අනුපාදිශේෂ නිර්වාණය

සකල ක්ලේශයන් ප්‍රහාණය කොට නිර්වාණයට පැමිණ සිටින රහතන් වහන්සේලා ද තම තමාගේ වර්තමාන ස්කන්ධ කය පරිහරණය කිරීම නමැති දුඃඛයෙන් මිදුනාහු නොවෙති. එහෙයින් උන්වහන්සේලා සෝපාදිශේෂ නිර්වාණයට පැමිණියාහු නමුත් දුක් සහිත වූවෝ ම ය. ච්‍යුති චිත්තයාගේ හා කර්මජ රූපයන්ගේ නිරෝධයෙන් හෙවත් ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේලා සර්වප්‍රකාරයෙන් ස්කන්ධභාර පරිහරණ දුඃඛයෙන් මිදී නිවනට පැමිණෙත්. ඒ පරිනිර්වාණයෙන් පසු පැමිණෙනු ලබන නිර්වාණ ධාතුවට උපාදි නම් වූ ස්කන්ධ භාරාභාවය නිමිත්තකොට “අනුපාදිශේෂ නිර්වාණය” යි කියනු ලැබේ.

මෙසේ උපාදි නම්වූ ස්කන්ධයන්ගේ ශේෂාශේෂ භාවය නිමිත්ත කොට නිර්වාණය ද්විප්‍රභේද වන නමුත් එය ශාන්ති ලක්‍ෂණ සඞ්ඛ්‍යාත ස්වකීය ස්වභාවයෙන් එක ම ධර්මයකි. ඒ බව යට දක්වන ලද පිළිකා උපමාවෙන් දත යුතු. මේ අර්ථය ප්‍රකාශ කරනු සඳහා ආචාර්‍ය්‍යවරයෝ තවත් උපමාවක් දක්වත්. ඒ මෙසේ යි: එක්තරා පුරුෂයෙක් තෙම යම්කිසි අකුශල කර්මයකින් පොළොව යට උපන්නේ ය. කර්මය විපාක දී අවසාන වන කල්හි පළමුකොට ඔහුගේ හිස පෘථිවියෙන් මතුවී ආකාශයෙහි පිහිටියේ ය. මෙසේ දෙවෙනි වර නාභිය දක්වා ද තුන්වන වර දණ මඬල දක්වා ද සතරවෙනි වර ගොප් ඇටය දක්වා ද පොළොවෙන් නික්මියේ ය. පස්වෙනි වර සකල ශරීරය ම පොළොවෙන් නික්ම පොළොව මතුපිට ආකාශයෙහි පිහිටියේ ය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයා විසින් පස්වාරයකින් ආකාශයට පැමිණෙන ලද නමුත් පැමිණෙන ලද ආකාශය එකක් ම වේ. එමෙන් චතුර්‍මාර්ගක්‍ෂණයන්හි ක්ලේශ ප්‍රහාණය කිරීමෙන් වාර සතරකට ද අනුපාදිශේෂ පරිනිර්වාණ සමයෙහිදැයි, මෙසේ පස් වාරයකදීම පැමිණෙනු ලබන නිර්වාණය එකම ධර්මයක් වේ. සෝත ආපත්‍යාදි මාර්ගක්‍ෂණයන්හි සිදුවන ක්ලේශ ස්කන්ධ නිරෝධය නිර්වාණය නොවේ ය, සකල ක්ලේශ ස්කන්ධයන්ගේ නිරෝධය ම නිර්වාණ යැයි මුළාවිය හැකි වේ. ශ්‍රෝත ආපත්ති මාර්ගක්‍ෂණයෙහි නිරුද්ධවන කොටසක් වූ ක්ලේශ ස්කන්ධයෝ අනමතග්ග සංසාරයෙහි මතු කිසිකලෙක උපදින්නාහු නොවෙති. ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය නිරුද්ධ වූ පරිදි නිත්‍යවැ පවත්නේ ය. එහෙයින් කොටසක් වූ ක්ලේශ ස්කන්ධයන් ගේ නිරෝධය ද නිර්වාණ ධාතුව යයි දත යුතු. එය අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පැමිණෙනු ලබන නිර්වාණ ධාතුව හා සම්බන්ධව ම පවත්නේ ය.

මෙතෙකින් සෝපාදිශේෂානුපාදිශේෂ භේදය නිමි.