ප්‍රථම පරිච්ඡේදය

නිර්වාණ විනිශ්චය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සිද්ධ සුද්ධා මිතගුණො නිබ්බානං නිබ්බනං ජනෙ,

බොධෙසි යො මහා වීරො නමෙ තං සිරසා තිධා.

.

සිද්ධියා සුද්ධියා සන්තා යං සෙවිංසු රමහෙසයො,

විසුද්ධං උත්තමං ධම්මං නමෙ තං සිරසා තිධා.

.

සිද්ධා විසුද්ධතා යස්ස සුද්ධිමාගම්ම සබ්බසො

සිද්ධ සිද්ධස්ස සංඝස්ස නමෙ තං සිරසා තිධා.

අශේෂ ඥෙයධර්ම විෂයෙහි ජීර්ණ පත්‍රයෙක්හි දිවස සංතප්ප නාරාචයක් සේ විනිවිද යන්නා වූ අනන්ත ඥාන බලයෙන් සමන්වාගත වූ විමුක්තිනායක වූ ලෝකෛක ශිවංකර වූ අප භාග්‍යවත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ බෝධිද්‍රැම මූලයෙහිදී ප්‍රතිවේධ කොට ගෙන උග්ඝටිතඥාදි අපරිමිත වෛනේය ජනයන්ට අවබෝධ කරවා වදාරන ලද්දා වූ සංසාර දුඃඛ සාගරයෙහි නිමග්න සත්ත්වයන්ට අසහාය ප්‍රතිෂ්ඨාව වූ පරමාර්ථ සත්‍ය වශයෙන් සියලු කල්හි ම විද්‍යමාන වූ බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා පැමිණ පරම ප්‍රීතීන් පිනා උදන් ඇනුවා වූ සකල

ක්ලේශ භාරයන්ගේ විමුක්තියෙන් ශාන්ත සුඛ ස්වරූප වූ ධර්ම රත්නයක් ඇත්තේ ය. ඊට නිර්වාණයැ යි කියනු ලැබේ.

ඒ නිර්වාණ ධර්මය වනාහි පෘථිවි වෘක්‍ෂ පර්වතාදිය මෙන් සටහනක් ඇත්තා වූ හෝ හට ගත්තා වූ ධර්මයක් නොවේ. නිත්‍යවැ පවත්නා හෙයින් කිසි කලෙක අභාවයට පැමිණෙන ධර්මයක් ද නොවේ. ලෝකය ඉක්ම පැවති හෙයින් ලෝකෝත්තර වූවකි. මෙලොවෙහි හෝ පරලෙව්හි නොවන හෙයින් යම් කිසි දිශාවක දේශයක නො පිහිටියා වූ ධර්මයකි. සකල සත්වයන්ගේ ම නිලීයන ස්ථානය වුව ද තමා කෙරෙහි එක ද සත්ත්වයකු නැත්තා වූ ධර්මයකි. බොහෝ සත්ත්වයන් පැමිණෙන නමුත් ඔවුන්ගේ පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නො පැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තා වූ ධර්මයකි. පුරාණාභිනවතා හීනප්‍රණීතතාදි භේදයක් ද නැත්තා වූ ධර්මයකි. තමා කෙරෙහි කිසි විඳිය යුතු සුවයක් නොමැතිව පරම සුඛයවැ පවත්නා ධර්මයකි. එක ද සත්ත්වයකු තමා කෙරෙහි නොමැතිව සකල සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වූ ධර්මයකි. පරම ගම්භිර දුර්දශ ධර්මයකි. අනන්තාපරිමාණ සුඛ සුභ ගුණයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් විද්‍යමාන ධර්මයකි.

