ශුන්‍යතා නිර්වාණය

මෙහි ශුන්‍යතා නිර්වාණය නම් :- සකල පළිබෝධයන්ගෙන් හිස්වූ නිර්වාණයයි. පළිබෝධයෝ නම් ශාන්ති සුඛ බාධක ධර්මයෝ ය. සංස්කාර ධර්මයන් අතුරෙන් ප්‍රණීතතර ධර්මය වූ අරහත්ඵල ජවනය ද පළිබෝධ සහිත වූවක් ම වේ. කෙසේ ද යතහොත් ස්වසන්තානයෙහි අරහත් ඵලය උපදවා ගනු කැමති රහතන් වහන්සේ විසින් පළමුකොට තදනුරූප ආවර්ජනය කළ යුතු වේ. ආවර්ජනාදිය සඳහා වෙහෙසීම නොමැතිව අර්හත් ඵලය උපදවා ගත හැකි නොවේ. ඒ උපදවා ගැනීම සඳහා කරන්නා වූ සකල ප්‍රයත්නයෝ ම පළිබෝධයෝ ය. එය ඉපදීමෙන් පසු ද අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ධර්මයක් වූයෙන් ඒ ඇසිල්ලෙහි ම බිඳී අතුරුදහන් වේ. මද උපදවා ගනු කැමති නම් එසේ ම ප්‍රයත්න කළ යුතු වේ. මෙසේ වෙහෙසෙමින් දවසකට දහස් වාරයක් උපදවා ගන්නා ලද්දේ නමුත් පුද්ගලයාගේ අභිප්‍රායානුකූලව මොහොතකුදු පැවතීමක් නොමැතිව උපන් ඇසිල්ලෙහි ම බිඳී අතුරුදහන් වන හෙයින් සංස්කාර ධර්මයන් අතුරෙන් ප්‍රණීතතර ධර්මය වූ අර්හත් ඵලය ද දුක් උපදවන්නා වූ පළිබෝධ සහිත ධර්මයක් වේ ම ය. තදන්‍ය සංස්කාර ධර්මයන්ගේ සපළිබෝධත්වය කියනු ම කවරේද? අසංඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්වාණ ධර්මය වනාහි ඉපදීමක් ඇති ධර්මයක් නො වන හෙයින් උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කළ යුතු බව යයි කියන ලද පළිබෝධ දුඃඛයෙන් ද හිස් වූවකි. එය නිත්‍ය ධර්මයක් හෙයින් නැවත නැවත උපදවා ගැනීම සදහා වෙහෙසිය යුතු බව යයි කියන ලද පළිබෝධ දුඃඛයෙන් ද හිස් වූවකි. නිර්වාණයට පැමිණීම සඳහා භව බොහෝ ගණනක් මුලුල්ලෙහි දාන ශීලාදි පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමය, ශීල විශුධ්‍යාදි විශුද්ධි ධර්මයන් සම්පූර්ණ කිරීමය යන පළිබෝධයෝ වනාහි නිර්වාණය හේතු කොට ඇත්තාහු නොවෙත්. ඔවුහු නිර්වාණයට පැමිණෙනු කැමති යෝගාවචරයාගේ සන්තානයෙහි පැවති මෝක්‍ෂාවරණකාරි ක්ලේශ ධර්මයන් දුරු කිරීම සඳහා කළ යුතු ප්‍රයත්න වූයෙන් ක්ලේශ හේතුක පළිබෝධයෝ ම වෙත්. ඇසෙහි ප්‍රසාදය පටලයන්ගෙන් වැසී තිබෙන අන්ධ පුද්ගලතෙම චන්ද්‍ර සූර්යයන් දකිනු කැමති වී නම් නානා ඖෂධයන් සේවනය කොට ඇසෙහි පැවති පටල දුරුකොට ඔහු විසින් චන්ද්‍ර සූර්යයෝ දැකිය යුතු වෙති. ඖෂධ සේවනය නමැති පළිබෝධ දුඃඛය වනාහි චන්ද්‍ර සූර්‍ය්‍යයන් නිසා ඇති වූ දුඃඛයක් නොවේ. ඒ වනාහි ඇසෙහි පැවති පටල නිසා ම ඇති වූ පළිබෝධයකි. එමෙන් දානාදි පාරමී ධර්මයන් පිරීම නමැති පළිබෝධයෝ නිර්වාණය හේතුකොට ඇති පළිබෝධ නො වන බව දත යුතු.