විෂ්කම්භණ නිර්වාණය.

මහද්ගත ධ්‍යානයන් කරණකොට ගෙන දුරින් දුරු කිරීමගේ වශයෙන් ප්‍රහාණය කරනු ලබන ධර්මයන්ගේ නිවීමට විෂ්කම්භණ නිර්වාණයැයි කියනු ලැබේ. එහි ප්‍රභේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ විසින් විචාරන ලදුව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රයන්හි සන්දිට්ඨික නිබ්බානාදි නාමයන්ගෙන් අඞ්ගුත්තර නිකාය නවක නිපාතයෙහි දක්නා ලැබේ. ඒ මෙසේ යි:

“ඉධාවුසො භික්ඛු විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකං නිබ්බානං වුත්තා භගවතා පරියායෙනා ති”

ආවුසො, ඇවැත්නි; ඉධ, මේ ශාසනයෙහි; භික්ඛු, මහණ තෙම; සවිතක්කං, විතර්ක සහිත වූ; සවිචාරං, විචාරය සහිත වූ; විවේකජං, විවේකය හේතු කොට හට ගත්තා වූ; පීතිසුඛං, ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ; පඨමජ්ඣානං, ප්‍රථම ධ්‍යානය, උපසම්පජ්ජ, සම්පාදනය කොට, විහරති. වාසය කෙරේද; ආවුසෝ, ඇවැත්නි; ඛො, ඒකාන්තයෙන්; එත්තාවතාපි, මෙපමණක් වූ අකුශල ධර්මයන්ගේ නිරෝධයෙන් ද; භගවතා, භාග්‍යවතුන් වහන්සේ විසින්; සන්දිට්ඨිකං නිබ්බානං, සංදිෂ්ටික නිර්වාණය; පරියායෙන, පර්‍ය්‍යායයෙන්; වුත්තා, වදාරන ලදී. ඉති, මෙසේ වදාළසේක යනු අර්ථයයි.

මෙහි සන්දිට්ඨික නිබ්බාණයැයි දක්වන ලද්දේ විෂ්කම්භණ ප්‍රහාණයෙන් දීර්ඝ කාලයක් මුලුල්ලෙහි නිවී පවත්නා පරිදි ප්‍රථම ධ්‍යානයෙන් ප්‍රහාණය කරන ලදුව නීවරණ ධර්මයන්ගේ නො ඉපදීමයි. එය පරිනිර්වාණයට ප්‍රථමයෙන් ම ස්වකීය කයෙහි ස්පර්ශ වීමෙන් තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කොට දන්නා ලද නිවීමක් බැවින් ඊට සන්දිට්ඨික නිබ්බාණයැයි කියන ලදී.

මේ ප්‍රථම විෂ්කම්භණ නිර්වාණයයි.

මෙසේ ද්විතීය ධ්‍යාන ලාභියාට වන විතර්ක විචාර නිරෝධය ද, තෘතීය ධ්‍යාන ලාභියාට වන ප්‍රීති නිරෝධය ද, චතුර්ථධ්‍යාන ලාභියාට වන සුඛ වේදනා නිරෝධය ද, ආකාසානඤ්චායතන ධ්‍යානලාභියාට වන ප්‍රතිඝ සංඥා නිරෝධය ද, විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන ලාභියාට වන ආකාසානඤ්චායතන සඤ්ඤා නිරෝධය ද, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියාට වන විඤ්ඤාණඤ්චායතන සඤ්ඤා නිරෝධය ද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යාන ලාභියාට වන ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා නිරෝධය ද සන්දිට්ඨික නිබ්බානයෝ යයි වදාරා තිබේ.

මේ ද්විතීයාදි විෂ්කම්භණ නිර්වාණයෝ ය.

මේ මහද්ගත සමාපත්තීන්ගේ වශයෙන් ලබන නිර්වාණ අට නිරවශේෂ නිරෝධය වූ මහා නිර්වාණය නො වන හෙයින් පර්‍ය්‍යාය නිර්වාණයෝ යයි වදාරන ලදී.

