දැන් සුඛ සෝමනස්ස විරහිත වූ නිර්වාණයාගේ පරමසුඛත්වය හා මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන්ගේ දුඃඛත්වය ප්‍රකට වනු සඳහා සමසතළිස් භාවනා පද දක්වනු ලැබේ.
පඤ්චක්ඛන්ධා, අනිච්චා, දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා. අඝා, ආබාධා, පරෙ, පලොකා, ඊති. උපද්දවා. භයා. උපසග්ගා, චලා, පභඞ්ගු, අද්ධුවා. අතාණා. අලෙණා. අසරණා, රිත්තා, තුච්ඡා, සුඤ්ඤා, අනත්තා, ආදීනවා, විපරිණාම ධම්මා, අසාරකා, අඝමුලා, වධකා, විභවා, සාසවා, සඞ්ඛතා, මාරාමිසා, ජාතිධම්මා, ජරා ධම්මා, ව්‍යාධිධම්මා, මරණධම්මා, සොකධම්මා, පරිදේවධම්මා, උපායාසධම්මා, සංකිලෙසික ධම්මා.
පඤ්චක්ඛන්ධා, පඤ්චස්කන්ධයෝ; අනිච්චා, අනිත්‍ය වූවෝ ය; දුක්ඛා, පීඩා කරන්නෝ ය; රෝගා, රෝගයෝ ය; ගණ්ඩා, ගණ්ඩයෝ ය; සල්ලා, හුල් ය; අඝා, පාපයෝ ය; ආබාධා, ආබාධයෝ ය; පරෙ, අන්‍යයෝ ය; පලොකා, විනාශ වන්නෝ ය; ඊති, අනේක ව්‍යසන පමුණු වන්නෝ ය; උපද්දවා, උපද්‍රවයෝ ය; භයා, භයයෝය ය; උපසග්ගා, නොයෙක් අනර්ථයන් විසින් ලුහු බඳින ලද්දෝ ය.; චලා, සෙලවෙන්නෝ ය; පභඞ්ගු, බිඳෙන්නෝ ය; අද්ධුවා, අස්ථිර වූවෝ ය; අතාණා, සත්ත්වයන්ට ආරක්‍ෂා ස්ථාන නො වූවෝ ය; අලෙණා, සැඟවීමට ස්ථාන නො වූවෝ ය; අසරණා, පිළිසරණ නො වන්නෝ ය; රිත්තා, ධුවභාවාදියෙන් හිස් වූවෝ ය; තුච්ඡා, තුච්ඡ වූවෝ ය; සුඤ්ඤා, ස්වාමි භාවාදියෙන් ශුන්‍ය වූවෝ ය; අනත්තා, ආත්ම නො වූවෝ ය; ආදීනවා, ඉතා දිළින්දෝ ය; විපරිණාම ධම්මා, පෙරෙළෙන ධර්මයෝ ය; අසාරකා, හරයක් නැත්තෝ ය; අඝමූලා, අකුසල මූලයෝ ය; වධකා, වධකයෝ ය; විභවා, දියුණුවක් නො වන්නෝ ය; සාසවා, ආශ්‍රව සහිත වූවෝ ය; සංඛතා, සංස්කරණය කරන ලද්දෝ ය; මාරාමිසා, මෘත්‍යුමාර ක්ලේශ මාරයන්ගේ සපයහ; ජාතිධම්මා, ඉපදීම ස්වභාව කොට ඇත්තෝ ය; ජරාධම්මා, දිරීම ස්වභාව කොට ඇත්තෝ ය; ව්‍යාධි ධම්මා, ගිලන්වීම ස්වභාව කොට ඇත්තෝ ය; මරණ ධම්මා, මැරෙන ස්වභාවය ඇත්තෝ ය; සෝක ධම්මා, ශෝක කරවන්නෝ ය; පරිදේව ධම්මා, හඬවන ධර්මයෝ ය; උපායාස ධම්මා, දැඩි සේ වෙහෙස වන ධර්මයෝ ය; සංකිලෙසිකා ධම්මා, කෙලෙසෙන ස්වභාවයෝ ය යනු අර්ථයි.
පඤ්චක්ඛන්ධා යන මෙහි පඤ්චස්ඛන්ධයෝ නම් රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය යන මොහුයි. ඔවුන් අතුරෙන් රූපස්කන්ධය නම් යටින් අවීචි මහා නරකයෙහි පටන් අකනිටා බඹලොව දක්වා මෙ දෑතුරෙහි කුඩා මහත් දේවල් වී පවත්නා වූ පස්, දිය, ගිනි, සුළඟ යන මහා ධාතු සතරය, ඔවුන් ඇසුරු කොට පවත්නා වූ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බාදි කුඩා රූපයෝ ය යන මොහු යි. වේදනා ස්කන්ධ නම් සැප වූ ද දුක් වූ ද සැප දුක් දෙකට මධ්‍යස්ථ වූ ද විඳීම් සමූහයයි. සංඥා ස්කන්ධය නම් මේ මවය මේ පියාය යන ආදි වශයෙන් කුඩා කාලයේ පටන් සලකා ගන්නා වූ හැඟීම් සමූහයයි. සංස්කාර ස්කන්ධය නම් පැහැදීම්, සිහිකිරීම්, ඇලීම්, කිපීම්, ඊර්ෂ්‍යා කිරීම් ආදි වූ ක්‍රියා සමූහයයි. විඥානස්කන්ධය නම් සිතීම් සමූහයයි. මේ ස්කන්ධ පඤ්චකය ඖදාරික වශයෙන් බෙදා දැක්වීමයි.