පඤ්චක්ඛන්ධා දුක්ඛා

star_outline

“පඤ්චක්ඛන්ධා දුක්ඛා” යන මෙහි දුක්ඛ නම් පීඩනයයි. ස්කන්ධයන් විසින් සත්ත්වයෝ සංස්කාර දුඃඛය, විපරිණාම දුඃඛය, දුඃඛ දුඃඛය යන දුඃඛත්‍රයෙන් නිරතුරුව බියකරු ලෙසින් පීඩා කරනු ලද්දාහු වෙති. එයින් සංස්කාර දුඃඛය නම් ස්කන්ධයන් උපදවා ගැනීම ලබා ගැනීම සඳහා වන වෙහෙසීමයි. විපරිණාම දුඃඛය නම් උපන් ස්කන්ධයන්ගේ දිරීම බිඳීම නිසා වන පීඩනයයි. දුඃඛ දුඃඛය නම් දුඃඛ දෝමනස්ස වේදනාවෝ ය.

මේ දුඃඛත්‍රයෙන් පීඩා කරනු ලබන ආකාරය කියනු ලබන උපමාවෙන් දතයුතු. වර්තමාන වර්ෂයෙහි බත් ලබාගනු කැමති තැනැත්තා විසින් අතීත වර්ෂයේදී ම බීජ ධාන්‍ය රැස් කර තැබීම සඳහා බොහෝ ප්‍රයත්න කළ යුත්තාහුය. එසේ ම මතු වර්ෂයෙහි සී සෑම සඳහා ගවයන් පෝෂ්‍ය කිරීමට ද නගුල් වැල් කෙවිටි ආදි උපකරණ සම්පාදනයට ද ගොවිතැන් කරන කාලය පැමිණි කල්හි සී සෑම වැපිරීම ආදියට ද වපුරා අවසාන වූවාට පසු විනාශ නොවී වැඩීම සඳහා ආරක්‍ෂා කිරීමට ද පැසුණු කල කැපීම, පෑගීම, වියළීම, මැනීම, ගෙන ගොස් අටු කොටු වල තැන්පත් කර ගැනීම යන ආදියට ද නැවත අටුකොටු වලින් ගෙන වියළීම, කෙටීම, පෙලීම, සේදීම, පිසීම යන ආදියට ද බොහෝ ප්‍රයත්න දැරිය යුත්තාහු ය.

යම් වෙහෙසීමක් වේ නම් එය ඒකාන්තයෙන් දුඃඛයකි. බීජ ධාන්‍ය රැස් කිරීමෙහි පටන් බත පිස අවසානය දක්වා මේ අතර බත උවමනා කරන්නාට වූ කෝටි ලක්‍ෂයකටත් අධික වූ වෙහෙසීම් නමැති දුඃඛයෝ බත නිසා ම ඇති වූ බැවින් බත් බවට පැමිණි එක් එක් බත් හුලක්; බත් උවමනා කරන්නා වූ තැනැත්තාට කෝටි ලක්‍ෂවාරයකටත් වඩා පීඩා කොට බත බවට පැමිණෙන්නාහු ය.

මේ බත සම්බන්ධ සංස්කාර දුඃඛය යි.

අතීත වර්ෂයෙහි බීජ ධාන්‍ය රැස් කිරීමේ පටන් බත් පිස මුඛයට ඇතුල් කිරීම දක්වා මේ අතර කරන ලද සකල කෘත්‍යයෝ ද රැස් කරන ලද සකල ද්‍රව්‍ය සම්භාරයෝ ද විනාශ විය හැකි හේතුවක් පැමිණි කල්හි විනාශ වන ස්වභාවය ඇත්තාහු වෙති. පිස නිමවන ලද බත පවා මුව තුළට පැමිණීමට ප්‍රථම විනාශ විය හැකි සිය දහස් ගණන් හේතූහු වෙත්. එක් එක් අවස්ථාවකදී රාජ භය චෝර භයාදි යම් භයක් හමුවීමෙන් හෝ වර්ෂා ජලය නො ලැබීමෙන් හෝ විනාශ වී ගියේ නම් එකල්හි හට ගන්නා වූ අනේක කායික දුඃඛයෝ ද විනාශ විය හැකි හේතුවක් පැමිණෙන බව දත් කල්හි එයින් වලක්වා ආරක්‍ෂා කර ගැනීම සඳහා විය යුතු වෙහෙසීම් ද, විනාශ විය හැකි හේතුවක් පැමිණෙන බව දැන ගත් කල්හි ඇති වන්නා වූ ශෝක දුඃඛයෝ ද, බත් මුව තුළට ගෙන විකා සප කළ කල්හි පිළිකුල් බවට හා විකාරයට පැමිණීම ද, කුස තුළට පැමිණි පසු නො දිරා තිබේ නම් ඒ හේතුවෙන් වන්නා වූ රෝග දුඃඛයෝ ද, දිරා ගියේ නම් මල මුත්‍ර සෙම් සොටු ආදිය වීමෙන් වන්නා වූ දුඃඛයෝ ද යන මොවුහු බතින් උපදවන්නා වූ විපරිණාම දුඃඛයෝ වෙත්.

