ද්විතීය සූත්‍රය.

දැන් අංගුත්තර නිකාය නවකනිපාතයෙහි නිර්වාණ සුඛත්ත්වය දක්වා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රයක අදහස සැකෙවින් දක්වනු ලැබේ.

එක් සමයෙක්හි ධර්මසේනාපති වූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට “සුඛමිදං ආවුසො! නිබ්බානං සුඛමිදං ආවුසො නිබ්බානං” යි වදාළ සේක. ආවුසො, ඇවැත්නි: ඉදං නිබ්බානං, මේ නිර්‍වාණය; සුඛං, සැපවන්නේය යනු එහි අර්ථයයි.

එකල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ට,

“කිම්පනෙත්ථ ආවුසො! සාරිපුත්ත සුඛං යදෙත්ථ නත්ථි වෙදයිතං” යි සැළ කළේ ය. ආවුසො සාරිපුත්ත, ඇවැත්නි! ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස; යදෙත්ථ, යම් ඒ නිර්වාණයෙක්හි; වෙදයිතං, විඳීමක්; නත්ථි, නැත්තේද; එත්ථ, මේ විඳීමක් නැත්තා වූ නිර්වාණයෙහි; සුඛං, සුවය; කිම්පන අත්ථි; කිමෙක ඇත්තේද යනු එහි අර්ථයයි.

එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “එතදෙවෙත්ථ ආවුසො සුඛං යදෙත්ථ නත්ථි වෙදයිතං” යි වදාළ සේක. ආවුසො, ඇවැත්නි; එත්ථ, මේ නිර්‍වාණයෙහි; වෙදයිතං, විඳීමක්; යං නත්ථි, යම් හෙයකින් නැත්තේද; එතදෙව, විඳීමක් නැතිබවම; එත්ථ, මේ නිර්වාණයෙහි; සුඛං, සුවයයි යනු අර්ථයි.

ඉක්බිති නිර්‍වාණයාගේ සුඛත්ත්වය දක්වන්නා වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක. ඇවැත්නි, ඉෂ්ට වූ මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පඤ්චකාමගුණය හේතු කොට උපදනාවූ සුවය කාම සුඛයයි. ප්‍රථමධ්‍යානය උපදවා ධ්‍යානසුවයෙන් කල් යවන්නා වූ භික්ෂුවට ඒ කාම සහගත සංඥාවෝ උපදිත් නම් යම් සේ සුවපත්වූවහුට දුක් උපදින්නාහු නම් ඒ දුඃඛයෝ ඔහුට ආබාධ පිණිස වෙත් ද එපරිද්දෙන් ප්‍රථම ධ්‍යාන ලාභී භික්ෂුවට කාමසංඥාවෝ ආබාධයෝ වෙත්. ඇවැත්නි, යම් ආබාධයක් වේ නම් එය දුඃඛයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ඇවැත්නි, මේ කාරණයෙන් නිර්වාණය සැප බව දැන ගනුව.

ප්‍රථම ධ්‍යාන සුඛය ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදත් මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකවාසී සාමාන්‍ය සත්ත්වයෝ පඤ්චකාම සුඛය උතුම්කොට සලකත්. ප්‍රථමධ්‍යානය ලබා ගත් යෝගාවචර භික්ෂුව වනාහි ප්‍රථමධ්‍යාන සුඛය ප්‍රත්‍යක්ෂ වශයෙන් දත් කල්හි ඔහුට කාම සුඛයාගේ හීනත්ත්වය පෙනේ. දිනපතා රාජභෝජනය අනුභව කරමින් සිටින්නා වූ රජුන්ට දුගීන් විසින් ප්‍රණීත වශයෙන් සලකා අනුභව කරන්නා වූ භෝජනය අනුභව කරන්නට වුවහොත් ඔවුන්ට එය මහත් දුඃඛයක් වේ. එමෙන් ම ප්‍රථමධ්‍යානයට පැමිණ ප්‍රණීත වූ සුවයක් විඳිමින් සිටින්නා වූ භික්ෂුවට කාමසුඛයෝ ආබාධයන් වන බව ද දුඃඛයන් වන බව ද දත යුතු යි.

මෙසේ ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයාට ප්‍රථමධ්‍යානලාභියා විසින් උතුම් කොට සලකනු ලබන්නා වූ විතර්ක විචාර සහගත සංඥාවක් වූ ප්‍රථමධ්‍යානය උපදී නම් එය ඔහුට ආබාධ වන බැවින් ප්‍රථමධ්‍යානය ද, තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයා හට ආබාධයක් වන බැවින් ද්විතීය ධ්‍යානය ද, චතුර්ථ ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් තෘතීයධ්‍යානය ද, ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් චතුර්ථ ධ්‍යානය ද, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් ආකාසානඤ්චායතන ධ්‍යානය ද, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් විඤ්ඤානඤ්චායතන ධ්‍යානය ද, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ද, ඒකාන්තික සුඛයක් නොවන බැවින් ඒ ඒ කාරණයන් ගෙන් නිර්වාණය ම සුඛය බව වදාරන ලදී. ලෞකික සැප අතුරෙන් ප්‍රණීත සුවය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය ද ඉක්මවා අනාගාමි අර්හත් පුද්ගලයෝ සංඥා වේදයිත නිරෝධයට (හෙවත් නිරෝධ සමාප්තියට) පැමිණෙත්. ඒ කාරණයෙන් නිර්වාණයාගේ සුඛය දක්වන ලදී. නිරෝධ සමාප්තිය වනාහි සාන්දෘෂ්ටික නිර්වාණයක් වූ හෙයින් ඒකාන්ත සුඛයකි.

