ප්‍රථම සූත්‍රය

star_outline

“පඤ්චිමෙ ආනන්ද කාමගුණා. කතමෙ, පඤ්ච? චක්ඛු විඤ්ඤෙය්‍යා රූපා” යනාදි වේදනා සංයුක්ත රභෝගත වර්ගයෙහි දශම සූත්‍රයෙහි පඤ්චකාම සුඛය, ප්‍රථමධ්‍යාන සුඛය, ද්විතීයධ්‍යාන සුඛය, තෘතීයධ්‍යාන සුඛය, චතුර්ථ ධ්‍යාන සුඛය, ආකාසානඤ්චායතන ධ්‍යාන සුඛය, විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන සුඛය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යාන සුඛය, නිරෝධ සමාපත්ති සුඛයයි සුඛ නවයක් වදාරා තිබේ.

එයින් කාම සුඛය යනු මනුෂ්‍ය ලෝකයෙහි ගෘහපතිය, සිටුය, ප්‍රදේශරාජය, චක්‍රවර්තිරාජය යන මොවුන්ගේ සැප හා දිව්‍යලෝකයෙහි දෙවියන්ගේ සැප ද යන මොවුහුයි. මේ කාම සුඛය සුඛයන් අතුරෙන් හීන වූ සුඛයයි. වන ලැහැබෙක්හි ප්‍රථම ධ්‍යානයට සම වැදී වාසය කරන්නා භික්ෂුවගේ ප්‍රථම ධ්‍යාන සුඛය කාම සුඛයට වඩා ප්‍රණීතතර වේ. ප්‍රියතර වේ. මෙසේ ද්විතීයධ්‍යානාදිය ද එකිනෙකට වඩ වඩා ප්‍රණීත වේ. නිරෝධසමාපත්ති සුඛය යනු චිත්ත චෛතසික චිත්තජරූපයන් නිරෝධයට පමුණුවා කර්මජ, සෘතුජ, ආහාරජ රූපයන්ගෙන් පමණක් යුක්තව වාසය කිරීමයි. දෘෂ්ට ධර්ම නිර්වාණය වූ ඒ නිරෝධ සමාපත්ති සුඛය මෙහි දක්වන ලද සුඛයන් අතුරෙන් අග්‍රප්‍රාප්ත ප්‍රණීත සුඛයයි. නිරෝධ සමාපත්ති සුඛය වදාරා අවසානයෙහි :-

“ඨානං ඛො පනෙතං ආනන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්‍යුං, සඤ්ඤා වේදයිත නිරොධං සමණො ගොතමො ආහ, තඤ්ච සුඛස්මිං පඤ්ඤාපෙති පණීතතරං තයිදං කිංසු තයිදං කථංසූති. එවං වාදිනො ආනන්ද අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා. න ඛො පනාවුසො භගවා සුඛඤ්ඤෙව වෙදනං සන්දාය සුඛස්මිං පඤ්ඤාපෙති, යත්ථ යත්ථ ආවුසො! සුඛං උපලබ්භති, යහිං යහිං සුඛං තං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙති” යි වදාළ සේක.

ආනන්දය! ශ්‍රමණ ගෞතම තෙමේ සංඥා වේදයිත නිරෝධයක් වදාළේ ය. එය ප්‍රණීත සුඛයයි ද පණවයි. ඒ කෙසේද? චිත්ත චෛතසිකයන් නැති කල්හි මළ සිරුරක් වැනි වූ කිසිවක් නො දන්නා වූ ශරීරයක් දරන්නා වූ සත්ත්වයා හට කිසි සුවයක් විඳිය හැකි නො වේ. එකල්හි සත්ත්වයාට කවර සුඛයක් වේද? මෙසේ අන්‍යතීර්ථකයන්ට පැන විචාරීමට අවකාශයක් ඇත්තේ ය. මෙසේ කියන්නා වූ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට “ඇවැත්නි! අප භාග්‍යවතුන් වහන්සේ සුඛ වේදනාව ම සුඛයයි නො පණවන සේක, යම් යම් ධර්මයෙක්හි සුඛය ඇත්තේ නම් ඒ සියල්ලම සුඛයැයි පණවන සේක” යි කිය යුත්තේය යනු මෙහි අදහසයි. මේ සූත්‍රයෙන් වේදයිත සුඛයාගේ ලාමක භාවය හා ආධ්‍යාත්මික සන්තාන ගතවූ හීන වූද ඖදාරික වූද නොසන්සුන් වූ ස්වභාවය ඇත්තා වූද ධර්මයන්ගේ නිරෝධය වූ ශාන්ති සුඛයාගේ ප්‍රණීත භාවය ද දක්වන ලදී.

ප්‍රථම සූත්‍රයේ අදහස නිමි.