මෙසේ ලෞකික මහා ජනයා විසින් විඥාත වූ රූප ශබ්දාදි ලෞකික ධර්මයන්ට අතිශයින් විසදෘශවැ පරම සූක්‍ෂම භාවයෙන් පවත්නා වූ නිර්වාණ ධර්මය ස්කන්ධ ධාත්වායතනාදි ධර්මයන් සම්බන්ධ දැනීම නොමැත්තා වූ අන්ධ පෘථග්ජනයන් විසින් ද දත හැකි නොවේ. ස්කන්ධ ආදි ධර්ම විභාග දන්නා වූ කල්‍යාණ පෘථග්ජනයන්ට අනුමාන වශයෙන් දත හැකි වේ. ආර්‍ය්‍ය පුද්ගලයන්ට ම මාර්‍ගඥාන ඵලඥානයන්ගෙන් ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි වේ. ලෝකයෙහි අන්ධ පෘථග්ජනයෝ ජාත්‍යන්ධයන් වැනි වෙති. කල්‍යාණ පෘථග්ජනයෝ මඳක් පෙනී ම ඇති පටල සහිත ඇස් ඇතියන් වැනි වෙති. ආර්යයෝ පිරිසිදු ඇස් ඇතියන් වැනි වෙති. ඒකාන්තයෙන් විද්‍යමාන වූ නීලපීතාදි වර්ණයෝ ජාත්‍යන්ධයන්ට සර්‍වප්‍රකාරයෙන් දර්ශනය නොවෙති. පටල සහිත ඇස් ඇතියන්ට ස්වල්ප වශයෙන් දර්ශනය වෙති. පිරිසිදු ඇස් ඇතියන්ට සර්වප්‍රකාරයෙන් දර්ශනය වෙති. ඉදින් ජාත්‍යන්ධයන් විසින් ඒකාන්තයෙන් විද්‍යමාන නමුත් තමාට අවිෂය වූ නීලපීතාදි වර්ණයන් ලොව නැතියයි කියා නම් එය සම්පූර්ණයෙන් ම අසත්‍යක් ම වේ. හුදෙක් එය ඇස් ඇත්තන්ගේ හාස්‍ය පිණිස ම වේ. එමෙන් ම ආර්‍ය්‍යයන්ට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ද කල්‍යාණ පෘථග්ජනයන්ට අනුමාන වශයෙන් ද දර්ශනය වන්නා වූ ඒකාන්තයෙන් විද්‍යමාන වූ නිර්වාණ ධර්මය තමාට නො පෙනෙන හෙයින් අන්ධ පෘථග්ජනයන් විසින් නැතැයි කියනු ලැබේ නම් එය සම්පූර්ණයෙන් ම අසත්‍යයක් ම වේ. එය නිවන් පසක් කරන ලද ආර්‍ය්‍යයන්ගේ හාස්‍යය පිණිස ම වේ. එහෙයින් තම තමාගේ දෝෂයෙන් ම තම තමාට නො පෙනෙන නමුත් නිර්වාණ ධර්මය ඒකාන්තයෙන් ඇති බව දත යුතු. එය අන්ධ පෘථග්ජන භාවය ඉක්මවා කල්‍යාණ පෘථග්ජන භාවයට පැමිණ අනුමානඥානයෙන් දත හැකි වේ. පළමුකොට අනුපමෙය්‍ය වශයෙන් දත් තැනැත්තාට ම මාර්ගඥාන ඵලඥානයන් කරණකොට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැකිය හැකි වේ. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද කල්හි ම දුකින් මිදිය හැකි වේ. එහෙයින් තම තමා විසින් ලබා ගැනීමට බලාපොරොත්තු වන පරම රමනීය වූ නිර්වාණපුරය ගැන දැනීම ඇතිකර ගැනීමට පෘථග්ජන වූ සියල්ලන් විසින් ම ප්‍රෝත්සාහි විය යුතු ය.

මෙහි නිර්වාණයැයි කියන ලද්දේ ක්ලේශස්කන්ධයන්ගේ නිරවශේෂ නිරෝධයයි. එනම් :– මතු ඉපදීමට කිසිවක් ශේෂ නොවී නූපදනාකාරයෙන් සිදුවන නිරෝධයයි, නිවීමයි, නොපැවැත්මයි. “නිරෝධය නිවීම නොපැවැත්ම” යන වචනයන්ගෙන් අදහස් කරන නිරෝධ තුනකි.

එනම්:

(1) උපන් සංස්කාර ධර්මයන්ගේ ක්‍ෂණයක් පාසා සිදුවන භඞ්ගය.

(2) ගිනි නිවීම. මැවීම යනාදීන්හි අදහස් කරන නාමරූප පරම්පරාවන්ගේ සිඳීම.

(3) මතු කිසිකලෙක නූපදනාකාරයෙන් සිදුවන අනුත්පාද නිරෝධය යන මොව්හුයි.

