පුනරුත්පත්තිය

star_outline

භවයෙහි නැවත නැවත ඉපදීමට හේතුවන්නා වූ තෘෂ්ණාව නමැති තෙත් ගතිය අර්හත් මාර්ගඥාන සඞ්ඛ්‍යාත ගින්නෙන් වියළවා නො හැරියා වූ සත්ත්වයෝ මරණින් මතු කර්මානුකූලව යම් කිසි භවයක ඒකාන්තයෙන් උපදින්නාහු ය. ඒ බව තේරුම් ගැනීමට යට අභිනව සත්ත්වයන් නූපදින බව දැක්වීම සඳහා කියන ලද කරුණු ම ප්‍රමාණ වෙයි. එහි සත්ත්වයෝ අතීතයෙහි ඉපිද සිටියවුන් බව හේතු සහිතව දක්වා ඇත. එයින් අනාගතයෙහි ද එසේ ම උපදින බව තේරුම් ගත හැකි වේ. එබැවින් පුනරුත්පත්තියක් ඇති බව ඔප්පු කිරීම සඳහා මෙහි කරුණු නො දක්වා එය සිදුවන සැටි පමණක් සැකෙවින් දක්වනු ලැබේ.

කම්මා විපාකා වත්තන්ති - විපාකො කම්මසම්භවො

තස්මා පුනබ්භවො හොති - එවං ලොකා පවත්තති.

මේ පුනරුත්පත්තිය සිදුවන හැටි දැක්වීම සඳහා පෞරාණිකාචාර්‍ය්‍යයන් වහන්සේලා විසින් කියන ලද ගාථාවකි. එහි අර්ථය මෙසේ යි,

කම්මා, කර්මය හේතු කොට ගෙන; විපාකා, විපාකයෝ; වත්තන්ති, පවතිත්; විපාකො, විපාකය තෙම; කම්මසම්භවො, කර්මය ප්‍රභවකොට ඇත්තේය හෙවත් කර්‍මයෙන් හට ගත්තේ ය; තස්මා, එහෙයින්; පුනබ්භවො, නැවත ඉපදීම; හොති, වේ; එවං, මෙසේ; ලෝකෝ, ලෝකය තෙම; පවත්තති, පවතී.

මෙයින් කර්ම හේතුවෙන් විපාක ඇති වීමෙන් පුනරුත්පත්තිය සිදුවන බව දක්වන ලදී. එය සිදු වන ක්‍රමය වනාහි චුතූපපාතඤාණයයි කියන ලද සත්ත්වයන්ගේ ච්‍යුති උත්පත්ති දෙක දක්නා වූ නුවණැත්තන්ට මුත් සෙස්සන්ට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැකිය හැකි නොවේ. එබඳු නුවණක් නැත්තවුන් විසින් උන්වහන්සේලාගේ දේශනානුසාරයෙන් අනුමාන වශයෙන් තේරුම්ගත යුතු. එහි පිළිවෙළ සුඛාවබෝධය සඳහා මනුෂ්‍යන්ගේ වශයෙන් මෙහි දක්වනු ලැබේ. ඒ මෙසේ යි,

