අනිමිත්ත නිර්වාණය

අනිමිත්ත නිර්වාණය නම් :- මේ එක නිවනෙක, මේ අනික් නිවනෙකැයි වෙන් කළ හැකි වන පරිදි සංස්ථාන විරහිත වූ නිර්වාණයයි. සංස්කාර ධර්මයන් අතුරෙහි වනාහි සංස්ථාන නිමිත්ත රහිත වූ ධර්මයන් නොමැති වෙයි. එක ම ධර්මයක් වූ අර්හත්ඵල චිත්තය, නිරුද්ධ වූ අතීත අර්හත් ඵල චිත්තය, ක්‍ෂණත්‍රය පර්යාපන්න වර්තමාන අර්හත් ඵල චිත්තය, නූපන් අනාගත අර්හත් ඵල චිත්තය, හීන අර්හත් ඵල චිත්තය, මධ්‍යම අර්හත් ඵල චිත්තය, ප්‍රණීත අර්හත් ඵල චිත්තය, බුදුන්ගේ අර්හත් ඵල චිත්තය, පසේ බුදුන්ගේ අර්හත් ඵල චිත්තය යනාදි වශයෙන් සිය දහස් ගණන් ප්‍රභේද ඇති ධර්මයක් වේ. තදන්‍ය සංස්කාර ධර්මයෝ ද එසේ ම වෙති. සටහනක් නැත්තා වූ අනිමිත්ත නිර්වාණයේ වනාහි මේ පරණ නිවනය මේ අළුත් නිවනයැයි භේදයක් ද නැත්තේ ය. නිවනට පැමිණි පුද්ගලයන්ගේ වශයෙන් භේදයක් ද නැත්තේ ය. උතුරු දිශාවේ පිරිනිවියා වූ රහතන් වහන්සේගේ නිවන උතුරු දිශාවෙහිය යනාදීන් දිශා වශයෙන් භේදයක් ද නැත්තේ ය. සර්වඥයන් වහන්සේ විසින් ලබන ලද නිවන ප්‍රණීතය, දාසිය විසින් ලබන ලද නිවන හීනය යනාදි වශයෙන් හීන ප්‍රණීත භේදයක් ද නැත්තේ ය. හුදෙක් ලෝක ධාතුවෙහි පවත්නා වූ දුඃඛයන්ගේ නිවීමයයි කියන ලද ශාන්ති ලක්‍ෂණයෙන් විද්‍යමාන වූ අසඞ්ඛත ධාතුව ඇති බව පමණක් දත හැකි වේ. එබැවින් ඊට අනිමිත්ත නිර්වාණයැයි කියනු ලැබේ.