මෙයින් පූර්ව නිරෝධත්වය වනාහි උපන් සංස්කාර ධර්මයන්ගේ බිඳී අතුරුදහන් වීමයයි කියන ලද සිස් බවෙකි. ඔවුහු අනිත්‍ය සම්බන්ධ කථාවෙහි අභිප්‍රේත නිරෝධයෝ යි. නිර්වාණ කථාවෙහි වනාහි කිසිකලෙක නූපදනා නියායෙන් සිදුවන නාම රූප ධර්‍මයන්ගේ අනුත්පාද නිරෝධය ම අභිප්‍රේත වේ. මේ වනාහි පූර්වෝක්ත අභාවද්වය හා අතිශයින් විසදෘශ වූ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වූ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙන් මුක්ත වූ සූක්‍ෂම ධර්මයකි. යථෝක්ත ස්වභාවික නිරෝධයාගේ හා අනුත්පාද නිරෝධයේ වෙනස කියනු ලබන උපමාවෙන් දත යුතු.

රාත්‍රී කාලයේ තමා කිසි කලෙක නො ගිය විරූ පෙදෙසකට ගියා වූ එක්තරා පුරුෂයෙක් තෙම පෙර මඟ සිටවා තිබූ කණුවක් දැක අමනුෂ්‍යයෙකැයි මහත් භයට පත්විය. මඳ වේලාවක් බියෙන් කණුව දෙස බලා සිටින කල නොසෙල්වී තිබෙන හෙයින් අමනුෂ්‍ය සංඥාව දුරුවී බය නිවී ගියේ ය එකල්හි පුරුෂ තෙම නැවතත් ඉදිරියට ගමන් කළේ ය. ස්වල්පයක් ඉදිරියට ගමන් කළ ඉක්බිති නැවතද අමනුෂ්‍ය සංඥාව පහළ වී භය උපන්නේ ය. ඉක්බිති පසුබැස බලා සිටින කල්හි නැවතත් පෙර සේ ම භය නිවී ගියේ ය. මෙසේ ඉදිරියට ගමන් කරන කල භය වෙමින් ද පසුබැස සිටින කල භය සන්සිඳෙමින් ද කණුව ඉක්මවා යා නොහැකිව යථෝක්ත පුරුෂයා කණුවෙන් ඈත්ව සිටින කල එක් පුරුෂයෙක් තෙම මහත් වූ ආලෝකය ඇති ගිනිහුලක් ගෙන කණුව සමීපයෙන් ගියේ ය. එකල්හි යාගත නොහැකිව සිටි පුරුෂ තෙම ආලෝකය කරණ කොට ගෙන කණුව දැක භය නිවී නිර්භයව කණුව ඉක්මවා ගියේ ය.

මේ උපමාවෙහි කියන ලද පුරුෂයාට භය නිරෝධ (නිවීම්) දෙකක් විය. එනම් ආලෝකයෙන් කණුව දැකීමට ප්‍රථම නැවත නැවත හටගත් භයේ නිවීම එකකි. ආලෝකයෙන් කණුව දැකීමෙන් වූ භය නිවීම එකකි. එයින් පළමු සිදුවූ භය නිවීම උපන් භයේ අභාව මාත්‍රයමැයි. ඒ කිසිවක්හුගේ අභාවය වූ සිස් බව මතු භය නො ඉපදීමට හේතු නො වන බැවින් ඒ අවස්ථාවට භය නොමැති මුත් කණුව කරා යන විට වහාම භය උපදින්නේ ය. ආලෝකයෙන් කණුව දැකීමේදී වූ භය නිරෝධය නම්:- කණුව කණුවක්මයයි නිශ්චයට නො පැමිණියේ නම් කණුව කරා යන කල වන්නට තිබුණු භය නො ඉපදී යාමයි. ඒ වනාහි යට කී උපන් භයේ නිරෝධය මෙන් භයාභාව මාත්‍රයක් නොව මතු කණුව කරා යන කල ද භය නූපදිනාකාරයෙන් පවත්නා වූ ඒකාන්තයෙන් ඇත්තා වූ ශාන්ති ස්වභාවයකි. ඒ නිරෝධයාගේ ශක්තියෙන් යථෝක්ත පුරුෂයාට කණුව කරා යාමේදී පෙර උපදිමින් තිබුණු භය උත්සාහ කොට ද උපදවා ගත නො හැක්කේ ම ය. කුමක් හෙයින් ද යතහොත්? ඒකාන්තයෙන් කණුව අමනුෂ්‍යයෙක් නොවන බව දැනගත් හෙයිනි. ඒ දැනීමෙන් පසු අන්‍යයකු විසින් ද ඒ භය ඔහුට උපදවා දිය නොහැක්කේ ම ය.