එක් සත්ත්වයකුගේ ශරීරයෙහි කර්මය, චිත්තය, සෘතුවය, ආහාරය යන ප්‍රත්‍යය සතරෙන් නිපදවන ලද රූප ධාතු සතර කොටසක් පවතියි. එයින් කර්මජ රූපයෝ ඇසට නො පෙනෙන්නා වූ ඉතා සියුම් වූ රූප කොටසකි. ඒවා ඉතිරි රූප කොටස් තුනේ ද ආධාරය ඇතිව ම පවත්නාහු ය. සත්ත්වයාගේ ප්‍රධාන කොට්ඨාසය වූ චිත්ත පරම්පරාව වනාහි කර්මජ රූප කොට්ඨාසයට අයත් රූපයන් ඇසුරු කොට පහන් වැටිය ඇසුරු කොට පවත්නා වූ ප්‍රදීපයක් සේ පවතී. යම් කලෙක වාත පිත්තාදි දෝෂයන් නිසා හෝ ශස්ත්‍ර ප්‍රහාරාදි අන්තරාවක් නිසා හෝ ශරීරගත ධාතූන් අතිශයින් කුපිතව සන්ධි බන්ධන සිඳීම් ආදි වූ දිවි පැහැර ගන්නා වූ ඉවසිය නො හැකි වූ බලවත් වේදනා උපදවන්නාහු නම් එකල්හි සෙසු රූපයෝ කර්මජ රූපයන්ට අනුග්‍රහ කිරීමට අසමර්ථ වෙති. එතැන් පටන් පරම්පරා වශයෙන් නො සිඳී පැවත ආවාවූ කර්මජ රූප සන්තතීන්හි අභිනව අභිනව රූප ඉපදීම නවතී. පුරාණ වූ කර්මජ රූප පමණක් නිවීයාමට ආසන්න වූ ප්‍රදීපශිකාවක් මෙන් ඉතා දුර්වලව පවතී. එකල්හි සත්ත්වයාගේ චිත්ත සන්තතිය මඳ වේලාවකින් ම නිරුද්ධ වී සිඳී යන්නට තිබෙන ඉතා දුර්වල වූ හෘදය වස්තුව, රූපයක් ඇසුරු කොට ගරුකාදි චතුර්විධ කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් විසින් වටහවන ලද කර්ම, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් යම් කිසිවක් අරමුණු කොට පවතී.

මෙහි කර්මය නම්, ස්වසන්තානයෙහි අතීතයෙහි උපන් කුශලාකුශල චේතනාවෝ ය. කර්ම නිමිති නම්, කුශලාකුශල කර්මය කිරීමට උපකරණ වූ දාන වස්තු, චෛත්‍ය, ප්‍රතිමා ආදිය හා කඩු, තුවක්කු, දුනු, දඬු මුගුරු ආදියයි. ගතිනිමිත්ත නම්, තමා උපදින්නා වූ ස්ථානයෙහි තිබෙන යම්කිසි දෙයකි. එය වැටහෙන කල්හි දෙව්ලොව උපදින්නා වූ සත්ත්වයන්ට දිව්‍යවිමාන, දිව්‍යරථ, දිව්‍ය උද්‍යාන, කල්පවෘක්‍ෂ ආදිය ද මිනිස්ලොව උපදින්නා වූ සත්ත්වයන්ට මාතෘ ගර්භය ද, නරකයෙහි උපදින්නන්ට නිරයගිනි නිරයපාලාදීන් ද, ප්‍රේතයෝනියෙහි හා තිරිසන් යෝනියෙහි උපදින්නා වූ සත්ත්වයන්ට පර්වත ආරණ්‍යාදිය ද ගතිනිමිත්ත වශයෙන් වැටහේ. මෙසේ වැටහීමෙන් අතීතයෙහි කරන ලද පුරාණ කර්ම අළුත් වෙයි. කර්මාදීන් අතුරෙන් යම්කිසිවක් නො වැටහී මරණයට පැමිණෙන්නා වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලාගෙන් අන්‍ය සත්ත්වයෙක් නැත්තේ ය. මෙය ඇතැම් කෙනකුට මරණයට ඉතාමත් ආසන්නව ද ඇතැම් කෙනකුට මරණයට පැය ගණනකට හෝ දවසකට දෙකකට හෝ පූර්වයෙහි ද වැටහේ. කිනිහිර පිට තබා මිටියෙන් තළා මරණ ලද මැස්සා වුවත් මේ තුනෙන් එකක් වැටහීමෙන් පසුව ම මරණයට පැමිණේ.

