ස්කන්ධයන් හා සත්ත්ව පුද්ගලයන්ගේ නැත්තා වූ නිවන ඇතැම් අයට නිෂ්ඵල වූවක් මෙන්ද ඇතැම් අයට එහි පැමිණිය හොත් මා නැති වේ යැ යි මහා භය ජනක වූවක් මෙන් ද වැටහේ. ස්කන්ධයන් හා සත්ත්ව පුද්ගලයන් නිවනෙහි නොමැති නමුත් යට දක්වන ලද අගය කළ නො හැකි ශාන්ති සුඛය සත්ත්වයන්ට ම අයිති වේ. සත්ත්වයන්ගේ එක ම ප්‍රතිෂ්ඨාව වේ. ඒ මෙසේ යි: ලෝකයෙහි රෝගයයි ව්‍යවහාර කරනු ලබන්නේ ශරීරයේ ම දුක් උපදවන්නා වූ කොටස් වලටය. ශරීරයේ කොටසක් වූ මස් හා ලේ වලට ගණ්ඩ (ගෙඩි) යයි ද කුෂ්ට යයි ද ව්‍යවහාර කරනු ලැබේ. ශරීරයේ කොටසක් වූ උෂ්ණත්වයට උණ යයි කියනු ලැබේ. ශරීරයේ කොටසක් වූ වාතයට වාත රෝගයයි කියනු ලැබේ. රෝග වනාහි ඒකාන්තයෙන් දුඃඛයෝ ම ය. රෝගියෙකුට රෝග දුඃඛයෙන් මිදීමට ඇති එක ම ප්‍රතිෂ්ඨාව නම් රෝගයාගේ අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍ය ම ය. රෝග යම්තාක් පවතිත් නම් ඒ තාක් ආරෝග්‍ය ලැබිය නොහේ. එහෙයින් රෝගීව දුක් උපදවමින් පවත්නා වූ ශරීරයේ සමහර කොටස් වූ මස් ලේ සැරව සෙම ආදියේ අභාවප්‍රාප්තිය රෝගීන්ට වන මහත් වූ ශාන්ති සුඛයක් බව ද එය ම රෝගීන්ට ඇති එක ම ප්‍රතිෂ්ඨාව බව ද සියල්ලෝ ම පිළිගනිත්. ඉදින් රෝග සඞ්ඛ්‍යාත ශරීර කොට්ඨාසයක අභාවප්‍රාප්තිය යහපතක් නොවේ නම් රෝගීව විසීම ම යහපතක් විය යුතු වේ.
යමකුගේ අතක් කුණුවී ඇතුළත පිටත පණුවන්ගෙන් ගැවසී මහත් දුක් උපදවමින් පවත්නේ නම් ඔහුට ඉන් මිදිය හැක්කේ රෝග භූත හස්තයේ අභාවප්‍රාප්තියෙන් ම ය. ඔහුට ඒ අත නැතිවීම දුඃඛයක්යැයි කියත හොත් මහත් දුක් උපදවන්නා වූ පණුවන්ගෙන් ගැවසී ගත් අත නමැති රෝගය තබා ගෙන සිටීම ම සුවයක් විය යුතු වේ. එය ඒකාන්තයෙන් දුඃඛයක් හෙයින් අතේ අභාවය ඔහුට වන මහත් ශාන්ති සුවයක් බව ද ඒ ඔහුට ඇති එක ම ප්‍රතිෂ්ඨාව බව ද දතයුතු.
