තෘතීයාචාර්‍ය්‍ය වාද විනිශ්චය.

star_outline

නිර්වාණයාගේ හට ගැනීමක් ඇතයයි කියන්නා වූ ආචාර්‍ය්‍යවරයෝ එය ස්ථිර කිරීම පිණිස දක්වන්නා වූ ප්‍රධාන සාධක නම්; “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවේ භවා වත්තමානා. සම්පරායිකාති ඛන්ධභෙදතො පරභාගෙ භවා” යන අටුවා වැකි දෙකයි. එයින් නිර්වාණයේ හට ගැනීමක් නො දක්වන බව ප්‍රථමාචාර්‍ය්‍ය වාද විනිශ්චයේදී දක්වන ලදී. මෙසේ ම ඔවුන් විසින් වරදවා අර්ථය ගන්නා වූ අන්‍ය අර්ථකථා ටීකාපාඨ ද බොහෝ වෙත්. ග්‍රන්ථය විශාල වන බැවින් මෙහි නො දක්වනු ලැබෙත්. නිර්වාණය හට නො ගන්නා වූ ධර්මයක් බව දක්වා වදාරන ලද දේශනා බොහෝ වෙයි. ඉන් කීපයක් දක්වනු ලැබෙත්.

“තීනිමානි භික්ඛවේ! අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානි කතමානි තීනි? න උප්පාදො පඤ්ඤායති න වයො පඤ්ඤායති න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති ඉමානි ඛො භික්ඛවේ; තීනි අසඞ්ඛතස්ස අසඞ්ඛත ලක්ඛණානි” මේ අංගුත්තර නිකායයේ තික නිපාතයේ වදාරන ලද සූත්‍රයකි. මෙහි “න උප්පාදො පඤ්ඤායති” යන්නෙන් නිර්වාණයාගේ ඉපදීමක් නැති බව දක්වන ලදී. “අත්ථි භික්ඛවේ! අජාතං අභූතං අකතං අසඞ්ඛතං” යන උදාන පාලියෙන් ද නිර්වාණය අජාත (හට නොගත්තා වූ) අභූත අකත අසංස්කෘත ධර්මයක්යැයි දක්වන ලදී.

ඇතැම් අයට සෞත්‍රාන්තික දේශනාව පර්‍ය්‍යාය දේශනා යයි කිය හැකි හෙයින් දැන් නිස්පර්‍ය්‍යාය දේශනාව වූ අභිධර්මයේ වදාරන ලද ආකාරය දක්වනු ලැබේ. “නිබ්බානං න වත්තබ්බං උප්පන්නන්තිපි අනුප්පන්නන්තිපි උප්පාදිනොතිපි” මේ ධර්ම සඞ්ගණී ප්‍රකරණයේ එන දේශනාවකි. නිර්වාණය උපන්නා වූ (හට ගත්තා වූ) ධර්මයක්යයි ද; නූපන්නා වූ ධර්මයක්යයි ද, මතු ඒකාන්තයෙන් හට ගන්නා වූ ධර්මයක්යයි ද නො කිය යුතුය යනු මෙහි භාවයි. මෙයින් ද නිර්වාණයේ හට ගැනීමක් නැති බව දැක්වේ. තවද ධර්මසඞ්ගණී පාළියෙහි ම “නිබ්බාණං න වත්තබ්බං අතීතන්ති පි අනාගතංතිපි පච්චුප්පන්නන්තිපි” යි නිර්වාණය අතීත ධර්මයක්යයිද අනාගත ධර්මයක්යයිද වර්තමාන ධර්මයක්යයිද නො කිය යුතුයයි වදාරා තිබේ. ඉදින් නිර්වාණය ඒ ඒ පුද්ගලයන්ගේ වශයෙන් හට ගන්නා වූ ධර්මයක් වේ නම් එය නො බිඳෙන ධර්මයක් වූ බැවින් අතීත නිර්වාණ නැතත් අතීතයෙහි හට ගෙන දැනුදු ඇත්තා වූ නිර්වාණයන්ට වර්තමාන නිර්වාණයෝයැයි ද අනාගතයෙහි හට ගන්නා වූ නිර්වාණයන්ට අනාගත නිර්වාණයෝ යැයි ද කිය හැකි වේ. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් අතීතාදි වශයෙන් නො වදාළේ නිර්වාණයේ හට ගැනීමක් නැති බැවිනි. ස්වභාව ධර්මයන්ගේ තත්ත්වය නො දැන, කොට කල්පනාවෙන් කල්පනා කරන්නෝ යම් ස්වභාවයක් විද්‍යමාන නම් එය ඇත්තේ හටගත් හෙයින් ම යයි සිතති. එය මහත් මුළාවකි.