මෙසේ පර්‍ය්‍යායයෙන් සාන්දෘෂ්ටික නිර්වාණ අටක් වදාරා නිෂ්පර්‍ය්‍යාය සාන්දෘෂ්ටික නිර්වාණය දක්වනු පිණිස:-

“පුන ච පරං ආවුසෝ භික්ඛු නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤා වෙදයිත නිරෝධං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකං නිබ්බානං වුත්තං භගවතා නිප්පරියායෙන” යි වදාළ සේක.

ආවුසෝ, ඇවැත්නි; පුනචපරං, අනිකක් නම්; භික්ඛු, මහණ තෙම; නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං, නේවසඤ්ඤානාසඤ්ඤායතනය; සමතික්කම්ම, මොනවට ඉක්මවා; සඤ්ඤා වෙදයිත නිරෝධං, සංඥාවන්ගේ හා වේදනාවන්ගේ නිරෝධයට; උපසම්පජ්ජ, පැමිණ; විහරති. වාසය කෙරේද; අස්ස, ඔහුට; පඤ්ඤාය, ප්‍රඥාවෙන්; දිස්වා, දැක; ආසවා, ආශ්‍රවයෝ; පරික්ඛීණා, නිරවශේෂයෙන් ක්‍ෂය වූවාහු; හොන්ති, වෙත්ද; ආවුසො, ඇවැත්නි; ඛො, ඒකාන්තයෙන්; එත්තාවතාපි, මෙපමණක් වූ නිරෝධයෙන් ද; භගවතා, භාග්‍යවතුන් වහන්සේ විසින්; නිප්පරියායෙන, නිෂ්පර්‍ය්‍යායයෙන්; සන්දිට්ඨිකං නිබ්බානං, සාන්දෘෂ්ටික නිර්වාණය; වුත්තන්ති, වදාරන ලද්දේ යයි (විසඳූ සේක) යනු අර්ථයයි.

මෙහි නිරෝධ සමාපත්තිය ම නිෂ්පර්‍ය්‍යාය සාන්දෘෂ්ටික නිර්වාණයැයි දක්වන ලදී. අර්හත් මාර්‍ගයට පැමිණීමෙන් වන ආශ්‍රවයන්ගේ නිරවශේෂ නිරෝධය ද නිෂ්පර්‍ය්‍යාය සාන්දෘෂ්ටික නිර්වාණයකි. මෙසේ සාන්දෘෂ්ටික නිර්වාණ දෙකක් වූ නමුත් ඒ දෙකම සෝපාදිශේෂ නිර්වාණ භාවයෙන් එකක් ම වූ හෙයින් මෙහි සාන්දෘෂ්ටික නිර්වාණ (9) නවයක් වදාරන ලදහ.

මෙතෙකින් ප්‍රථම සූත්‍රයෙහි දක්වන ලද නිර්වාණ භේද නිමි.

