ඇතැම් ආචාර්‍යවරයෝ මෙහි වදාරන ලද නිර්වාණ දෙකින් සෝපාදිශේෂ නිර්වාණය නම් ක්ලේශයන්ගේ ක්‍ෂය වීම යයි කියන ලද ක්‍ෂීණාකාර ප්‍රඥප්තිය හා ඔවුන්ගේ අවිද්‍යමාන භාවය නමැති අභාව ප්‍රඥප්ති යයි කියත්. ඊට යුක්ති වශයෙන් “රාගස්ස ඛීණාකාරො අභාවො” යන අර්ථකථා පාඨය ගෙන හැර දක්වත්. සර්වඥයන් වහන්සේ විසින් “සම්පරායිකා” යි වදාළ හෙයින් ද අර්ථ කථායෙහි “සම්පරායිකාති ඛන්ධභෙදතො පරභාගෙ භවා” යි වර්ණනා කළ හෙයින් ද අනුපාදිශේෂ නිර්වාණය ම අසංස්කෘත නිර්වාණ ධාතුව යයි කියත්. එයද අතීතයෙහි පටන් පැවත එන්නා වූ නිත්‍ය වූ එකක් ම වූ ධර්මයක් නොව බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධාදි නික්ලේශී වූ උත්තමයන්ගේ ච්‍යුතියෙන් පසු ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන්ව පහළ වන්නා වූ පහළ වීමෙන් පසු නොබිඳී පවත්නා බැවින් නිත්‍ය වූ ධර්මයක් යයි කියත්. ඔවුහු රහතන් වහන්සේලාට පරිනිර්වාණයෙන් ප්‍රථම නිවන හට නොගත් බැවින් උන්වහන්සේලා නිවනට පැමිණියාහු නොවෙත් යයි ද මතු හට ගන්නා වූ නිර්වාණ ධාතුව රහතන් වහන්සේලා දුටුවාහු පමණක් වෙත් යයි කියත්. රහතන් වහන්සේලා නිවනට නො පැමිණි හෙයින් ම ස්වසන්තානයෙහි නා නා විධ රෝග හට ගැනීම හා නා නා දුඃඛ වේදනා හට ගැනීම නමැති ජාති දුඃඛයෙන් ද ස්කන්ධයන්ගේ දිරීම නමැති ජරා දුඃඛයෙන් ද මරණ දුඃඛයෙන් ද රාජ චෝරාදි භයින් ද ස්කන්ධ කය පෝෂ්‍ය කිරීම නමැති සංස්කාර දුඃඛයෙන් ද නො මිදියාහු ය. කිසි දුඃඛයක් නැත්තා වූ නිවනට පැමිණියවුන්ට මේ දුඃඛයෝ නොවෙත් ද යයි ද නිර්වාණයේ සූක්‍ෂම හටගැනීමක් ඇති බව ස්ථිර කිරීම සඳහා කියත්.