය ගැන ම තවත් තිබෙන්නා වූ ප්‍රශ්න නිරාකරණය වීම පිණිස ද මෙහි පුනරුත්පත්තිය සිදුවන ක්‍රමය පළමු කොට නො දක්වා පළමුකොට දැන තිබිය යුතු වූ සත්ත්ව භේදය, මැවීම ඇති නැති බව, සත්ත්වයන්ගේ මුලක් ඇති නැති බව, අළුත් සත්ත්වයන් පහළ වන නො වන බව, සත්ත්වයන් ක්ෂය නො වන බව යන ආදිය ප්‍රථම කොට දක්වනු ලැබේ.