එක රූපයකට ඇත්තා වූ ආයුෂය චිත්තක්ෂණ සතළොසකි, හෙවත් සිත මෙන් සතළොස් ගුණයකි. එබැවින් ඔහුගේ සන්තානයෙහි අන්තිමයෙහි උපන් හෘදය වස්තු රූපය ඇසුරු කොට සිත් සතළොසක් උපදියි. ඉන් පසු ඔහුගේ සන්තානයෙහි සිතට නිශ්‍රය වීමට වස්තුවක් නැති බැවින් සිත් පහළ නො වෙයි. එකල්හි සත්ත්වයා මළේය යි කියනු ලැබේ. මේ අවස්ථාවේදී ඔහු තුළ පැවත ආවා වූ සිත් පරම්පරාව නිශ්‍රය වස්තුවක් නැති බැවින් සිඳී යා යුතු නමුත් චිත්ත පරම්පරාව රූප ධාතූන්ට අසමාන වූ ධාතු සමූහයක් වූ බැවින් හෘදය වස්තු රූප නැති වූ නමුත් චිත්තසන්තතිය සිඳී නො යයි. එය නැවක සිටින්නා නැව දියේ ගිලුණේ වී නමුත් අන් කිසිවක් ආධාර කරගෙන සිටින්නාක් මෙන් දතයුතු.

චිත්තෝත්පත්තියට වනාහි නිශ්‍රය වස්තුවෙන් අන්‍ය වූ ද බොහෝ හේතු ඇත. එයින් මේ වේලාවේදී මැරෙන සත්ත්වයා විසින් රැස් කරන ලද කුශලාකුශල කර්මයෝ ද ඔහුගේ සන්තානයෙහි අනුසය වශයෙන් පවත්නා වූ අවිද්‍යා තෘෂ්ණා දෙක ද යන මොවුහු චිත්ත සන්තතිය සිඳී යන්නට නො දෙත්. කෙසේද යතහොත්? චුතවන සත්ත්වයාට ඔහුගේ සන්තානයෙහි අනුසය වශයෙන් පවත්නා වූ අවිද්‍යාතොමෝ භවයෙහි ඇත්තා වූ දෝෂය වසන්නීය.

තෘෂ්ණාව වසන ලද ආදීනව ඇත්තා වූ භවය කෙරෙහි චිත්ත සන්තතිය නමවන්නීය. මරණාසන්නයෙහි පැවති ජවන චිත්ත සහගත සංස්කාරයෝ තෘෂ්ණාවෙන් නමවන ලද චිත්ත සන්තතිය අභිනව භවයට පමුණුවති. එකල්හි මරණාසන්නයෙහි තමාගේ ස්වරූපය හෝ කර්ම නිමිත්ත ගති නිමිත්තයන් හෝ දක්වමින් විපාක දානයට ඉදිරිපත් වී තිබූ කර්මය විපාකදීම් වශයෙන් හෘදය වස්තු රූප නිරෝධයෙන් පසු පහළවන්ට තුබූ සිත යම්කිසි තැනක කර්ම හේතුවෙන් ම පහළ වූ අභිනව හෘදය වස්තු රූපයක් ඇසුරු කොට උපදී. ඊට භව දෙක සම්බන්ධ කිරීම් වශයෙන් උපන් බැවින් ප්‍රතිසන්ධි චිත්ත යයි කියනු ලැබේ. ඒ මේ ප්‍රතිසන්ධි චිත්තය අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණියා නොව අතීත කර්මය නිසා වර්තමාන භවයෙහි ම හට ගත්තා වූ ධර්මයකි. එය පහළ වූ පසු සත්ත්වයා භවාන්තරයට පැමිණියේයැයි කියනු ලැබේ. මෙසේ නොවී මිය ගියා වූ තැනැත්තාගේ ශරීරයෙන් ආත්මයක් හෝ අන් කිසිවක් හෝ අභිනව භවයට යාමෙන් සත්වෝත්පත්තියක් සිදු නොවේ. එහෙයින් කියන ලදී.