ස්වභාව ධර්මයන් අතුරෙහි වනාහි හට ගන්නා වූ ස්වභාව ධර්ම කොටසක් හා හට ගැනීමක් පහළ වීමක් නොමැතිව ඇත්තා වූ ස්වභාව ධර්ම කොටසක් ද ඇතහ. සියල්ල ම හට ගැනීමෙන් පහළ වීමෙන් ඇත්තා වූ ස්වභාවයෝ නොවෙති. එයින් හට නොගෙන ඇත්තා වූ ස්වභාව ධර්මයෝ නම් ආකාශාදිය ය. ආකාශය කවදා පටන් ඇත්තේදැ යි කල්පනා කරන්නාට ආකාශය නො තිබූ කාලයක් නොමැති බව පහසුවෙන් ම අවබෝධ වේ. යමක් නො තිබූ කාලයක් නොමැති නම් එය සියළු කල්හි ම විද්‍යමාන ධර්මයකි. යමක් හට ගත්තේ නම් එය සියලු කල්හි ඇත්තා වූ ධර්මයක් නොවේ. හට ගැනීමට පෙර නො තිබූ හෙයිනි. එබැවින් සියලු කල්හි ඇත්තා වූ ආකාශයේ හට ගැනීමක් නැත්තේ ය.

ආකාශය ඇතයයි පිළිනොගන්නා වූ කිසිවෙක් නැති බැවින් මෙහි හට නො ගත්තේ නම් පහළ නො වූයේ නම් ආකාශයකුත් නැත යයි කිසිවකුට වාද කළ හැකි නොවේ. මේ ආකාශ ධාතුව මෙන් ම අන්‍ය ප්‍රඥප්ති ධර්මයෝ ද හට නො ගෙන ඇත්තා වූ ධර්මයෝ ය. මෙසේ නිර්වාණ ධාතුව ද සෑම කල්හි ම ඇත්තා වූ ධාතුවක් වූ බැවින් එහි හට ගැනීමක් සූක්‍ෂම වශයෙනුදු නැති බව දතයුතු. යට දැක්වූ සෝපාදිශේෂ නිර්වාණ ධාතු දෙකින් අර්හත් ඵල සඞ්ඛ්‍යාත ප්‍රතිප්‍රශ්‍රබ්ධි සෝපාදිශේෂ නිර්වාණය වනාහි හට ගැනීමක් ඇත්තා වූ සංස්කාර ධර්මයකි. නිශ්ශරණ නිර්වාණ සඞ්ඛ්‍යාත අසංස්කෘත සෝපාදිශේෂ නිර්වාණ ධාතුව හට නො ගන්නා වූ හට ගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව ප්‍රථම පරිච්ඡේදයේදී විස්තර කරන ලදී. හට ගැනීම (ජාතිය) දුඃඛයකැයි සර්වඥයන් වහන්සේ විසින් වදාරන ලදී. නිර්වාණය නම් දුඃඛ නිරෝධයයි. ඉදින් සූක්‍ෂම ජාතියක් මුත් නිර්වාණයේ ඇත්නම් එය දුඃඛ නිරෝධයක් නොව ඒකාන්තයෙන් දුඃඛයක් ම වේ. නිර්වාණය සූක්‍ෂම දුඃඛයන්ගෙන් හා ඖදාරික දුඃඛයන්ගෙන් ද මුක්ත වූ පරම සුඛයකි. එබැවින් නිර්වාණයේ සූක්‍ෂම වූද හට ගැනීමක් ඇති විය යුතු නොවන බව දතයුතු.

තෘතීයාචාර්‍ය්‍ය වාද විනිශ්චය නිමි.