මේ උපමාවෙහි දක්වන ලද උපන් බියෙහි නිරෝධය මෙන් උපන් සංස්කාර ධර්මයන්ගේ භඞ්ගය හා සන්තතිවිච්ඡේදය දත යුතු. අනුත්පාද නිරෝධය, ආලෝකයෙන් කණුව දැකීමෙන් සිදු වූ භය නිරෝධය මෙන් දතයුතු. ආලෝකය කරණ කොට ගෙන ප්‍රත්‍යක්‍ෂ වශයෙන් කණුව දැකීමෙන් අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වූ භය මතු හට නොගන්නාක් මෙන් විදර්ශනාඥානාලෝකයෙන් සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණත්‍රය දැකීමෙන් අනුත්පාද නිරෝධයන් නිරුද්ධ වී යන ක්ලේශ ස්කන්ධයෝ මතු කිසිකලෙක හට නො ගන්නාහු ය. ක්ලේශ ප්‍රහාණය කරන ලද රහතුන් වහන්සේලාට ක්ලේශයෝ නම් කෙබන්දෝ දෝහෝයි බැලීමට වත් ස්වසන්තානයෙහි ක්ලේශයන් උපදවා ගත නො හැක්කේ ය. මෙසේ ස්වභාවික නිරෝධයාගේ හා අනුත්පාද නිරෝධයාගේ වෙනස දත යුතු.

එක් එක් පුද්ගලයකුගේ ක්ලේශස්කන්ධයෝ සතර වාරයකදී අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වෙති. එහි පිළිවෙල මෙසේ දත යුතු. ශ්‍රෝතආපත්ති මාර්‍ගක්ෂණයෙහිදී මාර්‍ගයාගේ ශක්තියෙන් දෙසැට වැදෑරුම් වූ මිථ්‍යාදෘෂ්ටිය තෙවදෑරුම් නියත මිථ්‍යාදෘෂ්ටිය අෂ්ට ප්‍රභේද වශයෙන් හා ෂෝඩෂ ප්‍රභේද වශයෙන් දක්වන ලද විචිකිත්සාවය යන මේ ධර්මයෝ නිරුද්ධ වෙති. සකෘදාගාමි මාර්ගක්‍ෂණයෙහි ඖදාරික කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධ වෙති. අනාගාමී මාර්ගක්‍ෂණයෙහි තුනී වූ කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධ වෙති. අර්හත් මාර්ගක්‍ෂණයෙහි රූපරාග අරූපරාග මානාවිද්‍යාදි ශේෂ සකලක්ලේශයෝ නිරුද්ධ වෙති. මේ ක්ලේශ නිරෝධය සිදුවන පිළිවෙළ යි.

ස්කන්ධයන් අතුරෙන් වනාහි ශ්‍රෝතආපත්ති මාර්‍ගක්ෂණයෙහි අපායෙහි උපදනා සකල ස්කන්ධයෝ ද භව සතකින් මතුයෙහි ඉපදිය හැකි වූ කාම සුගතිය සම්බන්ධ වූ සකල ස්කන්ධයෝ ද නිරුද්ධ වෙති. සකෘදාගාමි මාර්ගක්ෂණයෙහි දී කාමභවයෙහි එක්වරක් ඉපදීමට ඉඩ තබා එහි නැවතත් ඉපදිය හැකි වූ සෙසු ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අනාගාමි මාර්ගක්ෂණයෙහි මතු කාම භවයෙහි ඉපදිය හැකි වූ ඉතිරි ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අර්හත් මාර්‍ගක්‍ෂණයෙහි වර්තමාන ස්කන්ධ කය හැර සංසාරයෙහි මතු ඉපදිය හැකි වූ සකල ස්කන්ධයෝ ම නිරුද්ධ වෙති. මේ ස්කන්ධ නිරෝධය සිදු වන පිළිවෙළ යි.