“ලද්ධප්පච්චයමිති ධම්ම මත්තමෙතං භවන්තර මුපෙති,

නාස්ස තතො සංකන්ති න තතො හෙතුං විනා හොති” යි.

එහි තේරුම නම්:- ලබන ලද ප්‍රත්‍ය ඇත්තා වූ ප්‍රතිසන්ධි චිත්තය නමැති ධර්ම මාත්‍රය ම භවාන්තරයට පැමිණේ. අතීත භවයෙහි සිටියා වූ සත්ත්වයාගේ වර්තමාන භවයට ඒමක් නැත්තේ ය. අතීත භව පර්යාපන්න හේතුවෙන් වෙන්ව වර්තමාන භවයෙහි උපදින්නේ ද නොවේය යනුයි.

අතීතභව පර්යාපන්න ස්කන්ධයන්ගෙන් කිසිවකුත් නො පැමිණ වර්තමාන භවයෙහි අභිනව වස්තු රූපයක් ආශ්‍රය කොට ප්‍රතිසන්ධි විඥානය පහළවේයයි කී කල්හි පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය නො දන්නා වූ තැනැත්තන්ට එය අතීත භවයෙහි වූ සිත් හා අසම්බන්ධ වූවකැයි සිතිය හැකි වේ. නමුත් එක භවයක උපදින්නා වූ සිත්වල යම් බඳු වූ අන්‍යෝන්‍ය සම්බන්ධයක් වේ නම් එය අතීත භව පර්යාපන්න චිත්තයන් හා වර්තමාන භව පර්යාපන්න චිත්තයන්හි ද ඇත්තේ ය. එක භවයකදී උපදින්නා වූ සිත් ද එකක් නිරුද්ධ වූවාට පසුව ම අනික උපදින බැවින් ඒ සිත්වල එකට බැඳී එකට සැපී පවත්නා වූ සම්බන්ධයක් නැත්තේ ය. ඔවුන්ගේ ඇත්තා වූ සම්බන්ධය නම් එකක් නිරුද්ධ වූ වහා ම ඒ අතර කාලයක් ගත වන්නට නො දී අතීත චිත්තයන්ගෙන් ප්‍රත්‍යය ලබා ඒ පරම්පරාවට අයත්ව ඉපදීමයි. එසේ පවත්නා සම්බන්ධය අතීත භවයාගේ අන්තිම චිත්තය වූ චුති චිත්තයේ වර්තමාන භවයාගේ පළමුවන සිත වූ ප්‍රතිසන්ධි චිත්තයේ ද වෙනසක් නැතිව ඇත්තේ ය. චුති චිත්තය නිරුද්ධවීමෙන් පසු එය උපන් ස්ථානයෙන් යොදුන් කෝටියක් ඈත් වූ තැනක ප්‍රතිසන්ධි සිත පහළ වුවත් ඊට ගතවන කාලය එක භවයකදී එක සිතක් නිරුද්ධ වූවාට පසු අන් සිතක් පහළ වීමට ගත වන්නා වූ කාලය ම ය. එබැවින් වර්තමාන භවයෙහි අතීත භවයෙන් කිසිවක් නො පැමිණ පහළ වන්නා වූ ප්‍රතිසන්ධිය අතීතභව පර්‍ය්‍යාපන්න චිත්ත පරම්පරාවට අයත් බව දතයුතු.

