ලෝකයෙහි හට ගත්තා වූ දුඃඛ භය වෛර අන්තරායයන්ගේ සන්සිඳීමට හා ඉන් මිදීමට සම්මුති නිර්වාණයැයි කියනු ලැබේ. එය “මනෝ නිබ්බාති තාවදේ. රෝගො වූපසම්මති. අන්තරායෝ වූපසම්මති” යනාදි දේශනාවන්හි දක්නා ලැබේ. සිද්ධාර්ථ කුමාරයාණන්ගේ ශ්‍රී සම්පත්තිය දැක කිසා ගෝතමී නම් වූ ක්ෂත්‍රිය කුමාරිකාව විසින් කියන ලද,
“නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරි - යස්සායං රීදිසෝ පතී.”
යන ගාථාවෙහි “නිබ්බුත” පදයෙන් දක්වන ලද්දේත් මේ සම්මුති නිර්වාණයයි. යෞවන වයසින් හා රූප සම්පත්තියෙන් ද පුණ්‍ය සම්පත්තියෙන් හා ප්‍රඥා සම්පත්තියෙන් ද යුක්ත වූ සිද්ධාර්ථ කුමාරයන්ගේ මව් තොමෝ ද පිය රජ තෙමේ ද ප්‍රිය භාර්යාව වූ ස්ත්‍රිය ද යන සියල්ලෝ ම සර්වෝපද්‍රවයන් කෙරෙන් මිදී සුවසේ දිවි ඇති තාක් වාසය කරන්නාහු ය. එබැවින් ඔවුහු කායික, චෛතසික, සකල දුඃඛයන්ගෙන් මිදුනාහු වෙති. ඒ මිදීම හා ඔවුන්ගේ සන්සිඳීම මෙහි දක්වන ලද සම්මුති නිර්වාණයයි. තවද,
“ස්වාහං අබ්බුල්ලා සල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතෝ
න සෙ චාමි න රොදාමි තව සුත්වාත මානව”
යන විමාන වස්තු පාලියෙහි “නිබ්බුතො” යන පදයෙන් දක්වා තිබෙන්නේත් මේ සම්මුති නිර්වාණය මැයි. ප්‍රිය පුත්‍රයාගේ මරණය හේතු කොට ගෙන බ්‍රාහ්මණයා කෙරෙහි පැවති ශෝකාග්නියගේ නිවීම මෙහි දක්වන ලද සම්මුති නිර්වාණයයි.
මේ සම්මුති නිර්වාණය ද නිවීමයයි කියන ලද ශාන්ති ලක්ෂණයෙන් එකක් වූ නමුත් නිවී යන දුඃඛ ධර්මයන්ගේ වශයෙන් අනේක සහස්‍ර ප්‍රභේද වේ. එහි භේද සංක්ෂේපයෙන් මෙසේ දතයුතු. රෝගාන්තර කල්පය, දුර්භික්ෂාන්තර කල්පය, ශස්ත්‍රාන්තර කල්පය යන කල්පත්‍රය නිමිත්තකොට ඔවුන්ගේ සන්සිඳීම් වශයෙන් සම්මුති නිර්වාණ තුනකි.
මෙසේ චතුර්විධ විපත්තීන්ගේ වශයෙන් සතරකි. සතර අපාය දුඃඛයාගේ වශයෙන් සතරකි. පඤ්ච මහා වෛරීන්ගේ වශයෙන් පසකි. අෂ්ටාභව්‍ය ස්ථානයන්ගේ වශයෙන් අටකි. ෂෝඩෂ ප්‍රභේද උපද්‍රවයන්ගේ වශයෙන් සොළසකි. පස්විසි භවයන්ගේ වශයෙන් පස්විස්සකි. ද්වත්තිංස කම්මකරණයන්ගේ වශයෙන් දෙතිසකි. සයානුවක් වූ රෝගයන්ගේ වශයෙන් සයානූවෙකි. විස්තාර වශයෙන් අනන්ත කල්ප අනන්ත චක්‍රවාළ අනන්ත සත්ත්වයන්ගේ වශයෙන් අනන්තාපරිමාණ සම්මුති නිර්වාණයෝ වෙත්. මේ සම්මුති නිර්වාණය අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත අමෘත මහා නිර්වාණයට නො පැමිණියා වූ සකල සත්ත්වයන්ට ම ඇත්තා වූ මහත් වූ ප්‍රතිෂ්ඨාවකි. ලෝකයෙහි පවත්නා වූ රෝගාදි දුඃඛයන්ගේ නිවීමයැයි කියන ලද ශාන්ති ස්වභාවය සත්වයන්ගේ කාය-ඥානද්වයෙහි ස්පර්ශ වන පරිදි යට විස්තර කරන ලදී. යම් ධර්මයක් සත්ත්වයන්ගේ කාය -ඥානද්වයෙන් ස්පර්ශ කළ හැකි වේ නම් එය ස්වකීය ස්වභාවයෙන් ඒකාන්තයෙන් ඇත්තා වූ ධර්මයක් වන හෙයින් මේ සම්මුති නිර්වාණය ද සස විසාණාදිය වැනි වූ පරමාර්ථ වශයෙන් නැත්තා වූ අභාව ප්‍රඥප්ති මාත්‍රයක් නොවේ. සාකේත නුවර සිටු දේවියක් සොළොස් දහසක් කහවනු පරිත්‍යාග කොට හිස රුජාවක සුවය වූ ශාන්තිය ලබා ගත්තා ය. රෝග සුවය කාය-ඥානද්වයෙන් ස්පර්ශ කළ හැකි නොවූ අභාව ප්‍රඥප්ති මාත්‍රයක් වේ නම් ඕ තොමෝ එපමණ ධනය පරිත්‍යාග කොට ඒ ශාන්තිය ලබා නො ගන්නීය. දැනුදු මනුෂ්‍යයෝ ඒ ඒ දුඃඛයන් ගේ නිවීම වූ ශාන්තිය ලබා ගැනීම සඳහා බොහෝ ධන පරිත්‍යාග කෙරෙත්. එහෙයින් මේ සම්මුති නිර්වාණය ද පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් බව දතයුතු. එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන වන්නේ අන්‍ය පරමාර්ථ ධර්මයන් මෙන් ද්‍රව්‍ය භාවයෙන් නොව ශාන්ති සුඛ ස්වභාවයෙනි. නමුත් මෙය මතු නූපදනාකාරයෙන් සිදුවන දුඃඛ ධර්මයන්ගේ නිවීම වූ අසංඛත ධාතු සංඛාත මහා නිර්වාණය හා සසඳා බලන කල නිර්වාණය යැයි කීමට ප්‍රමාණ නොවේ. ලෞකික මහජනයා විසින් නිර්වාණාර්ථවාචී නිබ්බුත වූපසන්තාදි ශබ්දයන්ගෙන් ව්‍යවහාර කරනු ලබන හෙයින් මීට සම්මුති
නිර්වාණයැයි කියනු ලැබේ. මෙහි ප්‍රණීත භාවය යට සුඛ කථාවෙහි දක්වන ලද නයින් දත යුතු.
සම්මුති නිර්වාණය නිමි.