මෙසේ අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වන්නා වූ ක්ලේශ ස්කන්ධයෝ බොහෝ වූ නමුත් ක්ලේශස්කන්ධ ගණනාවෙන් නිරෝධ බොහෝ ගණනක් ද නොවෙත්. සතර වාරයකදී නිරුද්ධ වන නමුත් ප්‍රමාණ වශයෙන් නිරෝධ සතරක් ද නොවෙත්. පුද්ගල ප්‍රමාණයෙන් බොහෝ ගණනක් ද නොවෙත්. ඒ බව කියනු ලබන උපමාවෙන් දත යුතු. එක් අයකුගේ ශරීරයෙහි පිළිකා එක් දහස් පන්සියයක් එකවිට හටගත්හ. පළමුවෙනි වර භෛෂජ්‍යාලේපය කළ කල්හි එයින් සතරෙන් කොටසක් සුව වූහ. මෙසේ දෙවෙනි වරද තුන්වෙනි වරද බෙහෙත් ගැල්වූ කල්හි කොටස බැගින් සුව වූහ. සතරවෙනි වර ගැල්වූ කල්හි සියල්ලම සුව වී කැලැල් පවා නැතිවී ගොස් ප්‍රකෘති ශරීරය ම විය.

මේ උපමාවෙහි කියන ලද පිළිකාවෝ වනාහි මේ එකක්ය මේ අනිකක්ය යනාදි වශයෙන් වෙන්කිරීමට කරුණු වූ අක් මුල් ආදිය ඇත්තෝ ය. ඔව්හු දැවූ සටහනක් ඇත්තා වූ ධර්‍මයෝ ය. එහෙයින් පිළිකා එක්දහස් පන්සියයක් බව කිවහැකි වේ. පිළිකා සුවය නැමැති ආරෝග්‍ය වනාහි දැවූ සටහන් සහිත වූවක් නොවේ. පිළිකාත් පිළිකා සුවයත් අතර කතා කිරීමේදී සම්බන්ධතාවයක් ඇතුවාක් මෙන් පෙනෙන නමුත් ඔවුහු ලක්‍ෂණ වශයෙන් අහස පොලොව සේ දුර වූවාහු වෙති. ආලෝකයත් අන්ධකාරයත් මෙන් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූවාහු වෙති. පිළිකාවන්ට මෙන් පිළිකා සුවය නමැති ආරෝග්‍යයට මුලක් නැත්තේ ය. පිළිකාවන්ට මෙන් පිළිකා සුවයට මුදුනක් නොමැත්තේ ය. පිළිකාවන්ට ප්‍රමාණයක් ඇතත් පිළිකා සුවයට ප්‍රමාණයක් නැත්තේ ය. පිළිකාවන්ට වර්ණයක් ඇතත් පිළිකා සුවයට වර්ණයක් ඇත්තේ නොවේ. එහෙයින් දැවූ සටහන් සහිත වූ පිළිකා මෙන් දැවූ සටහන් නැත්තා වූ පිළිකා සුවය මේ එක සුවයක මේ අනික් සුවයකැයි වෙන් කළහැකි නොවේ. පිළිකා සුවයේ අක් මුල් ආදියක් කිසිවකුට දැක්විය නොහේ. එහෙයින් එක්දහස් පන්සියයක් වූ පිළිකාවන්ගේ ම සුවය ආරෝග්‍ය -නමැති එක ම ධර්මයක් බව දත යුතු.

තවද පිළිකා සනිමිත්ත (සටහන් ඇති) ධර්ම වූ හෙයින් මේ පළමු වෙනි වර සුව වූ පිළිකාවෝ ය. මේ දෙවෙනි වර සුව වූ පිළිකාවෝය යන ආදි වශයෙන් වාර ප්‍රමාණයෙන් ද බෙදිය හැකි වෙත්. අනිමිත්ත ධර්ම වූ (සටහනක් නැත්තා වූ) ආරෝග්‍ය වනාහි මේ පළමුවෙනි පිළිකා සුවය මේ දෙවෙනි පිළිකා සුවය යන ආදි වශයෙන් වාර ප්‍රමාණයෙන් බෙදිය හැකි නොවේ. සියල්ල සුව වූ පසු සුවයේ කොණක් සෙවිය නොහේ. එහෙයින් සතර වාරයෙහිදී ම වූ සුවය එකම ආරෝග්‍ය බව දත යුතු. මේ එකවර හටගත් එක්දහස් පන්සියයක් වූ පිළිකාවන්ගේ සුවය පමණක් නොව ඔහුගේ ශරීරයෙහි ඒ ආත්ම භාවයෙහි හට ගෙන සුව වූ අන්‍ය රෝගයන්ගේ යම් සුවයක් ඇත්නම් එයද අනාගතයෙහි හට ගෙන සුව වන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් ඒද වර්තමාන පිළිකා සුවය ද යන සියල්ල ම ද එක ම ධර්මයකි. රෝගයෝ වනාහි සනිමිත්ත ධර්ම වූ හෙයින් වෙන් වෙන් වූවාහු වෙති. එපමණක් ද නොව අනමතග්ග අතීත සංසාරයෙහි උපන්නා වූ සකල භවයන්හිම ඔහුගේ ශරීරයෙහි හටගත් යම් රෝග සුවයක් වේ නම් ඒද අනාගත භවයන්හි හටගන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් ඒද වර්තමාන භවයෙහි රෝග සුවය හා වෙන් එකම ධර්මයක් වේ. රෝග හා ආත්ම භාව සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ වෙති. එපමණක් නොව සියයක් වූ පුද්ගලයන්ගේ ද දහසක් වූ පුද්ගලයන්ගේ ද දස දහසක් වූ පුද්ගලයන්ගේද අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි සකල භවයන්හි හට ගන්නා වූ සකල රෝගයන්ගේ ම සුවය ද යටකී පුද්ගලයාගේ රෝග සුවය ද යන සියල්ල එක ම ධර්මයක් වේ. පුද්ගලයෝ වනාහි සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ ගණනක් වෙති.

