අප්‍රණීහිත නිර්වාණය

star_outline

අප්‍රණීහිත නිර්වාණය නම් :- සකල ප්‍රාර්ථනාවන්ගෙන් හිස් වූ නිවනයි. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි පවත්නා වූ සකල සංස්කාර ධර්මයෝ සප්‍රණිහිත (ප්‍රාර්ථනා සහිත වූ) ධර්මයෝ වෙති. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සම්පත් අතුරෙහි හීන, මධ්‍යම, ප්‍රණීත, ප්‍රණීතතර වශයෙන් නොයෙක් ප්‍රමාණවල සම්පත් ඇත්තාහු ය. එයින් හීන සම්පත්තිය ලැබූවහු තුළ මධ්‍යම ප්‍රණීත සම්පත් ප්‍රාර්ථනා කිරීම ඇත්තේ ය. මධ්‍යම සම්පත් ලැබූවහු තුළ ප්‍රණීත වූ සම්පත් ප්‍රාර්ථනා ඇත්තේ ය. ප්‍රණීත වූ සම්පත් ලැබූවහු තුළ අති ප්‍රණීත වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේ ය. ලෞකික සම්පත් අතුරින් අග්‍රප්‍රාප්ත ප්‍රණීත සම්පත් ලැබූවහු තුළ ද ඒ සම්පත් පරණ වීමට දිරීමට බිඳීමට පැමිණෙන හෙයින් අළුත් අළුත් වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේ ය. ප්‍රාර්ථනාව වනාහි සත්ත්වයන් තවන්නා වූ ගින්නකි. ප්‍රාර්ථනාග්නියෙන් තවන ලද සත්ත්වයෝ මරණයට පවා ඇතැම් විට පැමිණෙති. එහෙයින් ප්‍රාර්ථනා සහිත වූ ලෞකික සම්පත් සියල්ල ම ගිනිගෙන දිලිසෙන වස්තූන් වැනි වෙති. ලෞකික සම්පත් අතුරෙන් මනුෂ්‍ය ලෝකයෙහි චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ද, දිව්‍ය ලෝකයෙහි දිව්‍යරාජ සම්පත් ද, බ්‍රහ්ම ලෝකයෙහි බ්‍රහ්මරාජ සම්පත් ද ශ්‍රේෂ්ඨ සම්පත් වෙති. මහානුභාව සම්පත් වෙති. ඒ සියල්ල ම කර්ම ශක්තිය පවත්නා තුරු පවතිත්. කර්ම ශක්තිය ක්‍ෂය වූ වහා ම ජීවිතයත් සමග ම විනාශයට පැමිණෙත්. ලෝකයෙහි වාසය කරන සත්ත්වයන් අතුරින් එක් එක් සත්ත්වයෙක් අනමතග්ග සංසාරයෙහි අනන්තාපරිමාණ චක්‍රවර්ති රාජ සම්පත් ද දිව්‍ය රාජ සම්පත් ද බ්‍රහ්ම රාජ සම්පත් ද අනුභව කළේ ය. නමුත් ඉන් තෘප්තියට නො පැමිණ සකල සත්ත්වයෝ ම දැනුදු ඒ සම්පත් ප්‍රාර්ථනා කරමින් ම සිටිත්. එහෙයින් ලෞකික සම්පත්, කොපමණ පානය කළත් පිපාසය නො සන්සිඳවන, පානය කරන්නට කරන්නට පිපාසය වර්ධනය වන සමුද්‍රජලය මෙන් සැලකිය යුතු. පිපාසය සංසිඳවා ගැනීමට යමෙක් සමුද්‍ර ජලය පානය කෙළේ නම් කොපමණ පානය කළත් ඔහු පිපාසය තිබියදී ම මිය යන්නේ ය. එමෙන් කොපමණ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම රාජ සම්පත් වින්දේ වී නමුත් සත්ත්වයෝ සම්පත් විඳිනු කැමති බව යයි කියන ලද තෘෂ්ණා පිපාසය තිබියදී ම කළුරිය කරන්නාහු ය. සංස්කාර ධර්මයන් අතුරෙන් අතිප්‍රණීත ධර්මය වූ අර්හත් ඵල සුඛය ද විඳිමින් සිටියදී ම බිඳී යන ධර්මයකි. එහෙයින් අර්හත් ඵලය ද අභිනව අර්හත් ඵල සුඛ උපදවා විඳිනු කැමති බව යයි කියන ලද ඡන්ද ප්‍රාර්ථනාව සහිත වූ ධර්මයක් වේ. ඡන්ද ප්‍රාර්ථනාව ද තෘෂ්ණා ප්‍රාර්ථනාව මෙන් ඖදාරික වූ ගින්නක් නො වන මුත් සියුම් වූ ගින්නකි. මෙසෙයින් සකල සංස්කාර ධර්මයෝ ම ප්‍රාර්ථනාග්නියෙන් දිලිසෙන සප්‍රණිහිත ධර්ම බව දතයුතු. අනුපාදිශේෂ නිර්වාණයට පැමිණීමෙන් සකල ප්‍රාර්ථනාවෝ නිරුද්ධ වෙති. එහෙයින් ක්ලේශ ස්කන්ධ නිරෝධයයි කියන ලද්දා වූ අසංඛත ධාතුවට අප්‍රණිහිත නිර්වාණයයි කියනු ලැබේ. මෙසේ සුඤ්ඤතය, අනිමිත්තය, අප්පණිහිතය යන නාමත්‍රයෙන් දක්වන ලද්දේ ඒකාන්තයෙන් වෙන් වෙන් වූ නිර්වාණත්‍රයක් නොවේ. ඒ වනාහි සකල පළිබෝධයන්ගෙන් හිස් වීම, සංස්ථානයෙන් හිස්වීම, ප්‍රාර්ථනාවන් ගෙන් හිස් වීම යන ගුණත්‍රයාගේ වශයෙන් එකම අසංඛත ධාතුව මැයි.

