සත්ත්වයන් මැව්වාය යන දෘෂ්ටිය ඇති වූ සැටි.

මේ සත්ත්වයන් යම් කිසි ඊශ්වරයකු විසින් මවන ලද්දේය යන දෘෂ්ටිය ඉතා දීර්ඝකාලයක පටන් සත්ත්වයන් අතර පැවත එන්නේ ය. එය පළමු කොට බඹලොව බඹුන් අතර පහළ වී එයින් මේ මිනිස් ලොවට ද පැමිණියේ ය. එහි පිළිවෙළ බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වා තිබේ.

ඒ මෙසේයි:-

මේ ලෝකය සෑම කල්හි ම සෙදේ නො පවතී. ඉතා දීර්ඝ කාලයකින් එය නස්නේ ය. එකල්හි මේ සත්ත්වයෝ බොහෝ සෙයින් ධ්‍යානභාවනා කොට ආභස්සර නම් වූ බ්‍රහ්මලෝකයෙහි උපදිති. එහි ඒ සත්ත්වයෝ ප්‍රීතිය ම ආහාර කොට ඇතිවැ, තමාගේ ම ශරීරාලෝකය ආලෝක කොට ඇතිවැ, සිත්කළු වූ වස්ත්‍රාභරණයෙන් සැරසී අලංකාර උද්‍යාන විමාන වල ඉතා දීර්ඝ කාලයක් වෙසෙති. දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් නැවත ලෝකය හට ගන්නා වූ කාලයක් පැමිණේ. එකල්හි පළමු කොට ආකාශයේ එක් ප්‍රදේශයක කිසිවකු නැති බ්‍රහ්ම විමානයක් පහළ වේ. එකල්හි ආභස්සරයෙහි සිටින බ්‍රහ්මයන්ගෙන් කෙනෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ එයින් චුතව අළුත පහළ වූ හිස් වූ බ්‍රහ්ම විමානයෙහි උපදී. ඔහු ආභස්සරයෙහි සිටියාක් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇතිවැ අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී ආකාසයෙන් ගමනාගමනය කරමින් මනෝඥ වූ උද්‍යාන විමානයන්හි හුදකලාව සිට දීර්ඝ කාලයක් ගත වූ කල්හි මා වැනි තවත් සත්ත්වයෝ මේ ලෝකයට පැමිණියාහු නම් මැනවැයි සිතයි.

මෙසේ සිටින අතර ආයුෂය ගෙවුනා වූ ද කර්මය ගෙවුනා වූ ද බ්‍රහ්මයෝ අනුක්‍රමයෙන් ආභස්සරයෙන් චුතව ඔහුගේ බ්‍රහ්ම ලෝකයෙහි උපදිති. ඒ සත්ත්වයෝ ද පළමු උපන් බ්‍රහ්මරාජයා මෙන් ම ප්‍රීතිය ආහාර කොට ආලෝකමත් ශරීර ඇතිව ආකාශචාරීව දීර්ඝ කාලයක් එහි වෙසෙති. මෙසේ සිටින කල ඒ බ්‍රහ්මයන් අතුරෙන් පළමු උපන් බ්‍රහ්මතෙම තමා තවත් සත්ත්වයන් උපදිත්වායි සිතූ බැවින් පසුව උපන් සත්ත්වයන් පහළ වූවායි වරදවා සිතා මේ සත්ත්වයෝ මා විසින් මවන ලද්දාහු ය, මම ඔවුන්ගේ මැව්කාරයාය, සියල්ල ම දන්නා තැනැත්තාය, ලෝකයේ ප්‍රධානියායි පිළිගනී. පසුව උපන් බ්‍රහ්මයෝ ද තම තමන් උපදිද්දී ඔහු සිටිය බැවින් හා ඔහු අන්‍යයන්ට වඩා ආනුභාව සම්පන්න බැවින් ද මේ බ්‍රහ්ම තෙම ලෝකය මැව් තැනැත්තාය, අපි ඔහු විසින් මවනු ලැබුවෝයයි පිළිගනිති. මේ පළමු කොට ම බ්‍රහ්මලෝකයේ සත්ත්වයන් මැව්වාය යන දෘෂ්ටිය උපන් ආකාරයයි.

ඒ බ්‍රහ්ම ලෝකයෙහි උපන් බ්‍රහ්මයන් අතුරෙන් ද පසුව උපන් බ්‍රහ්මයෝ පළමු උපන් බ්‍රහ්මරාජයාට වඩා මඳ වූ ආයු ඇත්තෝ වූහ. එබැවින් ඔවුහු පළමු කොට ඉන් චුතව ඔවුන්ගෙන් සමහර කෙනෙක් මේ මිනිස් ලොවට පැමිණෙති. එයිනුදු ඇතැම් කෙනෙක් ගිහිගෙය හැරදමා තපසට වනයට ගොස් ධ්‍යාන උපදවා ගනිති. එසේ ධ්‍යාන උපදවා ගත් තැනැත්තාට පෙර විසූ කඳ පිළිවෙල දක්නා වූ නුවණ පහළ වේ. එයින් තමා අතීතයේ සිටියා වූ බ්‍රහ්ම ආත්මය පමණක් දකී. ඔහුගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය දුර්‍වල බැවින් ඉන් පූර්‍වයෙහි තමා ඉපිද සිටිය කඳ පිළිවෙළ ඔහුට නො පෙනේ. එබැවින් ඔහු ඉන් අතීතයෙහි තමා සිටි බව නො දැන බඹලෙව්හි සිටියදී ගෙන තිබූ මිථ්‍යා දෘෂ්ටිය නැවතත් ගනී. ඔහු මහජනයාට ද මෙසේ ප්‍රකාශ කරයි.

“මම වනාහි මහත් වූ වීර්‍ය්‍යයෙන් චිත්ත සමාධියකට පැමිණියෙමි. ඒ මට අතීතයෙහි විසූ කඳ පිළිවෙළ පෙනේ. මම අතීතය දක්නෙමි. මේ සත්ත්වයන්ගේ උප්පත්තිය සිදු වූයේ මෙසේ ය. බඹ ලෙව්හි ලෝකයට අධිපති වූ සියළු ලෝකය ම තමාගේ වසයෙහි පවත්නා වූ තමා මැඩපැවැත්විය හැකි කිසිවෙක් නැත්තා වූ කිසි කලෙක නො මැරෙන්නා වූ සියල්ල දත්තා වූ බ්‍රහ්ම රාජයෙක් ඇත. අවශේෂ සත්ත්වයෝ ඔහු විසින් මවන ලද්දාහු ය. මවන ලද අපි වනාහි ඔහු මෙන් නිත්‍ය නො වෙමු. අල්පායුෂ්ක වෙමු. එබැවින් ඒ බඹලොවින් චුතව මෙහි පැමිණියෙමුයයි” ප්‍රකාශ කරයි. මේ මනුෂ්‍ය ලෝකයට බ්‍රහ්මයා විසින් සත්ත්වයන් මවන ලද්දේ ය යන මිථ්‍යා දෘෂ්ටිය පැමිණි පිළිවෙළයි. මෙය ක්‍රමයෙන් මනුෂ්‍යයන් අතර පැතිරයාම නිසා මැවීම උගන්වන ආගම් ලෝකයේ බහුල වූහ. කරුණු මෙසේ හෙයින් නිර්මාණ වාදය පරම අසත්‍යක් බැව් දතයුතු.