සමුච්ඡේද නිර්වාණය

යට දක්වන ලද සෝපාදිශේෂ නිර්වාණයට ම සමුච්ඡේද නිර්වාණයයි කියනු ලැබේ. ක්ලේශ නිර්වාණය යනු ද ඊට ම නමෙකි. එහි ප්‍රභේදයෝ අඞ්ගුත්තර නිකායෙහි එන තිෂ්‍ය බ්‍රහ්ම සූත්‍රයාගේ වශයෙන් දතයුත්තාහු ය. ඒ මෙසේයි. “සඋපාදිසේස නිබ්බාන” යන මෙහි සඋපාදිශේෂ ශබ්දයෙන් දැක්වෙන උපාදි ධර්මයෝ ක්ලේශෝපාදි, ස්කන්ධෝපාදි වශයෙන් දෙපරිදි වෙත්. එයින් කාමූපාදානාදි උපාදානයෝ සතර දෙන ක්ලේශෝපාදි නම් වෙති. ඔවුන්ට අරමුණු වන ලෞකික ධර්මයෝ ස්කන්ධෝපාදි නම් වෙති. නිවන් පසක් කරන ලද පුද්ගලයන් අතුරෙනුදු ශේෂ වූ උපාදාන ඇත්තා වූ ශෛක්ෂ්‍යයෝ ක්ලේශෝපාදීන්ගේ වශයෙන් ශෝපාදිශේෂ පුද්ගලයෝ නම් වෙති. එබැවින් ඔවුන් විසින් ලබන ලද නිවනට ද ශෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. රහතන් වහන්සේලාට ශේෂෝපාදාන භාවයෙන් අනුපාදිශේෂ පුද්ගලයෝ යයි කියනු ලැබේ. ස්කන්ධෝපාදීන්ගේ ශේෂ භාවයෙන් සෝපාදිශේෂ නම් වූ ඔවුන් විසින් දෙනු ලබන ලද නිර්වාණයට ද උපාදාන ශේෂාභාවයෙන් අනුපාදිශේෂ නිර්වාණයැයි කියනු ලැබේ.

ස්කන්ධ පරිනිර්වාණයට ප්‍රථම ආර්‍ය්‍ය පුද්ගලයන් අටදෙනට ම ශේෂ ස්කන්ධයන්ගේ වශයෙන් සෝපාදිශේෂ පුද්ගලයෝ යයි කියනු ලැබෙත්. ඔවුන් විසින් පැමිණෙන ලද නිර්වාණයට ද සෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙන ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු අනුපාදිශේෂ පුද්ගලයෝ නම් වෙති. ඔවුන්ගේ නිර්වාණයට ද අනුපාදිශේෂ නිර්වාණය යයි කියනු ලැබේ. මෙසේ උපාදි ධර්මයන් බෙදීමෙන් ස්කන්ධ පරිනිර්වානයෙන් ලැබිය යුතු වූ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවේ භේදයක් නො වන නමුත් සෝපාදිශේෂ නිර්වාණ සඞ්ඛ්‍යාත සමුච්ඡේද නිර්වාණය ක්ලේශෝපාදීන්ගේ ශේෂාශේෂ භාවයෙන්

  1. සෝපාදිශේෂ සමුච්ඡේද නිර්වාණය
  2. අනුපාදිශේෂ සමුච්ඡේද නිර්වාණය යි.

දෙවැදෑරුම් වේ.

තිෂ්‍ය බ්‍රහ්ම සූත්‍රයෙහි පැණෙන තිෂ්‍ය බ්‍රහ්මයාගේ විසර්ජනයෙහි;

“ඉධ පන මාරිස මොග්ගල්ලාන භික්ඛු කායසක්ඛී හොති. තමේනං දෙවා එවං ජානන්ති. අයං ඛො ආයස්මා කායසක්ඛී අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙතාසනානි පටිසෙවමානො කළ්‍යාණ මිත්තේ භජමානො ඉන්ද්‍රියානි සමන්තා නයමානො යස්සත්ථාය කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරිය පරියොසානං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති, එවම්පි ඛො මාරිස මොග්ගල්ලාන තෙසං දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති” යනාදි වශයෙන් කායසක්ඛීය, දිට්ඨප්පත්තය, සද්ධා විමුත්තය, ධම්මානුසාරියයි සෝපාදිශේෂ පුද්ගලයන් සතර දෙනකු දක්වා තිබේ.

එහි ම සර්වඥයන් වහන්සේ විසින් “ඉධ මොග්ගල්ලාන භික්ඛු සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තා චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති. තමෙනං දෙවා එවං ජානන්ති. අයං ඛො ආයස්මා සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති -පෙ- එවං ඛො මොග්ගල්ලාන තෙසං දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති.” යනුවෙන් දක්වා වදාරන ලද එක් සෝපාදිශේෂ පුද්ගලයෙක් වේ. මෙසේ සෝපාදිශේෂ පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. ඒ සෝපාදිශේෂ පුද්ගලයන් පස්දෙනාගේ වශයෙන් සමුච්ඡේද නිර්වාණ පසක් වෙයි.

තිෂ්‍ය බ්‍රහ්මයාගේ විසර්ජනයෙහි ම “ඉධ මාරිස මොග්ගල්ලාන භික්ඛු උභතොභාග විමුත්තෝ හොති තමෙනං දෙවා එවං ජානත්ති. අයං ඛො ආයස්මා උභතො භාග විමුත්තෝ යාවස්ස කායො ඨස්සති තාව නං දක්ඛන්ති දෙවමනුස්සා කායස්ස භෙදා න නං දක්ඛන්ති දෙවමනුස්සාති. එවම්පි ඛො මාරිස තෙසං දෙවානං එවං ඤාණං හොති අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති” යනාදි වශයෙන් උභතෝ භාග විමුත්තය, පඤ්ඤා විමුත්තය යි අනුපාදිශේෂ පුද්ගලයන් දෙදෙනකු දක්වා තිබේ. ඒ අනුපාදිශේෂ පුද්ගලයන් දෙදෙනාගේ වශයෙන් අනුපාදිශේෂ සමුච්ඡේද නිර්වාණ දෙකක් වෙයි. මෙසේ සමුච්ඡේද නිර්වාණ සතක් වෙයි.

සමුච්ඡේද නිර්වාණය නිමි.