ප්‍රථමාචාර්ය වාද විනිශ්චය.

“ද්වේ මා හික්ඛවේ නිබ්බාන ධාතුයො” යනාදි සූත්‍රයෙහි දක්වන ලද නිර්වාණ දෙක අභාව ප්‍රඥප්ති දෙකකැයි දක්වන ආචාර්‍ය්‍යවරයෝ ඊට කරුණු තුනක් දක්වත්. එයින් පළමු වෙනි කාරණය නම්:- සර්වඥයන් වහන්සේ විසින් එහි දෘෂ්ටධාර්මික, සාම්පරායික වශයෙන් නිර්වාණ දෙකක් දැක්වීමයි. නිර්වාණධාතුව එකක්ම වූ හෙයින් ඒ නිර්වාණ දෙක අභාවප්‍රඥප්ති දෙකක් යයි ඔවුන්ගේ මතයයි. නිර්වාණ ධාතුව වනාහි රහතුන් ගේ ච්‍යුතියෙන් පෙර ද පසුව ද ඇත්තාවූ ධර්මයකි. එබැවින් එක ධර්මයක් ම වූ නිර්වාණ ධාතුව දෘෂ්ටධාර්මික, සාම්පරායික වශයෙන් දෙකක් කොට කිව හැකි වේ. එකක් වූ ආකාශ ධාතුව කළයෙහි ආකාශය, කවුළුවෙහි ආකාශය යනාදීන් වෙන් කළ හැකි වූවාක් මෙනි. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් දෙකක් කොට වදාරන ලද්දේ මෙහි දක්වන නිර්වාණ ධාතු දෙක නිරෝධ සත්‍ය සඞ්ඛ්‍යාත පරමාර්ථ නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ ප්‍රඥප්ති දෙකක් නිසායයි නොසැලකිය යුතු.

ඔවුන් දක්වන දෙවෙනි කාරණය නම් :– “රාගස්ස ඛීණාකාරො අභාවො අච්චන්ත මනුප්පාදෝ” යන අර්ථ කථා වාක්‍යයයි. මෙහි “ඛීණාකාරො අභාවො” යන වචන වලින් අභාව ප්‍රඥප්තියක් දක්වනු ලැබේ යයි ඔවුහු සලකති. “ඛීණාකාරෝ අභාවො” යන වචන වනාහි රාගයාගේ ක්ෂීණාකාරය හා අභාවය නිමිත්ත කොට නිර්වාණ ධාතුව වාචක වන්නා වූ ශබ්ද දෙකකි. ඒ බව නිර්වාණයාගේ නාමයක් වූ “අච්චන්ත මනුප්පාදෝ” යන පශ්චිම වචනයෙන් පැහැදිලි වේ. එබැවින් “ඛීණාකාරො අභාවො” යන වචන වලින් අභාව ප්‍රඥප්තියක් ප්‍රකාශ නොවන බව දතයුතු.

තුන්වන කාරණය නම් :- “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවෙ භවා වත්තමානා, සම්පරායිකාති ඛන්ධභේදතො පරභාගෙ භවා” යන අටුවා වැකි දෙක ය.

දිට්ඨධම්මිකාති, දිට්ඨධම්මිකා යනු; ඉමස්මිං අත්තභාවෙ, මේ වර්තමාන ආත්ම භාවයෙහි; භවා වත්තමානා, පවත්වන්නා වූ නිර්වාණ ධාතුවයි; සම්පරායිකාති, සාම්පරායිකා යනු; ඛන්ධ භේදතො, ස්කන්ධ භේදයෙන්; පරභාගෙ, පසුකාලයෙහි; භවා, පවත්වන්නා වූ නිර්වාණ ධාතුවයි. මේ අර්ථයි.

මෙයින් නිර්වාණයේ හට ගැනීම ප්‍රකාශ කරනු ලැබේ යයි ඔවුහු සලකති. පරමාර්ථ අසංස්කෘත නිර්වාණ ධාතුව හට නො ගන්නා වූ ධර්මයක් වූ බැවින් යම් නිර්වාණයක හට ගැනීමක් ප්‍රකාශ කර තිබේ නම් එය ප්‍රඥප්තියක් යයි කිය යුතු වේ. මෙහි “භවා වත්තමානා” යන පද වලින් නිර්වාණයාගේ හට ගැනීමක් නො දක්වන ලදී. “භවා” යන මෙහි භූධාතුවේ අර්ථය ධාත්වර්ථ චින්තකයන් විසින් “සත්තායං” යි කියන ලදී. “සත්තස්ස භාවො සත්තා” යනු වචනාර්ථ බැවින් සත්තා යන්නෙන් සංස්කෘත පරමාර්ථයන්ගේ සංස්කෘත ස්වභාවයෙන් විද්‍යමානත්වය ද අසංස්කෘත පරමාර්ථයාගේ අසංස්කෘත ස්වභාවයෙන් විද්‍යමානත්වය ද ප්‍රඥප්තීන්ගේ ප්‍රඥප්ති භාවයෙන් විද්‍යමානත්වය ද වාච්‍ය වේ. පෙර නො පැවති ධර්මයක හට ගැනීම වාච්‍ය නොවේ. “වත්තමානා” යන්නෙන් ද පෙර නොතිබූ ධර්මයක හට ගැනීම නොව තුබූ ධර්මයක පැවැත්ම වාච්‍ය වේ. ධාතූන් අනේකාර්ථ බැවින් භූධාතුවෙන් ද ඇතැම් කල වාච්‍ය වන හට ගැනීම් අර්ථය ප්‍රතික්‍ෂේප කිරීම පිණිස “වත්තමානා” යි කියන ලදී. අර්ථකථාචාර්ය්‍යයන් වහන්සේ පෙර නො තිබූ නිවනක හට ගැනීම ප්‍රකාශ කරනු කැමති වී නම් “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවෙ ජාතා කියා හෝ ඉමස්මිං අත්ත භාවේ නිබ්බත්තා” කියා හෝ වර්ණනා කරන්නේ ය. එසේ නො කළේ උන් වහන්සේට මෙහි හට ගැනීමක් ප්‍රකාශ කිරීම අභිමත නො වන බැවිනි. එබැවින් යථෝක්ත අර්ථකථා පාඨයෙන් නිර්වාණයේ හට ගැනීමක් ප්‍රකාශ නො කරන බව හා පාලියෙහි එන නිර්වාණධාතු දෙක ප්‍රඥප්ති දෙකක් නොවන බව ද දත යුතු. සර්වඥයන් වහන්සේ විසින් අභාව ප්‍රඥප්ති දෙකකුත් නිර්වාණය කොට වදාරන ලදැයි කීම කිසිසේත් යුක්ති යුක්ත ද නොවේ.

මේ ප්‍රථමාචාර්‍ය්‍ය වාද විනිශ්චයයි.