යමෙක් තෙම ත්‍රෛයිභූමික ධර්මයන්හි පවත්නා වූ ප්‍රයත්න කළයුතු බව නමැති පළිබෝධයන් දුඃඛයකැයි දැන ගත්තේ වේ නම් :- ඔහුට නිර්වාණයාගේ සුඤ්ඤත ගුණය ඉතා ප්‍රණීත ගුණයක් වේ. නිත්‍ය වූ එක ම නිර්වාණ ධාතුව පමණක් සකල පළිබෝධයන්ගෙන් හිස් වූ හෙයිනි.

යමෙක් තෙම ජරා භය, මරණ භය, රාජ භය, චෝර භයාදි අනේක භය වලින් ද අනේක උපද්‍රව වලින් ද නිරතුරුව පීඩා ලබමින් ත්‍රෛභූමික ධර්මයන් පවත්නා බව අවබෝධ කරගත්තේ වේ නම් ඔහුට නිර්වාණයෙහි අනිමිත්ත ගුණය අතිශයින් ප්‍රණීත වූ ගුණයක් වේ. කුමක් හෙයින්ද යත් ජරා මරණාදි භය සමූහය විසින් කුදු මහත් සටහන් ඇත්තා වූ ද්‍රව්‍ය පිණ්ඩයන් වූ සංස්කෘත ධර්මයෝ ම පෙළනු ලබත්. සටහනක් නැත්තා වූ අද්‍රව්‍ය වූ අජටාකාශයෙහි ගිනි සුළං, ආයුධ, සෙන ආදි කිසිවකට සැපිය හැකි නො වන හෙයින් එය නිරුපද්‍රිත වූවක් මෙන් සටහනක් නැති අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුව රාජ චෝරාදි අසාධාරණ භය වලින්ද ජාති, ජරා, මරණ යන සාධාරණ භය වලින්ද මිදී පවතී. එහෙයිනි.

යමෙක් ත්‍රෛභූමික ධර්මයන්ගේ මධ්‍යයෙහි පඤ්චකාමය ප්‍රාර්ථනා කරන්නා වූ කාම තෘෂ්ණාව නමැති ගින්නෙන්ද, යහපත් බව ප්‍රාර්ථනා කරන්නා වූ භව තෘෂ්ණාව නමැති ගින්නෙන් ද තැවි තැවී සිටීම දුක බව අවබෝධ කර ගත්තේ වේ නම් ඔහුට නිර්වාණයාගේ අප්පණිහිත ගුණය ඉතා ප්‍රණීත වේ. නිර්වාණයෙහි එබඳු ගිනි නැති හෙයිනි. නිර්වාණයේ සුඤ්ඤත ගුණය හා අනිමිත්ත ගුණය උත්සන්න වූ භව තෘෂ්ණාව ඇති පුද්ගලයන්ට නිරර්ථක වූවක් මෙන් වැටහේ. අප්‍රණිහිත ගුණය උත්සන්න වූ කාම තෘෂ්ණාව ඇත්තා වූ පුද්ගලයන්ට නිරර්ථකාකාරයෙන් වැටහේ. මේ ගුණ තුන අවබෝධ කර නොගත් පුඟුලන්ට නිර්වාණය තුච්ඡ වූවක් සේ වැටහේ.

සුඤ්ඤතාදි ත්‍රිවිධ භේදය නිමි.