ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ “එකාහි ධාතු ඉධ දිට්ඨධම්මිකා සඋපාදිසෙසා, අනුපාදිසෙසා පන සම්පරායිකා” යනුවෙන් මෙහි නිර්වාණය දෘෂ්ට ධාර්මික සාම්පරායික වශයෙන් දෙකක් කොට
වදාරන ලද හෙයින් ද, “යො රාගක්ඛයොති රාගස්ස ඛයො ඛීණාකාරො අභාවො අච්චන්ත මනුප්පාදො” යනුවෙන් රාගයාගේ ක්‍ෂීණාකාරයයි ද රාගයාගේ අභාවයයි ද අර්ථ කථාචාර්‍ය්‍යයන් වහන්සේ විසින් දක්වන ලද හෙයින් ද “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවේ භවා වත්තමානා සම්පරායිකාති ඛන්ධභේදතො පරභාගෙ භවා” යනුවෙන් අර්ථ කථාචාර්‍ය්‍යයන් වහන්සේ විසින් වර්තමාන ආත්ම භාවයෙහි හට ගන්නා වූ නිර්වාණය, ස්කන්ධ භේදයෙන් පසු හට ගන්නා වූ නිර්වාණය යි දක්වන ලද හෙයින් ද මේ ඉතිවුත්තක පාලියෙහි වදාරන ලද නිර්වාණද්වය නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණ ධාතු දෙකක් නොව අසඞ්ඛත වූ අභාව ප්‍රඥප්ති දෙකකැයි කියත්. ඔවුන්ගේ මතයෙන් ක්ලේශයන්ගේ මතු නො ඉපදීම යයි කියන ලද අසංස්කෘත ප්‍රඥප්තිය සෝපාදිශේෂ නිර්වාණයයි. ස්කන්ධයන්ගේ මතු නො ඉපදීම නමැති අසංස්කෘත ප්‍රඥප්තිය අනුපාදිශේෂ නිර්වාණයයි. නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණ ධාතුව එක ම ධර්මයක් වැ නිත්‍ය වැ පවත්නා හෙයින් එය දෘෂ්ට ධාර්මික සාම්පරායික වශයෙන් දෙකක් කොට කිව හැකි නොවේ යයි ද, එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් වූ බැවින් “රාගස්ස ඛීණාකාරො අභාවො”යි කිය හැකි නොවේ යයි ද, ඊට යුක්ති වශයෙන් කියත්.