දැන් වේදනා සංයුක්තකයේ රහෝගත වර්ගයේ ප්‍රථම සූත්‍රයෙන් කොටසක අදහස සැකෙවින් දක්වනු ලැබේ. සර්වඥයන් වහන්සේ විසින් සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, අදුක්ඛමසුඛවේදනාවයයි වේදනා තුනක් වදාරන ලදහ. නැවත “යං කිඤ්චි වේදයිතං සබ්බන්තං දුක්ඛස්මිං” යනුවෙන් යම් වේදනාවක් වේ නම් ඒ සියල්ල දුඃඛයෝ යැයි වදාරන ලදී. එක්තරා භික්ෂුවක් සර්වඥයන් වහන්සේ කරා එළඹ සුඛ වේදනාව හා අදුඃඛමසුඛ වේදනාවකුත් ඇත යයි වදාරා වේදනා සියල්ල ම දුඃඛ යයි වදාරන ලද්දේ කුමක් සඳහා දැයි විචාළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණ; මා විසින් යම් කිසි වේදනාවක් වේ නම් ඒ සියල්ල දුඃඛ යයි වදාරන ලද්දේ සංස්කාරයන් ගේ අනිත්‍ය ස්වභාවය ක්‍ෂය ස්වභාවය නිරෝධ ස්වභාවය විපරිණාම ස්වභාවය සඳහා යයි වදාළසේක.
වේදනා තොමෝ සුඛාකාරයෙන් හා මධ්‍යස්ථාකාරයෙන් ආරම්මණරසය විඳින බැවින් ඒ රසානුභවනාකාරය ගෙන ස්වඥයන් වහන්සේ සුඛ වේදනා උපේක්‍ෂා වේදනාවන් ද වදාල සේක. ඒකාන්ත සත්‍ය වූ චතුඃසත්‍ය දේශනානුසාරයෙන් බලන කල ක්‍ෂණයක් ම පැවතී බිඳී යන්නා වූ වේදනාවෝ දුක් උපදවන බැවින් දුඃඛයෝ වෙති. සුඛයක් හෝ උපේක්‍ෂාවක් නොවේ ම ය. එබැවින් සුඛ වේදනාව නිවනෙහි නැත්තේ ය. නිවනෙහි සුඛ වේදනාව ඇත්නම් නිවන ද දුක්සහිත වූවක් ම වන්නේ ය. සුඛ වේදනාව නිවනෙහි නැත යයි කීම නිවනට ප්‍රශංසාවකි. එය ඇත යයි කීම නිවනට නින්දාවකි. එබැවින් වේදයිත සුඛය නැති බැවින් නිවන සුවයක් නොවේ යයි නො සැලකිය යුතු. නිවන සුව අතුරෙන් ශ්‍රේෂ්ඨ සුඛය වූ ශාන්ති සුඛ යැයි දතයුතු.
තෘතීය සූත්‍රයේ අදහස නිමි.