අභිනව සත්ත්වයෝ

ලෝකයේ පෙර පටන් ම සිටින සත්ත්වයන් හැර අළුත් අළුත් වූ සත්ත්වයෝ ද උපදිත් යයි ඇතැම් කෙනෙක් විශ්වාශ කරති. නිරවශේෂයෙන් සකල ධර්මයන් දැන වදාළා වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි අභිනව සත්ත්වයන් පහළ වන බවක් නො වදාළ සේක. අභිනව සත්ත්වයන් උපදින බව ප්‍රකාශ කරන්නවුන් අතුරෙන් ඇතැම් ආගම් කාරයන්ගේ මතයේ හැටියට සෑම සත්ත්වයෝ ම අභිනව සත්ත්වයෝ ය. ඔවුන්ගේ මතය එක ගසකින් තවත් ගස් හට ගන්නාක් මෙන් පරම්පරාව බෝ විය හැකි වන පරිද්දෙන් දෙවියන් විසින් මවන ලද සත්ත්වයන්ගෙන් බෝවීමෙන් පෙර නො සිටි අභිනව සත්ත්වයන් උපදින බවයි. එක ගසකින් බෝවී හට ගන්නා වූ ගස් මෙන් මව්පියන්ගෙන් හට ගන්නා වූ දරුවෝ පෙර සිටි සත්ත්වයන් නොවේ යයි කිසිසේත් පිළිගත හැකි නොවේ. කුමක් හෙයින්ද යතහොත්? ගස මෙන් සත්ත්වයෝ එකෙක් අනිකකුට සම නො වන බැවිනි. එක ගසෙක හට ගන්නා වූ බීජයන් ඒ ගස පැවති ප්‍රදේශයේ සෘතු ගුණයට හා පොළොවේ ගුණයට සමාන වූ ඍතු ගුණය හා පෘථිවි ගුණය ඇති ප්‍රදේශයක රෝපණය කළහොත් ඒ ගස් සියල්ල ම මාතෘ වෘක්‍ෂයට සමාන වෙයි. මාතෘ වෘක්‍ෂය පැණි රස පල දරන ගසක් වී නම් එයින් බෝ වූ ගස් ද එසේ ම වෙයි. මාතෘ වෘක්‍ෂය ඇඹුල් රසැති පල දරන ගසක් වී නම් සෙසු ගස් ද එසේ ම වෙයි. ශීතෝෂ්ණාදි ගුණ වලින් මාතෘ වෘක්‍ෂය යම් ගුණයකින් යුක්ත වේ නම් ශේෂ වෘක්‍ෂයෝ ද ඒ ගුණයෙන් ම යුක්ත වෙති. නමුත් මනුෂ්‍යයෝ එසේ නො වෙති.

එක මව් කෙනකුගේ කුසින් එක ම පියකුට දාව සමාන වූ ඍතු ආහාරයෙන් වැඩී එක දවසෙක එක නැකතකින් උපන්.මනුෂ්‍යයන් දෙදෙන පවා ඔවුනොවුන් හා සමාන නො වෙති. ඇතැම් විටෙක ඔවුන්ගෙන් එකෙක් අධික මසුරෙක් වී අනිකා නිර්ලෝභියෙක් හෝ වේ. එකෙක් නැණවතෙක් ව අනිකා මෝඩයෙක් හෝ වේ. එකෙක් බියසුල්ලෙක්ව අනිකා නිර්භය වූවෙක් හෝ වේ. එකෙක් අලසයෙක්ව අනිකා වීර්‍ය්‍යවන්තයෙක් හෝ වේ. එකෙක් ශ්‍රියාවන්තයෙක්ව අනිකා කාළකණ්ණියෙක් හෝ වේ. එකෙක් රූපත්ව අනිකා විරූපී හෝ වේ. එකෙක් බොහෝ රෝග ඇත්තෙක්ව අනිකා නිරෝගි වූවෙක් හෝ වේ. එකෙක් දීර්ඝායුෂ්කයෙක්ව අනිකා මන්දායුෂ්කයෙක් හෝ වේ. සමාන වූ මව්පියන් හා සෘතු ආහාර ඇතිවත් මෙසේ එකෙක් අනිකකුට වෙනස් වන්නේ ඔවුන්ගේ උත්පත්තියට හේතු මාතෘ පීතෘ සෘතු ආහාර පමණක් ම නො වන බැවිනි. ඉදින් ඔවුන්ගේ උත්පත්තියට හේතු ඒවා නම් වෘක්‍ෂ ලතාවන් මෙන් ඔවුන් ද සමාන ගති ගුණ ඇත්තවුන් වන්නාහු ය. මාතෘ, පිතෘ, සෘතු, ආහාර, සඞ්ඛ්‍යාත, ජනකෝපස්තම්භක හේතූන්ගේ සමත්වය ඇති කල්හිදු ඇත්තා වූ මේ සත්ත්ව නානත්වයට හේතු කවරේදැයි විමසත හොත් ඊට හේතුව ඔවුන් විසින් අතීතයෙහි කරන ලද පින් පව් දෙක බව පිළිගත යුතු වේ. අතීතකෘත පුණ්‍යපාපයන් ඇති වීමට ඔවුන් පෙරත් සිටියා වූ සත්ත්වයන් විය යුතු වේ. එබැවින් දැන් උපදින්නා වූ සත්ත්වයෝ මව්පියන් නිසා උපදින නමුත් එය සත්ත්වෝත්පත්තියට ප්‍රධාන හේතුව නො වන බව හා සත්ත්වයන් විසින් කරන ලද කුශලාකුශල කර්‍මයන් විසින් චිත්තසන්තතිය භවාන්තරයට පැමිණ වීමෙන් සත්වෝත්පත්තිය සිදු වන බව ද දතයුතු.

