නිවන් යාමෙන් සත්ත්වයන් අඩුවී ලෝකය හිස්වන නොවන බව

අභිනව සත්ත්වයන් පහළ නොවෙත් නම් පුරාණ සත්ත්වයන් නිවනට පැමිණීමෙන් ක්‍රමයෙන් සත්ත්වයන් අඩුවී දීර්ඝ කාලයකින් ලෝකය හිස් නො වන්නේ ද යනු සත්ත්වයන් සම්බන්ධව බොහෝ දෙනෙක් අසනු ලබන්නා වූ ගැඹුරු ප්‍රශ්නයකි. ඊට දිය යුතු පිළිතුර නම් කවර කලෙක වත් සත්ත්වයන් අඩුවී ලෝකය හිස් නො වන්නේ ය කියායි. මේ පිළිතුර යට දැක්වූ පටන් ගැනීම නැති බව මෙන් ම එක පක්‍ෂයකට අනුව කල්පනා කරන්නා වූ තැනැත්තාට අසත්‍ය සේ වැටහේ.

ලෝකයෙහි ප්‍රමාණයක් ඇත්තා වූ ද නැත්තා වූ ද ස්වභාවධර්‍ම දෙකොටසක් වෙති. එයින් මහ පොළොව මහ සමුදුර මෙරගල ආදිය ප්‍රමාණවත් වස්තූන්ගේ පක්‍ෂයෙහි විශාල වස්තු වෙති. ඒවා කොපමණ මහත් වූ නමුත් සැතැප්ම ගණනින් මෙතෙක් සැතැප්මය යොදුන් ගණනින් මෙතෙක් යොදුන් යයි ප්‍රමාණයක් ඇති බැවින් ඒවායින් අවුරුදු දහසකට ඇබැටක් පමණ කොටසක් බැගින් අඩුකළත් නො වැඩී පවත්නාහු නම් දීර්ඝ කාලයකින් ඒවා සම්පූර්ණයෙන් ම නැතිවන්නාහු ය. ප්‍රමාණවත් වස්තූන් නමැති එක පක්‍ෂයකට අනුව සත්ත්වයන් ගැන කල්පනා කරන්නා වූ තැනැත්තා සත්ත්වයෝ කොපමණ සිටියත් ඔවුන්ගෙන් අවුරුදු දහසකට ලක්‍ෂයකට එකෙක් බැගින් නිවන් ගියත් මහ පොළොව මහ සමුදුර ආදිය මෙන් කාලාන්තරයකින් අවසන් වන්නාහුයයි වරදවා සිතා ගනී. සත්ත්වයෝ අනන්ත වෙති. ඔවුන්ගේ පරිච්ඡේදයක් ප්‍රමාණයක් නැත්තේ ය. ප්‍රමාණයක් නැත්තා වූ අනන්ත පක්‍ෂයෙහි වූ ස්වභාවයන්ගේ අඩුවැඩි වීමක් අවසන් වීමක් නැත්තේ ය. ඒ බව මෙසේ තේරුම් ගත යුතු. පටන් ගැනීමක් නැති බැවින් අතීත කාලය ද අවසානයක් නැති බැවින් අනාගත කාලය ද අනන්ත වෙයි. ඒ කාල දෙකින් වඩා දීර්ඝ කාලය කුමක්දැයි සොයතහොත් දෙක ම දීර්ඝ ප්‍රමාණයෙන් සමයයි පිළිගත යුතු වේ. අතීතය අනාගතයට වඩා හෝ අනාගතය අතීතයට වඩා හෝ දිගය කියා හෝ කොටය කියා හෝ කිව හැකි නොවේ.

