පඤ්චක්ඛන්ධා රෝගා.

star_outline

“පඤ්චක්ඛන්ධා රෝගා” යන මෙහි රෝගයෝ නම් රිදවන්නා වූ ධර්මයෝ ය. ස්කන්ධයෝ වනාහි තම තමාට අනුරූප සෘතු ආහාරාදි ප්‍රත්‍යය ඇතුව ම යැපෙන්නා වූ ධර්මයෝ වෙත්. යෝග්‍ය වූ ඍතු ආහාරාදි ප්‍රත්‍යයෙන් වෙන් වූවාහු නම් විපරිණාමයට පැමිණ දුක් උපදවන්නා වූ ධර්මයෝ වෙති. යම් සේ ජ්වරාදි රෝගයකින් පෙලෙන තැනැත්තා විසින් එයින් බලවත් දුක් ඉපදවීම වැළැක්වීමට යහපත් වූ ඍතු ආහාරයන් සේවනය කොට යැපිය යුතු වේද, එපරිද්දෙන් ම සත්ත්වයන් විසින් ස්වකීය ස්කන්ධ කය බලවත් වූ දුක් නො ඉපදීම පිණිස ගෙවල් ඇතුලට ඇතුල් කොට තබා යහපත් වූ සෘතු ප්‍රත්‍යය ලං කර දීමෙන් ද, සීතලෙන් පීඩා පැමිණෙන කල්හි ස්කන්ධ කයෙහි වස්ත්‍ර ඔතා (රෙදි පොරවා) උණුසුම් ගතිය නමැති යහපත් වූ ඍතුව ලංකරදීමෙන් ද, එය ම අධික වීමෙන් පැමිණෙන උපද්‍රව වැළැක්වීමට ඝන වස්ත්‍ර ඉවත් කොට සිසිල් සුලඟ ඇති තැනකට පමුණුවා යහපත් වූ සෘතු ප්‍රත්‍යය ලං කර දීමෙන් ද, ආහාරෝපස්තම්භනය නැති කල්හි වන්නා වූ දුක් නැති කිරීමට කය තුළට ආහාර ඇතුල් කිරීමෙන් ආහාර ප්‍රත්‍යය ලංකර දීමෙන් ද, විෂමාහාර ඇතුල් වීමෙන් වන්නා වූ දුඃඛයන් වැළැක්වීමට යහපත් ආහාර කයට ඇතුල් කොට කයට ආහාර ප්‍රත්‍යය ලං කරදීමෙන් ද යැපිය යුතු වේ. මෙසේ යැපිය යුතු හෙයින් ස්කන්ධයෝ රෝගයන් වැනි වෙති. එහෙයින් ම ස්කන්ධයෝ ද රෝගයෝ වෙත්.

යම් සේ ජ්වර රෝගාදි මූල ව්‍යාධිය සීතලය, දාහය, හිස රුජාව ආදි රෝගයන්ට මූල කාරණය වේද එමෙන් ම ස්කන්ධයෝ ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ දෞර්මනස්‍යයන්ට මූලකාරණය වූ බැවින් මූලව්‍යාධියක් හා සදෘශ වූ හෙයින්ද රෝගයෝ වෙත්. ස්කන්ධ පඤ්චක සඞ්ඛ්‍යාත රෝගයාගේ නිරෝධය (සුව වීම) ඒකාන්තයෙන් සුඛයක් වේ ම ය. ඉන් මිදීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන් අතරෙහි කිසි පිළිසරණක් නැත්තේ ය. ඊට පිළිසරණ වූ එක ම ධර්මය නම් ස්කන්ධ නිරෝධය හෙයින් ස්කන්ධ නිරෝධ සඞ්ඛ්‍යාත ශාන්ති සුඛය ම ශ්‍රේෂ්ඨ සුඛය බව දතයුතු. “පඤ්චක්ඛන්ධා රෝගා” යන භාවනා පදයාගේ වශයෙන් ශාන්ති සුඛයාගේ ප්‍රණීතත්වය දැක්වීමයි.

සෙසු භාවනා පද සත්තිසගේ වශයෙන් ද කියන ලද නායානුසාරයෙන් ශාන්ති සුඛයාගේ ම ප්‍රණීත භාවය දත යුතු. ග්‍රන්ථය දීර්ඝ වන බැවින් මෙහි නොදක්වනු ලැබේ.

මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භවයන්ගේ නිරෝධ යයි කියන ලද ශාන්ති සුඛයාගේ අනන්ත ගුණය අවබෝධ වීමට සමසතළිස් භාවනා පදයන්ගේ අදහස් විස්තර වශයෙන් දැන ගැනීමට උත්සාහ කෙරෙත්වා.[1]

ලෝකයෙහි අනිෂ්ඨ විපත්ති ධම් සමූහයක් හා ඉෂ්ට සම්පත්ති ධර්ම සමූහයක් ද ඇත්තේ ය. එයින් ඉෂ්ට සම්පත්ති ධර්මයන්ගේ හට ගැනීම හා වර්ධනය වීම මහත් වූ සුඛයකි. ඔවුන් විනාශ වීම හා ඉන් පිරිහීම දුඃඛයකි. අනිෂ්ට විපත්තීන්ගේ හට ගැනීම මහත් වූ දුඃඛයකි. ඔවුන් විනාශ වීම මහත් වූ සුවයකි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයෝ වනාහි සම සතළිස් භාවනා පදයන්ගේ වශයෙන් බලන කල සඞ්ක්‍ෂේපයෙන් සතළිසක් වූද විස්තාර වශයෙන් අනන්තාපරිමාණ වූද දෝෂයෝ වෙත්. එබැවින් ඔවුන්ගේ පැවැත්ම මහත් වූ දුඃඛයකි. නො පැවැත්වීම මහත් වූ සුඛයකි. එබැවින් සකල ස්කන්ධ දුඃඛයාගේ නිරෝධය වූ විඳිය යුතු සුවයක් නැත්තා වූ අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුව ම පරම සුඛයයි දතයුතු.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ චතුර්ථ පරිච්ඡේදය නිමි.

  1. සමසතළිස් භාවනා පද පිළිබඳ විස්තර රේරුකානේ මහ නාහිමියන්ගේ ම කෘතියක් වන “චත්තාලීසාකාර මහා විපස්සනා භාවනා” පොතෙන් බලන්න.