මේ උපමාවෙහි දක්වන ලද පරිදි සතර වාරයකදී සුව වූ එක් දහස් පන්සියයක් වූ පිළිකාවන්ගේ සුවය එකම ආරෝග්‍යය වූවාක් මෙන් සතර වාරයක් හි නිවී යන එක් දහස් පන්සියක් ක්ලේශයන්ගේ හා ස්කන්ධයන්ගේ නිරෝධය ක්ලේශස්කන්ධ ගණනාවෙන් බොහෝ ගණනක් ද නොවේ. සතර වාරයකදී නිරුද්ධ වීම නිමිත්ත කොට වාර ප්‍රමාණයෙන් සතරක් ද නොවේ. බොහෝ සත්ත්වයන්ගේ නානාවිධ රෝග සුවය හා පිළිකා හට ගත්තා වූ පුද්ගලයාගේ රෝග සුවයත් එකම ධර්මයක් වූවාක් මෙන් නිවනට පැමිණෙන්නා වූ සකල සත්ත්වයන්ගේ ම ක්ලේශස්කන්ධ නිරෝධය පුද්ගල ගණනාවෙන්ද බොහෝ ගණනක් නොව එකක් ම වේ.

ක්ලේශ ස්කන්ධ හා පුද්ගලයෝ සනිමිත්ත ධර්මයෝ ය. (සටහන් ඇති ධර්මයෝ ය) නිරෝධය වනාහි අනිමිත්ත (සටහනක් නැති) ධර්මයකි. සනිමිත්ත ධර්ම වූ ක්ලේශ ස්කන්ධ පුද්ගලයෝ මේ එකක් යයි මේ අනිකක්යැයි වෙන් කළ හැකි වෙති. අනිමිත්ත ධර්මයක් වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය (නිවන) එසේ බොහෝ ගණනක් වන පරිදි වෙන් කළ හැකි නොවේ.

ක්ලේශස්කන්ධ නිරෝධය යන වචනයෙන් අදහස් කරන ලද ක්ලේශ ස්කන්ධයෝ ද අතීතයෙහි නූපන්නා වූද අනාගයෙහි නූපදින්නා වූ ද වර්තමානයෙහි ඉපිද නැත්තා වූද කාල විමුක්ත

ක්ලේශස්කන්ධයෝ වෙති. එහෙයින් ඔවුහු ද අනිමිත්ත ධර්මයෝ ය. (සටහනක් නැත්තා වූ ධර්මයෝ ය.) චතුර් මාර්ගයන්ගේ වශයෙන් සතර වාරයකදී ප්‍රහාරණය කිරීම නිමිත්තකොට නානා විධ ක්ලේශ හා නානා විධ ස්කන්ධ ගෙන කියනු ලැබේ. එසේ වුවත් ඒකාන්තයෙන් ඔවුන්ගේ ද නානත්වයක් නො ලැබේ. මෙය අවබෝධ කර ගැනීමට මඳක් දුෂ්කර වූවකි. සිහිනුවණින් යෙදී මුළා නොවී යථාර්ථය අවබෝධ කර ගත යුතු.