මෙසේ අතීත භවයෙන් කිසිවක් නො පැමිණ වර්තමාන භවයෙහි අභිනව ස්කන්ධ පහළ වූ කල්හි වර්තමාන භවයේ සිටින පුද්ගලයා අතීත භවයේ සිටි පුද්ගලයා ම ද නැතහොත් අනිකෙක් ද? යන ප්‍රශ්නය මෙහි ඇසිය යුතුව තිබේ. එය පෞරාණිකාචාර්‍ය්‍යවරයෝ ප්‍රතිබිම්භාදි උපමාවලින් විසඳූහ. ඒ මෙසේ ය, ප්‍රතිබිම්භය නම්: කැඩපත් ආදියේ පෙනෙන ඡායාවයි. කැඩපතෙහි පෙනෙන මුහුණේ ඡායාව මුහුණෙන් අන්‍ය වූ කැඩපතේ ම පහළ වූ දෙයකි. නමුත් එය මුහුණ නිසා ම පහළ වන බැවින් හා මුහුණ හා සමාන බැවින් ද මුහුණෙන් අන්‍ය වස්තුවක් ද නොවේ. එබැවින් කැඩපත් වලින් මුහුණ බලන්නෝ කැඩපතේ පෙනෙන සෙවනැල්ල තමාගේ මුහුණ යයි ම සලකති. එබැවින් කැඩපතේ පෙනෙන ඡායාව මුහුණ බලන තැනැත්තාගේ මුහුණ ම ය කියා හෝ නොවේය කියා හෝ කිව හැකි නොවේ. එපරිද්දෙන් ම වර්තමාන භවය සම්බන්ධ ස්කන්ධයෝ අතීත භවයෙහි ස්කන්ධයෝ නොවෙති. නුමුත් අතීත භවයෙහි ස්කන්ධයන් නැති වී නම් වර්‍තමාන භවයෙහි ද ස්කන්ධයන් නැති බැවින් වර්තමාන ස්කන්ධයන් අතීත ස්කන්ධයන් නිසා ම හටගත් බැවින් ඒකාන්තයෙන් ඒවායින් අන්‍ය වූ ස්කන්ධයෝ ද නො වෙති. එබැවින් වර්තමාන භවයෙහි සිටි පුද්ගලයා ඒකාන්තයෙන් අතීත භවයේ සිටි පුද්ගලයා ම ය කියා හෝ අන්‍යයෙක්ය කියා හෝ කියහැකි නොවේ.

මෙසේ ඒකාන්තයෙන් ඒකත්වයක් හෝ නානත්වයක් ලැබිය හැකි නො වීම හේතූන්ගේ හෝ හේතුඵලයන්ගේ ද ස්වභාවයයි. ඉදින් හේතුව හා ඵලය ඒකාන්තයෙන් එකක් ම වේ නම් :- කිරෙන් හට ගත්තා වූ දී හා කිරි එක ම වර්ගයක් විය යුතු වේ. නුමුත් එසේ නොවේ. කිරි අනිකකි. දී අනිකකි. කිරිවල දී ද, දී වල කිරි ද නැත්තේ ය. ඉදින් ඒ දෙවර්ගය ම එක නම් :- එක ම ස්වභාවයකින් තිබිය යුතු වේ. කිරිවල දී වල තිබෙන ස්වභාවය ද, දී වල කිරි ස්වභාවය ද නැති බැවින් කිරි හා දී ඒකාන්තයෙන් දෙවර්ගයකි. කිරි උණුකොට භාජනයක තැබූ කල්හි පසුදින එහි දී තිබේ. ඉදින්, ඒවා ඒකාන්තයෙන් කිරි නොවේ නම්:- දී, කිරි අයිතිකාරයාගේ නොවේයයි කිවයුතු වේ. එසේ කීම ද ලෝක ව්‍යවහාරයට විරුද්ධ බැවින් කිරි හා දීවල ඒකාන්ත ඒකත්ව නානත්වයක් නො ලැබෙන බව දතයුතු. මේ නයින් සකල හේතු, හේතු සමුප්පන්න ධර්මයන්ගේ ස්වභාවය දැන වර්තමාන භවයෙහි පුද්ගලයා අතීත භවයෙහි සිටි පුද්ගලයා ම හෝ ඔහුගෙන් අන්‍යයෙක්

හෝ නො වන බව තේරුම් ගත යුතු. මෙසේ නොව වර්තමාන අතීතස්කන්ධයන්ගේ ඒකාන්ත ඒකත්වය කියත හොත් අතීත භවයෙන් ස්කන්ධ වර්තමාන භවයට නො ආ බැවින් එය අසත්‍යයක් වේ. ඒකාන්ත නානත්ත්ව වශයෙන් සලකතහොත් අනෙකෙක් කරන ලද කර්මයාගේ ඵලය අනිකකුට වේය යන දෝෂය වේ.