මෙසේ ද්විතීය සූත්‍රයෙහි “නිබ්බානං නිබ්බානත්ති ආවුසෝ වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො නිබ්බානං වුත්තං භගවතා. ඉධාවුසො භික්ඛු විවිච්චේවකාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි” යන ආදි වශයෙන් නිර්වාණ නවයක් වදාරා තිබේ. තෘතීය සූත්‍රයෙහි “තදඞ්ග නිබ්බානං තදඞ්ග නිබ්බානන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් තදඞ්ග නිර්වාණ නාමයෙන් නවයක් ද, චතුර්ථ සූත්‍රයෙහි “දිට්ඨධම්ම නිබ්බානං දිට්ඨධම්ම නිබ්බානන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් දිට්ඨධම්ම නිබ්බාන නාමයෙන් නවයක් ද, පඤ්චම සූත්‍රයෙහි “ඛෙමං ඛෙමන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් ඛෙම නාමයෙන් නවයක් ද, අෂ්ඨම සූත්‍රයෙහි “ඛෙමපත්තො ඛෙමප්පත්තොති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක් ද, සප්තම සූත්‍රයෙහි “අමතං අමතන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් අමත නාමයෙන් නවයක් ද, අෂ්ටම සූත්‍රයෙහි “අමතප්පත්තො අමතප්පත්තොති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක් ද, නවම සූත්‍රයෙහි “අභයං අභයංති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් අභය නාමයෙන් නවයක් ද, දශම සූත්‍රයෙහි “අභයප්පත්තො අභයප්පත්තොති ආවුසො වුච්චති” යනාදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක් ද, ඒකාදශම සූත්‍රයෙහි “පස්සද්ධි පස්සද්ධීති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් පස්සද්ධි නාමයෙන් නවයක් ද, ද්වාදශම සූත්‍රයෙහි “නිරෝධො නිරොධොති ආවුසෝ වුච්චති” යන ආදි වශයෙන් නිරෝධ නාමයෙන් නවයක් ද, තේරසම සූත්‍රයෙහි “අනුපුබ්බ නිරෝධෝ අනුපුබ්බ නිරෝධොති ආවුසෝ වුච්චති” යනාදි වශයෙන් අනුපුබ්බ නිරෝධ නාමයෙන් නවයක් ද වදාරා තිබේ. මෙසේ මේ සූත්‍ර තෙළෙසෙහි වදාරන ලද නිර්වාණ පිඬු කළ කල්හි (117) එකසිය සතළොසක් වෙයි. එයින් විෂ්කම්භණ නිර්වාණ (104) එකසිය සතරෙකි. සමුච්ඡේද නිර්වාණ (13) තෙළසකි. විෂ්කම්භණ නිර්වාණයෝ බ්‍රහ්මලෝකයෙහි සියලු කල්හි ඇත්තාහුය. මනුෂ්‍ය ලෝකයෙහි වනාහි ධ්‍යානලාභී පුද්ගලයන් කෙරෙහි පමණක් ඇත්තාහු ය. සමුච්ඡේද නිර්වාණ නවය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම අනාගාමි අර්හත් පුද්ගලයන් කෙරෙහි ඇත්තාහ.

මෙහි සමුච්ඡේද නිර්වාණයයි කියන ලද්දේ සෝපාදිශේෂ නිර්වාණය ම යයි දතයුතු. මාර්ගයෙන් කරන්නා වූ ක්ලේශ ප්‍රහාණය සමුච්ඡේද කෘත්‍යයයි. ප්‍රහාණය කරන ලද ක්ලේශයන්ගේ මතු නූපදනාකාරයෙන් නිවීම සමුච්ඡේද නිර්වාණයයි.

එය “තදඞ්ග නිබ්බාන තදඞ්ග නිබ්බානන්ති ආවුසො වුච්චති.” යන ආදි සූත්‍රයෙහි තදඞ්ග නාමයෙන් දේශනා කරන ලද්දේ ප්‍රථම ධ්‍යාන කුශල චිත්තයෙන් නීවරණ ප්‍රහාරණය කෙරේ. ද්විතීය ධ්‍යාන චිත්තයෙන් විතක්ක විචාරයන් ප්‍රහාණය කෙරේ. මේ ආදි වශයෙන් ප්‍රහායක ප්‍රහාතව්‍ය ධර්ම වෙන වෙන ම විද්‍යමාන හෙයින් විෂ්කම්භණ කෘත්‍යයට ද තදඞ්ග කෘත්‍යයයි කිය හැකි හෙයිනි. මේ විෂ්කම්භණ නිර්වාණය යට දක්වන ලද තදඞ්ග නිර්වාණයට සත සහස්‍ර වාරයකටත් වඩා ශ්‍රේෂ්ඨ වේ. නමුත් ප්‍රතිසම්භිදා මාර්ගයෙහි එන අටළොස් වැදෑරුම් මහා විදර්ශනා ඥානයන්ගෙන් ජනිත තදඞ්ග නිර්වාණ අටළොසට වඩා ශ්‍රේෂ්ඨ යයි කිව නොහේ. සමුච්ඡේද නිර්වාණය පමණක් ඊට උතුම් වේ.

විෂ්කම්භණ නිර්වාණය නිමි.