නිරෝධයට පැමිණෙන අවස්ථාවේදීත් සටහන් වශයෙන් ඒකාන්තයෙන් නැත්තා වූ ස්කන්ධයන් සම්බන්ධ සත්ත්ව පුද්ගලාදි ප්‍රඥප්තීහු ඒ නිරෝධය වූ වහාම, අභාවයට පැමිණෙති. සියල්ලන්ගේ ක්ලේශ ස්කන්ධ නිරෝධය ශාන්ති ලක්‍ෂණයෙන් විද්‍යමාන එකම අසංඛත ධාතුව වේ. එහෙයින් අනමතග්ග සංසාරයෙහි බුද්ධත්වයට පැමිණි අනන්ත බුදු වරුන්ගේ ශාසනයන්හි සූවිසි අසංඛ්‍යය බැගින් නිර්වාණයට පැමිණි රහතුන්ගේ වශයෙන් නිර්වාණයේ පූර්ණත්වයක් ද නැත්තේ ය. නො පැමිණීමෙන් ඌණත්වයක් ද නැත්තේ ය. මෙසේ එක ම ධර්මයක්ව පවත්නා හෙයින් රහතන් වහන්සේලාගේ නිවන හීනය, බුදු වරුන්ගේ නිවන ප්‍රණීතය යනාදීන් හීන ප්‍රණීත භේදයක් ද නැත්තේ ය. මීට චතුරසඞ්ඛ්‍යකල්පලක්‍ෂයකින් මතුයෙහි බුද්ධත්වයට පැමිණි දීපංකර සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය පරණය, ගොයුම් බුදුන්ගේ සසුනෙහි වූ ක්ලේශස්කන්ධ නිරෝධය අලුත්ය යනාදි වශයෙන් භේදයක් ද නැත්තේ ය.