තවද අතීත භවයෙන් වර්තමාන භවයට ආවා වූ කර්මඵලය ලබන්නා වූ ආත්මයක් හෝ පුද්ගලයෙක් හෝ නොමැති නම්; කර්මඵලය කවරෙකුට වේද, කවරෙක් කර්මයෙන් ජනිත සැපදුක් විඳීද යතහොත් කර්ම ඵලය ලබන්නා වූ ස්කන්ධයන්ගෙන් අන්‍ය වූ කිසිවෙක් නැත්තේ ය. යම් සේ රථාවයව සමූහයට රථයයි ද, ගෘහාවයව සමූහයට ගෘහයයි ද, ව්‍යවහාර කරනු ලැබේ ද? එපරිද්දෙන් ම ස්කන්ධ සමූහයට ම සත්ත්වයාය පුද්ගලයායා යි කියනු ලැබේ. එබැවින් අතීත කර්ම හේතුවෙන් වර්තමාන භවයෙහි ස්කන්ධ පහළ වූ කල්හි ඒවාට කර්ම ඵලය ලබන්නා වූ කර්මඵලයේ

ස්වාමියා යයි කියනු ලැබේ. එබැවින් ස්කන්ධයන්ගෙන් අන්‍ය වූ කර්මඵලයට ස්වාමී වූ පුද්ගලයෙක් සොයන්නට නො යා යුතු. ගස්වල හට ගන්නා වූ ගෙඩි වනාහි ගස් වල ම කොටසකි. නුමුත් ගසක ගෙඩි හට ගත් කල්හි ගස පලගත්තේයයි ද පල දරනවායයි ද කියනු ලැබේ. එපරිද්දෙන් ම පුද්ගලයාය, සත්ත්වයාය, මනුෂ්‍යයාය, දෙවියාය යි කියනු ලබන්නා වූ ස්කන්ධ සමූහවල කොටස් වූ සුඛ වේදනා දුඃඛ වේදනාවන් හට ගත් කල්හි සත්ත්වයා සැපදුක් විඳීය පුද්ගලයා සැපදුක් විඳීයයි කියනු ලැබේ. මෙතෙකින් පුනරුත්පත්ති ක්‍රමය සැකෙවින් දක්වන ලදී.

මේ ක්‍රමයෙන් කාම, රූප, අරූප, සඞ්ඛ්‍යාත ලෝකත්‍රයෙහි වාසය කරන්නා වූ පහ නො කරන ලද තෘෂ්ණාව ඇත්තා වූ සෑම සත්ත්වයන්ගේ ම ච්‍යුතිප්‍රතිසන්ධි දෙක නො නැවතී නිවනට පැමිණෙන තෙක් සිදු වේ. උපන් සත්ත්වයා මරණයට ද මරණයට පැමිණි සත්ත්වයා ඉපදීමට ද පැමිණෙන බැවින් ස්කන්ධයන්ගේ පැවැත්ම චක්‍රයක් වැනි වූ හෙයින් ඊට සංසාර චක්‍රයයි කියනු ලැබේ. ආදියක් නැත්තා වූ මේ සංසාර චක්‍රයට අසුවී ඉපදීම්, නැසීම් වශයෙන් නැවත නැවත පෙරළෙමින් සිටීම ඒකාන්තයෙන් මහත් වූ දුඃඛයකි. එබැවින් මේ සංසාර චක්‍රය සිඳ නිවනට පැමිණීමට සියල්ලන් විසින් උත්සාහ කළ යුතු.

මෙතෙකින් ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල යතිවරයන් විසින් ලියන ලද පුනරුත්පත්ති ක්‍රමය නිමි.

චිරං තිට්ඨතු සද්ධම්මො.