ඇතැම් කෙනෙක් සතර මහාභූත ධාතූන් විසින් අභිනව සත්ත්වයෝ නිර්මිත කරනු ලැබෙත්ය යි කියති. ඔවුහු ඊට සාක්ෂ්‍ය වශයෙන් කුණු වූ මත්ස්‍ය මාංශ, දිරාගිය කසළ, පල් වූ ජල සෙවෙල් ආදියෙහි උපදින්නා වූ සංසේදජ සත්ත්වයන් දක්වති. මේ මතය ද යට දැක් වූ සත්ව නානත්වය නිසා ම පිළිගත හැකි නොවේ. ජල සෙවෙල් ආදි සමාන හේතුවෙන් නොයෙක් ස්වභාව ඇති නොයෙක් වර්ග වලට අයත් සත්ත්වයෝ උපදිති. එක වර්ගයකට අයත් සත්ත්වයෝ ද එකිනෙකට වෙනස් වූ අදහස්, වෙනස් වූ ගතිගුණ ඇත්තෝ වෙති. ඉදින් අතීත කර්ම හේතු විරහිතව මහා භූතයන්ගේ හේතුවෙන් ම ඒ සත්ත්වයෝ උපන්නාහු නම් ඔවුහු එකිනෙකාට සමාන වන්නාහුය. නුමුත් එසේ නො වෙති.

තවද අභිනව සත්ත්වයන් ඉපදවිය හැකි ශක්තියක් මහාභූත ධාතූන්ට නැත්තේ ය. ඒ බව ධාතූන්ගේ තත්ත්වයට අනුව කල්පනා කිරීමෙන් දතහැකි වේ. එක් එක් සත්ත්වයෙක් පිළිබඳ ධාතු දෙවර්ගයක් වෙයි. එනම්:- නාමධාතු, රූප ධාතු යන දෙවර්ගයයි. එයින් නාමධාතු එනම්:- සත්ත්වයාගේ විඥානය (සිත) හා ඒ හා මිශ්‍රව පවත්නා වූ ලෝභාදි ධර්මයෝ ද යන අරමුණු කරා නැමෙන්නා වූ ස්වභාවය ඇත්තා වූ ධර්ම සමූහයයි. රූප ධාතු නම්:- සතර මහා භූතයන් හා ඔවුන් නිසා පවත්නා වූ වර්‍ණ ගන්ධ රසාදිය ද යන සත්ත්වයාගේ ශරීරය සෑදී තිබෙන්නා වූ රූප සමූහයයි. මේ ධාතු දෙවර්ගය අතුරෙන් නාම ධාතු ප්‍රධාන ධාතු වර්ගයයි. කුමක් හෙයින්ද? එය රූප කයට අධිපති වැ තමා කැමති පරිද්දෙකින් රූප කය පවත්වන හෙයින් හා සුවදුක් විඳීමාදිය ද එයින් ම කරන බැවිනි. නාම ධාතූන් අතුරෙනුදු විඤ්ඤාණ ධාතුව (සිත) ප්‍රධාන ධාතුවයි. කුමක් හෙයින්ද? ලෝභාදි ධර්මයෝ විඥාන ධාතුව ඇසුරු කොට එය ඇති කල්හි ම පවත්නා බැවිනි. සත්ත්වයාගේ විඤ්ඤාණ ධාතුව අසංඥ භවයෙහි ඉපදීම නිසා ඇතැම් විටෙක තාවකාලික වශයෙන් නො පවතින නමුත් සර්‍වාකාරයෙන් විඤ්ඤාණ ධාතුව නැත්තා වූ සත්ත්වයෙක් නැත්තේ ය. ඉන් වෙන්ව සත්ත්වයකු නො සෑදේ. සත්ත්වයා සම්බන්ධ විඤ්ඤාණ ධාතූහු ද එකක් නිරුඬ වූවාට පසු එකක් ඉපදීමෙන් පරම්පරා වශයෙන් එක වැලක් වී පවතිනවා මිස මහාභූතයන් මෙන් එකවර සියදහස් ගණන් උපදමින් පවත්නාහු නොවෙති.