මේ අර්ථය ප්‍රකට වීම සඳහා තවත් උපමාවකින් දක්වනු ලැබේ. ඝන වූ රත් පැහැයෙන් දිලිසෙන්නා වූ කිහිරි අඟුරු වලින් පුරවන ලද ගිනි කබල බලවත් කැසීම ඇත්තා වූ කුෂ්ටරෝගයකින් පෙලෙන්නා වූ පුද්ගලයාට ග්‍රීෂ්ම කාලයේදී නමුත් ඉෂ්ටාරම්මණයක් වේ. ගින්නෙන් ස්වකීය ශරීරය රත්කිරීම සුඛයක් වේ. ඉන් වෙන් වුව හොත් කැසීම වර්ධනය වන බැවින් ගිනිකබල අත්හැරිය නොහේ. ඉන් වෙන් වුවහොත් කුෂ්ටරෝගය විසින් ම රෝගියා වහා ගිනිකබල කරා පමුණුවනු ලැබේ. එපරිද්දෙන් පඤ්චකාම සුවය කෙරෙහි පවත්නා වූ ආශාව නමැති කැසීමෙන් යුක්ත වූ කුෂ්ට චිත්තය ඇත්තවුන්ට රූපාදි පඤ්චකාමයෝ ඉෂ්ටාරම්මණයෝ වෙත්. කාමයන් ආශ්වාදනය කිරීම සුවයක් වේ. කාමාශාව විසින් රූපයන් සොයා යව, ශබ්දයන් සොයා යව යන ආදි වශයෙන් පඤ්චකාමයන් කරා කාමාශාව ඇති තැනැත්තේ නැවත නැවත පමුණුවනු ලබන හෙයින් ඔහුට කාමයන්ගෙන් වෙන් විය නොහේ. යට කී ගිනිකබල කුෂ්ට රෝග නැත්තවුන්ට ග්‍රීෂ්ම කාලයේදී දුක් උපදවන්නා වූ දැකීමට පවා අප්‍රිය වූ භයානකාරම්මණයක් වේ. එපරිද්දෙන් ම පඤ්චකාමාසාව නමැති කුෂ්ට රෝගය දුරුකොට ප්‍රථමධ්‍යානයට පැමිණි භික්ෂුවට පඤ්චකාමයෝ අප්‍රිය වූ භයානකාරම්මණයෝ වෙත්. ඔහු කෙරෙහි පවත්නා වූ ප්‍රථම ධ්‍යානනිකාන්තිය (ආශාව) නමැති කැසීම ප්‍රථම ධ්‍යාන සුඛය කරා ම පමුණුවයි. ප්‍රථම ධ්‍යානය ඔහුට මහත් වූ සුවයක් වේ. ප්‍රථමධ්‍යානනිකාන්තිය නැත්තා වූ ද්වීතීය ධ්‍යාන ලාභියාට වනාහි ප්‍රථමධ්‍යානය අනිෂ්ට වූවක් වේ. මෙසේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය දක්වා කුෂ්ටරෝග උපමාවෙන් විස්තර කළ යුතු.

මේ සූත්‍රයෙන් දක්වන්නා වූ පිණ්ඩාර්ථය මෙසේ දතයුතු. කාමසුඛ ප්‍රථමධ්‍යාන සුඛාදි හීන හීන සුඛයෝ ඒ ඒ සැප ලබනු කැමති තෘෂ්ණාව නමැති කුෂ්ට රෝගය (කැසීම) ඇති කල්හි ම ඒ ඒ තැනැත්තන්ට ම සැප වශයෙන් වැටහෙත්. ප්‍රණීත ප්‍රණීත වූ සුඛයන් ලබා ගත්තා වූ ද ලබා ගැනීම සඳහා පිළිපදින්නා වූ ද පුද්ගලයන්ට වනාහි ලාමක ලාමක වූ වේදයිත සුඛයෝ ප්‍රණීත සුඛයන්ට බාධක ධර්ම වූයෙන් දුඃඛයෝ ම වෙත්, ඒකාන්තයෙන් සැප නොවෙත්, සකල වේදයිත සුඛයන්ගේ ම නිරෝධය වූ ශාන්ති සුඛය ම ඒකාන්ත සුඛය වේ. එය ප්‍රතික්ෂේප කොට ලැබිය යුතු ඊට ප්‍රණීත වූ සුඛයක් නැත්තේ ය.

ද්විතීය සූත්‍රයේ අදහස නිමි.