නිර්වාණයාගේ ලෝකෝත්තර භාවය හා පිහිටියා වූ දිශා දේශයක් නොමැති බව

පරමාර්ථ වශයෙන් හා ප්‍රඥප්ති වශයෙන් විද්‍යමාන වූ සකල ධර්මයෝ ම ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් මාර්ග ඵල නිර්වාණ යන ධර්මයෝ නව දෙන ලෝකෝත්තර නම් වෙති. සෙස්සෝ ලෞකික නම් වෙති. ක්‍ෂණයක් පාසා බිඳෙමින් පවත්නා හෙයින් ද පරම්පරා වශයෙන් කලක් පැවතී සිඳී යන හෙයින් ද ස්කන්ධයෝ ලෝක නම් වෙති. සත්ත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂාදි ප්‍රඥප්තීන්ගේ වනාහි එසේ නැසීමක් වැනසීමක් නැත්තේ ය. නමුත් ස්කන්ධයන්ගේ නැසීමෙන් වැනසීමෙන් ඔවුහු ද අදර්ශනයට පැමිණෙන හෙයින් ඔවුන්ට ද ලෝකයයි ම කියනු ලැබේ. නිර්වාණය නම් ලෝක නිරෝධයයි. ඒ ලෝක නිරෝධය ලෝකය හා අසම්බන්ධව ලෝකය ඉක්ම පවත්නා ධර්මයකි. එහෙයින් නිර්වාණ ධාතුවට ලෝකෝත්තරයැයි කියනු ලැබේ. දිශා වශයෙන් හා දේශ වශයෙන් ව්‍යවහාර කරනු ලබන්නේත් ලෝකයයි කියන ලද ධර්මයෝමැයි. ලෝක නිරෝධය වූ නිර්වාණ ධාතුවගේ ඔවුන් හා ගැටීමක් පැකිළීමක් සම්බන්ධවීමක් නැත්තේ ය. එහෙයින් දශ දිශාවන් අතුරෙන් යම් කිසි දිශාවක හෝ යම් කිසි ප්‍රදේශයක හෝ නිර්වාණ ධාතුව නැති බව දතයුතු.

අනිමිත්ත ධර්මයක් වූ නිර්වාණයාගේ පැවැත්මට සනිමිත්ත ධර්ම වූ වෘක්‍ෂ පර්වතාදීන්ට මෙන් පිහිටීමට අවකාශයෙක් වුවමනා නොවේ. එහෙයින් පිහිටියා වූ ස්ථානයක් නැතහොත් නිර්වාණයකුදු නැතයැයි නොසැලකිය යුතු ය. සතර අඟලක් පමණ වූ කැඩපතෙක්හි යොදුනක් පමණ වූ පර්වතච්ඡායාවක් දර්ශනය වේ. පර්වතච්ඡායාවෙන් ලක්‍ෂයෙන් පංගුවකුදු මහත් නොවූ කැඩපත තුළ ඒසා මහත් වූ ඡායාවක් නැත්තේයයි යමකු විසින් කියනු ලැබේ නම් එය සම්පූර්ණයෙන් අසත්‍යක් ම වේ. කුඩා වූ වස්තුවක් තුළ විශාල වස්තුවක් පැවතිය හැකියයි කීම න්‍යාය විරෝධී වූවකි. නමුත් මේ කාරණය ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම පිහිටියා වූ ස්ථානයක් නොමැතිව නිර්වාණ ධාතුව පවතීය යනු මේ ලෝකෝත්තර ධර්ම කථා විෂයෙහි ඒකාන්ත සත්‍යයක් බව දතයුතු.