නිශ්ශරණ නිර්වාණය.

star_outline

නිශ්ශරණ නිර්වාණය නම් :- යට සොපාදිශේෂානුපාදිශේෂ වශයෙන් දක්වන ලද අසංඛත ධාතුවයි. එය “ද්වේමා භික්ඛවේ නිබ්බාන ධාතු කතමා ද්වේ සඋදපාදිසෙසා නිබ්බාන ධාතු අනුපාදිසෙසා නිබ්බාන ධාතු” යනු ඉතිවුත්තක පාලියෙහි වදාරා තිබේ.

“එකාහි ධාතු ඉද දිට්ඨ ධම්මිකා

සඋපාදිසෙසා භවනෙත්ති සංඛයා

අනුපාදිසෙසා පන සම්පරායිකා

ය නිරුජ්ඣන්තිම්හි භවානි සබ්බසො”

යනුවෙන් ඉති වුත්තකයෙහි සෝපාදිසේස නිර්වාණයට දෘෂ්ට ධාර්මික නිර්වාණයැයිද අනුපාදිශේෂ නිර්වාණයට සාම්පරායික නිර්වාණයැයිද වදාරා තිබේ.

නිශ්ශරණ නිර්වාණ සඞ්ඛ්‍යාත අසංස්කෘත ධාතුවගේ ප්‍රභේද අභිධර්ම සත්‍ය විභඞ්ගපාල්‍යානුසාරයෙන් දත යුත්තාහුය. ඒ මෙසේයි. තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය නිරෝධසත්‍ය සඞ්ඛ්‍යාත නිර්වාණය වූ බැවින් චක්ෂුසෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. සෝතසයෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. ඝ්‍රාණයෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. ජිහ්වායෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. කයෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. සිතෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරෝධය එක නිර්වාණයකි. මෙසේ ආධ්‍යාත්මිකායතන සයෙහි නිර්වාණ සයක් වේ. මෙසේ රූප ශබ්දාදි බාහ්‍යායතන සයෙහි නිර්වාණ සයක් ද, චක්ෂුර්විඥානාදි ෂට්විඥානයෙහි නිර්වාණ සයක් ද, චක්ඛුසම්ඵස්සාදි ඵස්ස සයෙහි නිර්වාණ සයක් ද, චක්ඛු සම්ඵස්සජවේදනාදි වේදනා සයෙහි නිර්වාණ සයක් ද, රූප සඤ්ඤාදි සඤ්ඤා සයෙහි නිර්වාණ සයක් ද, රූප සඤ්චේතනාදි චේතනා සයෙහි නිර්වාණ සයක් ද, රූප විතක්කාදි විතක්ක සයෙහි නිර්වාණ සයක් ද, රූප විචාරාදි විචාර සයෙහි නිර්වාණ සයක්දැයි මෙසේ සත්‍යවිභංගයෙහි හා මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දක්වන ලද තෘෂ්ණා නිරෝධස්ථානයන් නිමිත්තකොට නිරෝධසත්‍ය සංඛ්‍යාත නිර්වාණ සැටක් වෙයි. මේ සැට අර්හත් පුද්ගලයන්ගේ වශයෙන් ගුණ කළ කල්හි අසඞ්ඛ්‍ය අප්‍රමෙය්‍ය නිර්වාණයෝ වෙත්. විභඞ්ග පාලියෙහි දේශනා කොට නොමැති නමුත් දුක්ඛ නිරෝධ පදයාගේ වශයෙන් චක්ෂුසගේ නිරවශේෂ නිරෝධය එක නිර්වාණයක, සෝතයාගේ නිරවශේෂ නිරෝධය එක නිර්වාණයක යනාදි වශයෙන් නිරුද්ධ වන දුඃඛ ධර්මයන්ගේ භේදයෙන් ද නිර්වාණයාගේ අනන්තා පරිමාණ භේද විය හැකි බව දතයුතු. තවද “අවිජ්ජායත්වෙව අසේස විරාග නිරොධො සංඛාර නිරොධො සංඛාර නිරොධො විඤ්ඤාණ නිරොධො” යනාදීන් වදාළ ප්‍රතීත්‍ය සමුත්පාදාංගයන්ගේ නිරෝධයාගේ සෝපාදිශේෂානුපාදිශේෂ මිශ්‍රක නිර්වාණ දොළසක් ද වෙයි. ලෝභයාගේ නිරෝධය එක නිර්වාණයක, ද්වේෂයාගේ නිරෝධය එක නිර්වාණයක යනාදි වශයෙන් තදංග නිර්වාණයෙහි මෙන් නිරුද්ධ වන ධර්ම භේදයෙන් ද අසංඛෙය්‍ය අප්‍රමේය නිර්වාණ භේදයෝ වෙත්. මෙසේ තෘෂ්ණා නිරෝධස්ථාන භේදයෙන් හා නිරුද්ධ වන ධර්මයන්ගේ ද භේදයෙන් නිර්වාණ බොහෝ ගණනක් වන නමුත් අනිමිත්ත වූ නිර්වාණ ධර්මය මුඛ්‍ය වශයෙන් ශාන්ති ලක්‍ෂණ සඞ්ඛ්‍යාත ස්වකීය

ස්වභාවයෙන් එක ම ධර්මයකි.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ ද්විතීය පරිච්ඡේදය නිමි.