එක් අයෙකුගේ ශරීරයේ ලාදුරු නම් වූ දරුණු රෝගය වැළඳී ඇතුළත පිටත පණුවන් විසින් විදින ලදුව මහත් දුක් උපදවමින් පවත්නේ ය. මොහුට පැමිණ පවත්නා වූ දුඃඛය වනාහි නිරය දුඃඛය වැනි දරුණු දුඃඛයකි. ඔහුට ඉන් මිදිය හැක්කේ රෝගය වී පවත්නා වූ සකල ශරීරයාගේ ම අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍යයෙනි. සකල ශරීරයාගේ අභාවය වනාහි ඔහුට මහත් ශාන්තියකි. ඒ වනාහි යට රාජ්‍යයක් පමණ අගනේ යයි දක්වන ලද හිස රුජා සුවයට වඩා සිය වාරයකින් අගනා ශාන්තියකි. ශරීරයාගේ අභාවප්‍රාප්තියෙන් පසු පුරුෂයෙක් ද නැත්තේ ය. පුරුෂයා නැති හෙයින් ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගණ්ඩ කුෂ්ටාදි රෝග වූ ලේ මස් ආදියේ අභාවය ද යහපත් නොවේ. කුණු වූ අතේ අභාවය ද යහපතක් නොවේ. ඉදින් ඒ ලේ මස් ආදියේ අභාවය ඒ ඒ රෝගීන්ට සුවයක් වේ නම් සකල ශරීරය ම රෝගව පැවති තැනැත්තාට ද ශරීරයාගේ අභාවප්‍රාප්තිය සිය වාරයකින් සුවයක් වන්නේ ම ය. ගණ්ඩාදීන්ගේ අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ති සුඛය ඒ ඒ පුද්ගලයන් ඇති හෙයින් ඔවුන්ට ම වේ. පුද්ගලයා නැති වන මේ ශාන්තිය කවරකුට වේ ද යතහොත්? මෙය ද ඔහුට ම මිස අන්‍යයකුට නොවේ. ශාන්තිය නැතහොත් ඒ මහත් වූ දුඃඛය ඔහු විඳින්නේ ම ය. එහෙයින් දුඃඛය ඇත්තේ යමකුට නම් එහි නිවීම නමැති ශාන්තිය අන්‍යයකුට නොව ඔහුට ම වේ. ඔහුගේ ම ප්‍රතිෂ්ඨාව වේ.
පුද්ගල සත්ත්ව සම්මත ස්කන්ධයෝ වනාහි මෙහි කියන ලද පුරුෂයාගේ ශරීරය මෙන් මහත් වූ දුක් උපදවන්නා වූ රෝගයෝ වෙති. දුඃඛයෝ වෙති. (ඔවුන්ගේ රෝගත්වාදිය සමසතළිස් භාවනා පදයන්ගේ වශයෙන් මතු දක්වනු ලැබේ.) එහෙයින් ඔවුන්ගේ අභාවප්‍රාප්තිය ගණ්ඩ කුෂ්ටාදීන්ගේ හා යටකී පුරුෂයාගේ ශරීරයේත් අභාවප්‍රාප්තිය මෙන් මහත් වූ සුඛයකි. නිර්වාණ සඞ්ඛ්‍යාත නිත්‍ය පරම සුඛය ලැබිය හැක්කේ ඔවුන්ගෙන් වෙන් වීමෙන් ම ය. එහෙයින් නිවනට පැමිණීමෙන් වන ස්කන්ධාභාවය භය විය යුත්තක් නොවේ. රෝග භූත සකල ශරීරයාගේ ම අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ති සුඛය ඒ රෝගියාට අයත් වන්නාක් මෙන් ස්කන්ධ නොමැති මුත් ස්කන්ධ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණ සුඛය ස්කන්ධ දුඃඛය ලැබූ සත්ත්වයා පිළිබඳව ම වේ. මේ ශාන්තිය නැතහොත් දුඃඛය ඇත්තේ ම ය. එහෙයින් සත්ත්වයකු නැති නමුත් එය නිරර්ථක වුවක් නොවේ. සකල ශරීරය ම අභාවයට පැමිණි රෝගියාට ශරීරය නැතත් රෝග සුවය ඒකාන්තයෙන් දුඃඛයෙන් මිදීමට ප්‍රතිෂ්ඨාවක් වූවාක් මෙන් සත්ත්ව පුද්ගල සම්මත ස්කන්ධ නොමැති මුත් නිරුද්ධ වූ ස්කන්ධයන් සම්බන්ධී සත්ත්වයන්ට නිවන ඒකාන්තයෙන් ප්‍රතිෂ්ඨාවක් වේ ම ය. සැඟවී සීටීමට ස්ථානයක් ද වේ. දුඃඛ ධර්ම නමැති සතුරන්ට ඇතුල් විය නො හැකි බලකොටුවක් ද වේ. මෙසේ නිර්වාණය සත්ත්වයාගේ ප්‍රතිෂ්ඨාව වන ආකාරය වැටහෙන පරිදි කල්පනා කළ යුතු.