මේ ස්කන්ධයෝ වනාහි ක්‍ෂණයක් පාසා බිඳෙමින් පවත්නා බැවින් ද, පරම්පරා වශයෙන් පැවතී සිඳී යන බැවින් ද නිරතුරුව මරණ භය සඞ්ඛ්‍යාත අභ්‍යන්තර භය සහිතව ම පවතිත්. මෙසේ පැවැත්ම අනිත්‍ය ස්වභාවයයි. එබැවින් සත්ත්වයකුගේ මනුෂ්‍යයෙක් වීම ද, දෙවියෙක් වීම ද, බඹෙක් වීම ද ස්වල්ප කාලයක් පිණිස ම වේ. සංසාරයාගේ දීර්ඝත්වය සලකන කල සූ අසූ දහසක් කල්ප ආයුෂ ඇත්තා වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතන බඹලොව ඉපදීම පවා ස්වල්ප කලකට ම වේ. එබැවින් මේ සංසාර මහාර්ණවයෙහි පාවෙමින් සිටින සත්ත්වයෝ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මලෝක සඞ්ඛ්‍යාත සුගතීන්හි වරක් උපනහොත් අපායෙහි සිය දහස් ගණන් වාරයන්හි උපදිති. මනුෂ්‍ය ආත්මභාවාදිය නිත්‍ය නම් නැවත නැවත චුතව අපායෙහි උපදින්නට නො වන්නේ ය. නැවත නැවත චුතවී නැවත නැවත අපාය භූමීන්හි උප්පත්ති වීමට සිදුවන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය නිසා ම ය. මේ අනිත්‍ය ස්වභාවය හේතු කොට ඇති භය ස්වභාවයයි. මේ අනිත්‍ය ස්වභාවයෙන් මිදිය හැක්කේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණයට පැමිණීමෙන්ය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භවයන්හි විඳිය යුතු වූ සුවයන් ලැබීමෙන් එයින් කිසිසේත් මිදිය හැකි නොවේ. අනිත්‍ය ස්වභාවය යම් පමණ නපුරු වේද දුඃඛ දායක වේද එපමණ ඉන් මිදීම වූ ශාන්තිය මහත් වේ. මේ පඤ්චක්ඛන්ධා දුක්ඛා යන භාවනා පදයාගේ වශයෙන් නිර්වාණ සුඛත්ත්වය දැක්වීමයි.