මහපොළොව ආදි ප්‍රමාණවත් වස්තූන්ට අනුව කියතහොත් එයින් එකක් දිගයයි ද අනික කොට යයි ද කිව යුතු වේ. කුමක් හෙයින්ද යතහොත් මොහොතක් පාසා ම වර්‍තමානකාලය ඉක්ම ගොස් අතීත කාලයට ඇතුළත් වීම හා අනාගත කාලය වර්‍තමාන භාවයට පැමිණීම ද සිදුවන බැවිනි. මෙසේ අතීත කාලයාගේ වැඩීම හා අනාගත කාලයේ කොට වීම මොහොතක් පාසා සිදුවන නමුත් සෑම කල්හි ම අතීතය පමණ වූ අනාගත කාලය ඇත්තේ ය. අනාගත කාලය අද යම් පමණ නම් මින් වර්ෂ කෝටියක් ගතවී ලබන දිනයෙහි ද ප්‍රකෝටියක් ගතවී ලබන දිනයෙහි ද එපමණ ඇත්තේ ය. අනාගතය අඩුවී අවසන් වී යාමක් කවර කලෙකවත් නොවන්නේ ය. මේ අනන්ත ධර්මයන්ගේ ස්වභාවය යි. තවද ආකාශය ද අනන්ත වූවකි. එබැවින් එහි කොතැනක සිට කථා කළත් එතැන සිට දස දිගට ම අනන්ත වශයෙන් සමව අවකාශය ඇත්තේ ය. එතැන සිට යම්කිසි ඍධිමතෙක් විනාඩියකට යොදුන් ලක්‍ෂයක් යන්නා වූ වේගයෙන් වර්ෂ ලක්‍ෂයක් එක දිශාවක් බලා ගමන් කොට පැමිණි තැන සිට කථා කළත් ඔහු බොහෝ දුර ගියේ ය කියා ඔහුගේ ඉදිරියේ තිබෙන ආකාශයේ අඩුකමක් හා පසුභාගයේ තිබෙන ආකාශයේ වැඩිකමක් ද නොවේ.

දෙපසෙහි අනන්තභාවයෙන් සමව ම ආකාශය තිබේ. කවර කලෙකවත් එහි කොනකට නොපැමිණේ. ප්‍රමාණය ඇත්තා වූ වස්තුවක යමෙක් මෙසේ ගමන් කළේ නම් ඒ වස්තුවේ ඔහුගේ පිටිපස තිබෙන ප්‍රදේශය මහත්වීම හා ඉදිරියේ තිබෙන ප්‍රදේශය කුඩා වීම ද පියවරක් පාසා සිදු වේ. අනන්ත වස්තු එසේ අඩු වැඩි නොවී සමව පවතිත්. සත්ත්වයෝ ද මේ කාල ආකාශයන් මෙන් අනන්ත වෙති. සත්ත්වයන් තබා ඔවුන්ගේ වාසස්ථාන වූ සක්වළවල් ද අනන්තයහ. එක එක සක්වළක සත්ත්වයන්ගේ ද ප්‍රමාණයක් නැත්තේ ය. එබැවින් මුළු ලෝකයේ ම සත්ත්වයන්ගේ අනන්ත බව කියනු කිම. සත්ත්වයන් අනන්ත බැවින් කොපමණ නිවන් ගියත් කාල ආකාශයන් මෙන් ඔවුන්ගේ අඩුවීමක් නොවේ. සම්පූර්ණයෙන් හිස්වීම ගැන කියනුම කිම. මෙසේ අනන්ත සත්ත්වයන්ගේ අඩු නොවීම අනන්ත වස්තූන් හා සසඳා තේරුම් ගත යුතු.

මෙසේ නොව පෘථිවි සාගරාදි ප්‍රමාණවත් වස්තූන්ට අනුව සිතා මේ කාරණය තේරුම්ගත නොහේ. ප්‍රමාණවත් වස්තූන් අඩුවන බැවින් අනන්ත සත්ත්වයනුත් අවසන් වෙත්යයි කියතහොත් එය පරඬල් ලබුකටු ආදිය දියේ පාවෙන බැවින් කළුගලුත් පාවිය යුතුයයි කීම වැනි ලාමක කීමකි. එබැවින් කිසි කලෙක සත්ත්වයන් අඩුවී ලෝකය හිස් නො වන බව දතයුතු.