එක සත්ත්වයකුගේ ශරීරයක පවත්නා වූ මහාභූත පරම්පරා දහස් ගණනකි. ඇස සම්බන්ධ භූතපරම්පරාව එකකි. කන සම්බන්ධ භූතපරම්පරාව එකකි. කෙස් ලොම් ආදියෙහි ද එක එක කෙස් ගසක් ලොම් ගසක් සම්බන්ධ රූප පරම්පරා වෙන් වෙන් වශයෙන් පවතිත්. මෙසේ ඒ ඒ ශාරීරික කොටස් බලා මහා භූතයන්ගේ වෙන් වෙන් වූ පරම්පරා දත යුත්තාහු ය. මේ භූතපරම්පරා එක එක පරම්පරාවක් අනික් අනික් පරම්පරාවක් ගැන අපේක්‍ෂාවක් නොමැතිව පවතිත්. සත්ත්වයාගේ ශරීරාවයව වී පවත්නා වූ භූතයෝ ද බාහිර වූ භූතයෝ ද යන භූත සියල්ල ම විඥානෝත්පත්තියට උපකාර වෙති. එබැවින් ධාතූන්ගේ බලයෙන් සත්ත්වයාගේ ප්‍රධාන කොට්ඨාසය වූ විඥානධාතුව උපදියි.