මේ බත සම්බන්ධ විපරිණාම දුඃඛයයි.

දුඃඛ දුඃඛය වනාහි සංස්කාර දුඃඛ විපරිණාම දුඃඛයන් හා මිශ්‍රව පවත්නේ ය. බත උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කිරීමෙන් බොහෝ කායික චෛතසික දුඃඛයෝ උපදිත්. රැස් කරන ලද උපකරණාදිය විනාශ වූ කල්හි ද බොහෝ කායික චෛතසික දුඃඛයෝ වෙත්. මේ සියල්ල බතින් උපදවන්නා වූ දුඃඛ දුඃඛයයි.

මේ බත සම්බන්ධ දුඃඛ දුඛයයි.

මෙසේ බතින් ප්‍රයෝජන ගනු කැමති සත්ත්ව තෙම ඉන් වෙන් විය නො හැකිව සිටින තෙක් ආත්මයක් පාසා කියන ලද දුඃඛත්‍රයෙන් බත විසින් පීඩා කරනු ලබන්නේ ය.

මේ උපමාවෙහි සසර හැසිරෙන්නා වූ පෘථග්ජන සත්ත්ව තෙම ගොවියා මෙන් දතයුතු. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, ආත්ම භාවයන් සම්බන්ධ අලුත් අලුත් වූ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභය පිණිස දානමය කුශල කර්මයන් රැස් කිරීමට ප්‍රයත්න කිරීමය, ශීලමය කුශල කර්මයන් රැස් කිරීමට ප්‍රයත්න කිරීමය, මහද්ගත ධ්‍යාන උපදවා ගැනීමට ප්‍රයත්න කිරීමය යන සංස්කාර දුඃඛයෝ බීජ ධාන්‍ය රැස් කිරීම, සී සෑම, වැපිරීම යන ආදිය සඳහා කළ යුතු වූ ප්‍රයත්න සමූහය නමැති සංස්කාර දුඃඛය මෙනි. අතීත කුශල කර්ම බලයෙන් හට ගත්තා වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයෝ පිස නිමවන ලද බත මෙනි.

භවයෙහි පිළිසිඳ ගැනීමෙන් පසු සත්ත්වයන්ගේ ස්කන්ධ බිඳී මරණයට පැමිණිය හැකි හේතුවක් හමුවී නම් කවර පැයක කවර මොහොතක වුවත් බිඳී මරණයට පැමිණෙන්නා වූ ස්වභාවය ස්කන්ධයන්හි නිරතුරුව පවත්නේ ය. එබැවින් මරණයට පමුණුවන්නා වූ හේතුවක් හමු වූ වහා ම මරණයට පැමිණීමය, නා නා විධ රෝග හට ගැනීම හා දිරීමය, බිඳිය හැකි හේතුවක් හමුවූ කල්හි එයින් ආරක්‍ෂා කර ගැනීම පිණිස වෙහෙසීමය යන ආදි ස්කන්ධයන් සම්බන්ධ විපරිණාම දුඃඛයෝ බත සම්බන්ධ විපරිණාම දුඃඛයන් හා සසඳා දතයුතු. සංස්කාර දුඃඛ විපරිණාම දුඃඛයන් හා මිශ්‍රව පවත්නා වූ දුඃඛ දුඃඛයෝ බත සම්බන්ධ දුඃඛ දුඃඛයන් මෙන් දත යුතු.

මෙසේ බත විසින් සංස්කාර දුඃඛාදි දුඃඛත්‍රයෙන් භක්තාස්වාදක සත්ත්වයෝ පෙළනු ලබන්නාක් මෙන් ස්කන්ධයන් විසින් ස්කන්ධාස්වාදක සත්ත්වයෝ සංස්කාර දුඃඛාදි දුඃඛත්‍රයෙන් පෙළෙනු ලබත්. ස්කන්ධාස්වාදනයෙන් වෙන් නොවී ඒ පීඩනයෙන් ඔවුනට කිසිසේත් මිදිය නොහේ. එහෙයින් ස්කන්ධයන්ගෙන් ලැබෙන්නා වූ පීඩනයට බිය වූ පීඩනය පිළිකුල් කරන්නා වූ සත්ත්වයන්ට ඉන් මිදීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන්හි පිළිසරණක් ලැබිය හැකි නොවේ. ඔවුන්ගේ නිරෝධය වූ අසංස්කෘත නිර්වාණ ධාතුව ම ඒ ස්කන්ධයන්ගෙන් මිදිය හැකි එක ම පිළිසරණය වේ. මේ සුඛ සෝමනස්ස වේදනා විරහිත වූ ප්‍රීති රහිත වූ ශාන්ති සුඛය ම ඒකාන්ත සුඛය බව “පඤ්චක්ඛන්ධා දුක්ඛා” යන භාවනා පදයාගේ වශයෙන් දැක්වීමයි.