සත්ත්වයන්ගේ මුල

ලෝකයෙහි බොහෝ දෙන පටන් ගැනීම ඇත්තා වූ දේවල් වූ එක ම පක්ෂයක් බලා ලොව යමක් ඇත්නම් ඒ සියල්ලේ ම පටන් ගැනීමකුදු ඇතයැයි සිතා සත්ත්වයාගේ පටන් ගැනීම හා ලෝකයේ පටන් ගැනීම ද සොයති. ඒ වනාහි ඉදිබු පියාපත් සෙවීම වැනි වූ, කවුඩු දත් සෙවීම වැනි වූ, නිෂ්ඵල ක්‍රියාවකි. කුමක් හෙයින්ද යතහොත්? සත්ත්වයන්ගේ පටන් ගැනීමක් මුලක් නැති බැවිනි. නැත්තා වූ පටන් ගැනීම සෙවීමෙන් එය කිසිවකුට කිසි කලෙක ලැබිය හැකි නොවේ. ලෝකයෙහි අන්ධකාරයට විරුද්ධ වූ ආලෝකය ද, උෂ්ණයට විරුද්ධ වූ ශීතල ද, දුකට විරුඬ වූ සැප ද, යහපතට විරුඬ වූ අයහපත ද, ලෝභයට විරුද්ධ වූ අලෝභය ද, කෝපයට විරුද්ධ වූ මෛත්‍රිය ද, මෝහයට විරුද්ධ වූ නුවණ ද යන ආදි වශයෙන් සකල ස්වභාව ධර්මයන්ට ම ඒ ඒ ධර්මයන්ගේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයනුදු ඇත්තාහු ය. අපේ ඇස් වලට පෙනෙන්ට තිබෙන සෑම දෙයක ම ඒ ඒ දේ වෙන් කිරීමට කරුණු වන කොන් ඇත්තාහු ය. ඒ කොන් වලින් මෙතැන් සිට අසවල් දේ දක්වා මේ දේ ය, අසවල් තැන සිට අසවල් තැන දක්වා අසවල් දෙය යයි ඒ ඒ ද්‍රව්‍යයන් එකක් අනිකකින් වෙන් කරනු ලැබෙත්. එසේ එකකින් අනික වෙන් කර ගැනීමට කොන් සියල්ලේ ම තිබේද යතහොත්? ආකාශයේ එසේ කොන් නැත. වස්ත්‍රාභරණ ඇඳ පුටු යාන වාහන ගම් නියම් ගම් රාජධානි ආදි බොහෝ දේවල කොන් ඇති බැවින් ආකාශයක් ඇත්නම් එහි ද කොන් තිබිය යුතු යයි යමෙක් ආකාශයේ කොන් සොයන්නට වෑයම් කෙරේ නම් එය නිෂ්ඵල ව්‍යායාමයකි. කුමක් හෙයින්ද යතහොත්? ආකාශය කොන් නැති ස්වභාවයක් වූ බැවිනි. කොන් ඇත්තා වූ ස්වභාවයාගේ විරුද්ධ පක්‍ෂය වූ කොන් නැත්තා වූ දේවල් ඇතුවාක් මෙන් ම පටන් ගැනීමක් ඇත්තා වූ ස්වභාව ධර්මයන්ට විරුද්ධ වූ පටන් ගැනුමක් නැත්තා වූ ස්වභාව ධර්මයෝ ද ඇත්තාහු ය. එබැවින් යමක් විද්‍යමාන නම්:- ඒ සියල්ලේ ම මුල් හට ගැනීම ද තිබිය යුතුය යන කල්පනාව දුරුකර ගත යුතු. ආකාශය පටන් ගැනීම හෙවත් පළමු කොට පහළ වීමක් නැත්තා වූ දෙයකි. ආකාශය ඇති බව සියල්ලන් ම දන්නා කරුණක් බැවින් හට නො ගත්තා නම් ආකාශයකුත් නැතයයි වාදයට එළඹීමට ද කිසිවකුට අවකාශයක් නැත්තේ ය. මේ සම්බන්ධව පරීක්‍ෂා කළ යුතු කාරණය නම් : මේ ආකාශය සෑම කල්හි ම මෙසේ ම පැවතියාද නැතහොත් ආකාශය නො පැවති කලකුත් අතීතයේ තිබුණාද යන්නයි. ලෝකයේ ආකාශය නො තිබුණා වූ කාලයක් අතීතයේ තිබෙන්නට නම් : දැන් ආකාශය පවත්නා වූ සෑම තැන ම වසා පැවතියා වූ යම්කිසි ද්‍රව්‍යයක් පෙර ලෝකය පුරා තිබිය යුතු වේ. පෙර ආකාශය නොමැතිව එබඳු දෙයකින් ලොව වැසී තිබුණේ යයි පිළිගැනීමට එක ද කාරණයක් නැති බැවින් ආකාශය නො තිබූ කාලයක් නො පැවති බව දතයුතු. යමක පෙර නො තිබූ කාලයක් නො මැති නම් එය සෑම කල්හි ම පවත්නා දෙයකි. කාලය ද මුලක් නැත්තා වූ දෙයකි. යමක් හට ගත්තා නම් ඊට පෙර එය නො තිබූ කාලයක් තිබිය යුතු බැවින් ඒ හටගත් දෙය සර්‍වකාලික වස්තුවක් නොවේ. ආකාශය සර්‍වකාලික වූවක් වේ නම්:- එහි පළමු කොට හට ගැනීමක් කිසිසේත් විය යුතු නොවේ. එබැවින් ආකාශය නො තිබූ කාලයක් නැති බව හා ආකාශයක් ඇතත් එහි හට ගැනීමක් නැති බව ද දතයුතු.

මෙසේ හට ගැනීම් වශයෙන් මුලක් නැත්තා වූ මේ ආකාශ කුහරය තුළ පවත්නා වූ නාමරූප ධාතූහු ද ආකාශයට සම වූ ආයුෂ ඇත්තෝ ය. ආකාශය තුළ පවත්නා වූ නාමරූප ධාතූන් නොමැතිව පෙර ආකශය පමණක් ම පැවතියේ යයි කීමට කිසි හේතුවක් ද නැත්තේ ය. එබැවින් ආකාශය තුළ පවත්නා වූ නාම රූප ධාතූන්ගේ ද පළමු කොට පටන් ගැනීමක් නැති බව දත යුතු. සත්ත්වයෝ යයි කියනු ලබන්නේ ද නාමරූප ධාතු සමූහයන්ට ම ය. නාම රූප ධාතූන්ගෙන් අන්‍ය වූ සත්ත්වයා යයි ගත යුතු කිසිවක් නැත්තේ ය. එබැවින් සත්ත්වයෝ ද ආකාශය හා සම වූ ආයු ඇත්තෝ ය. පෙර සත්ත්වයන් නො සිටි කලක් නො පැවැත්තේ ය. එබැවින් සත්ත්වයන්ගේ ද පටන් ගැනීමක් නැති බව දතයුතු. ඒ බව මනාකොට දැන ගත්තා වූ සියල්ල දන්නා වූ මහ නුවණ ඇති ධර්ම රාජයන් වහන්සේ විසින් මේ කාරණය දැක්වීම සඳහා :

“අනමතග්ගොයං භික්ඛවේ! සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති’’ යි වදාරන ලදී.

මහණෙනි! මේ සංසාරය නො දන්නා ලද අක් ඇත්තේ ය. එහි පෙර කොන හෙවත් පටන් ගැනීම නැතය යනු එහි තේරුම යි.