උපදින සැටි මෙසේ දතයුතු. සත්ත්ව ශරීරයේ අවයවයක් වූ ඇස ඉදිරියට යම් දෙයක් පැමිණියේ නම් එහි වර්ණය ඇසෙහි ඔපයේ ගැටීමෙන් ඇස හා ඉදිරියෙහි තිබෙන දෙය ද යන ධාතූන් නිසා චක්ෂුර්විඥානයයි කියනු ලබන දකින්නා වූ හෙවත් ඇස ඉදිරියෙහි තිබෙන දෙය දැන ගන්නා වූ සිත පහල වේ. මෙසේ සෝතාදි ඉන්ද්‍රියයන්හි ශබ්දාදිය ගැටීමෙන් ද විඥාන ධාතූහු උපදිති. ඉන්ද්‍රියයන් හා ආරම්මණයන්ගේ ගැටීමෙන් සිදුවන මේ විඥානෝත්පත්තිය ගිනිකූර හා ගිනිපෙට්ටියේ ගැටීමෙන් ගිනි හට ගැනීම මෙන් දතයුතු. මෙසේ රූප ධාතූන් විසින් සත්ත්වයා සම්බන්ධ ප්‍රධාන ධාතුව වූ විඥාන නිර්මිත කරනු ලබන කල්හි ඔවුන්ට විඥාන ධාතු උපදවා අභිනව සත්ත්වයන් නිර්මිත කළ නොහේද යතහොත්, නිර්මිත කළ නොහේ. කුමක් හෙයින්ද? මහාභූතයන්ට ස්වභාවයෙන් ම පවත්නා වූ විඥානධාතු පරම්පරාවකට සම්බන්ධව ම අභිනව විඥානයන් පහළකර විය හැකි වන නමුත් එබඳු විඥාන පරම්පරාවකින් වෙන්ව විඥාන ඉපදවිය නො හැකි බැවිනි. ඒ බව කෙසේ දත හැක්කේ ද යතහොත් එක සත්ත්වයෙකුගේ ශරීරයෙහි විඥානධාතුවේ උප්පත්තියට උපකාර වන ඉන්ද්‍රියන් පිහිටා තිබෙන තැන් බොහෝ ය. ඒ තැන් වල එක විට රූපාදි බොහෝ අරමුණු සැපෙති. නමුත් විඥානය පහළ වන්නේ පුද්ගලයාගේ චිත්ත සන්තතිය යොමුවී තිබුන ආරම්මණය ගැන ම ය. අන්‍ය ආරම්මණ සියල්ල ම ඉන්ද්‍රියයන්හි සැපුන නමුත් සිත් පහළ නො කරවති. පොතක් බලන්නා වූ තැනැත්තාගේ ඇසෙහි පොතේ පිටක තිබෙන පමණ අකුරුවල ඡායා ගැටීමට පැමිණෙති. නමුත් සිත් පහළ වන්නේ තමා අපේක්‍ෂා කරන අකුර ගැන පමණකි. ඒ අකුරු දක්නා වූ සිත් පහළවන කල්හි එහි තිබෙන අනික් එක අකුරකුදු දක්නා වූ සිත් පහළ නො වෙයි. එබැවින් එක සත්ත්ව සන්තානයක සිත් ඉපදීමට ආධාර වන තැන් බොහෝ වෙතත් එකවර පහළ වන්නේ එක සිතක් ම බව දතහැකි වේ. මෙසේ විඥානෝත්පත්තියට හේතු වන්නා වූ ඉන්ද්‍රියයන්හි රූපාදීන්ගේ ගැටීම සිදු වුව ද සත්ත්වයා පිළිබඳ ස්වභාවයෙන් පවත්නා චිත්තසන්තතියෙහි ම මිස ඉන් වෙන්ව අන් තැනක සිතක් නූපදින බැවින් පවත්නා චිත්ත පරම්පරාවක ආධාරය නොමැතිව භූතයන්ට විඥාන ධාතු ඉපදවිය හැකි නො වන බව දත හැකි වේ.

ඉන්ද්‍රියයන්හි රූපාදිය සැපීම නිසා විඤ්ඤාණ ධාතූන් උපදින බව ලෝක ප්‍රසිද්ධ කාරණයකි. පණුවන්, මදුරුවන් ආදි සංසේදජ සත්ත්වයන්ගේ උප්පත්තිස්ථානය වූ පල් වතුර මඩවගුරු කෙළ පඩික්කම් ආදියෙහි රූපාදීන්ගේ සැපීමට ස්ථාන වූ ඉන්ද්‍රියන් අතුරෙන් එකකුදු නැත්තේ ය. ඉන්ද්‍රියන් ඇත්තා වූ සත්ත්ව ශරීරයෙහි පවා තිබෙන්නා වූ චිත්ත පරම්පරාවේ ආධාරය නොමැතිව රූපාදීන්ට විඥානයක් පහළ කරවිය හැකි නො වන කල්හි එක ම ඉන්ද්‍රියකුදු නැත්තා වූ පල්වතුර ආදියෙහි අභිනව විඥාන පරම්පරා කෙසේ පහළ වෙත්ද? නො වෙත් ම ය. එබැවින් භූතයන්ට අභිනව විඥාන ධාතු පරම්පරාවක් පටන් ගන්වා පෙර පටන් ම සිටින සත්ත්වයන් හැර අභිනව සත්ත්වයන් නිර්මාණය කළ නොහෙන බව දතයුතු. පල් වතුර මඩ වගුරු ආදියෙහි උපදින්නා වූ සත්ත්වයෝ ද පෙර පටන් සිටින පරණ සත්ත්වයෝ ම ය. ඔවුන් විසින් කරන ලද පාප කර්මයන් විසින් ඔවුන්ගේ චිත්ත සන්තතිය ඒ දුර්ගන්ධස්ථානයන්ට පමුනුවනු ලැබීමෙන් ඒ සත්ත්වයෝ උපදිති.

මෙතෙකින් අභිනව සත්ත්වයන් නූපදින බව දක්වන ලදී.