නිර්වාණයාගේ පරම සුඛත්වය

සුඛය වනාහි වේදයත සුඛය, ශාන්ති සුඛයැයි දෙවැදෑරුම් වේ. එයින් තම තමා විසින් ලබා ගන්නා ලද මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් අනුභව කිරීම වේදයිත සුඛ නමි. ඒ වනාහි තම තමාගේ අගයේ ප්‍රමාණයෙන් කහවණුවක් අගනා වූ සුඛය, කහවණු සියයක්, දහසක්, ලක්‍ෂයක්, අගනා වූ සුඛය යන ආදි වශයෙන් බහු ප්‍රභේද වේ. එයින් කහවණුවක් පරිත්‍යාග කොට ලැබිය යුතු වූ නැටුම් ආදියක් බැලීම හෝ මිහිරි ශබ්දයක් ශ්‍රවණය කිරීම හෝ සුගන්ධයක් ආඝ්‍රාණය කිරීම හෝ රසවත් ආහාරයක් අනුභව කිරීම හෝ සුඛස්පර්ශයක් කිරීම හෝ කහවණුවක් අගනා වූ වේදයිත සුඛයයි. සෙස්ස ද මේ නයින් දතයුතු.

පැමිණ පවත්නා වූ ද කල් නොගොස් පැමිණෙන්නා වූ ද පැමිණේදෝ නො පැමිණේදෝයි තැවෙමින් සිටිය යුතු වූ ද අනිෂ්ට විපත්තීන්ගේ නිවීම ශාන්ති සුඛ නමි. මේ සුඛය වනාහි යටකී මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සම්පත් විඳීම මෙන් විඳිය යුතු සුවයක් නොව පැමිණ තිබෙන්නා වූ ද පැමිණීමට තිබුණා වූ ද දුඃඛයන් ගෙන් මිදීම් මාත්‍රයකි. එය ද කහවණුවක් අගනා සුවය, කහවණු සියයක්, දහසක්, ලක්‍ෂයක්, කෝටියක් අගනා සුවය යන ආදි වශයෙන් නන් වැදෑරුම් වේ. එයින් කහවණුවක් පරිත්‍යාග කොට ලැබිය යුතු වූ රෝගාදි දුඃඛයකින් මිදීම කහවණුවක් අගනා වූ ශාන්ති සුඛයයි. සෙස්ස ද මේ නයින් දතයුතු.

මේ සුඛ දෙවර්ගය අතුරෙන් වේදයිත සුඛය ලාමක සුඛයයි. ශාන්ත සුඛය ප්‍රණීත සුඛයයි. හිස රුජාවක සුවය ඉතා ලාමක වූ ශාන්තියකි. නමුත් යම්කිසි සිටුවරයකුට හටගෙන තිබෙන හිසරුජාව සුව කළ හැකි එක ම වෛද්‍යවරයකු පමණක් සිටී නම් ඔහු එය සුව කර දීමට කහවණු ලක්‍ෂයක් ඉල්ලා සිටී නම් හෙතෙම කහවණු ලක්‍ෂය පරිත්‍යාග කොට සුවය ලබා ගන්නේ ය. නිරතුරුව හිස රුජාවෙන් පෙළෙමින් සිටීමට වඩා කහවණු ලක්‍ෂය පරිත්‍යාග කොට සුවය ලබා ගෙන සිටීම කහවණු ලක්‍ෂය තබාගෙන සිටීමට වඩා සියවාරයකින් උතුම් වේ. මෙය ස්වල්ප රෝගයක් හෙයින් කහවණු ලක්‍ෂය පරිත්‍යාග කිරීම අනුවණකමක්යැයි නො සිතිය යුතු. රජගහනුවර සිටු තෙම ජීවක වෛද්‍යාචාර්යයාට හිසරුජාව සුව කරදීමට සියලු සිටු සම්පත් පරිත්‍යාග කරන ලෙස පොරොන්දු විය. මෙසේ ලක්‍ෂයක් පරිත්‍යාග කොට ලබා ගන්නා ලද හිසරුජා සුවය නමැති ශාන්ති සුඛය කහවණු ලක්‍ෂයක් අගනේ ය.

හිස පැලී යන තරම් වේදනා උපදවමින් පවත්නා වූ හිස රුජාවක් රජකුහට වැළඳී සුව කර ගත නො හැකිව සිටින අතරට එය සුව කර දීමට සමර්ථ වූ වෛද්‍යයකු පැමිණ රාජ්‍යය පරිත්‍යාග කරතහොත් සුවකරමි යි කියයි නම් රජ තෙමේ ඒ මහත් දුඃඛයෙන් පෙළෙමින් රාජ්‍ය කිරීමට වඩා ඉන් මිදී සුවසේ විසීම ම උතුම් හෙයින් රාජ්‍යය පරිත්‍යාග කොට හිස රුජා සුවය ලබා ගන්නේ ම ය. එසේ රාජ්‍යයක් පරිත්‍යාග කොට ලබා ගන්නා ලද හිස රුජා සුවය රාජ්‍යයක් අගනා වූ ශාන්ති සුඛයකි. වේදයිත සුඛයන් අතරෙහි රාජ්‍යයක් පරිත්‍යාග කොට ලබා ගත යුතු එක සැපයකුදු නොමැත්තේ ය. එක් අයකුගේ අතෙහි නපුරු වූ මහත් දුක් උපදවන්නා වූ වණයක් හට ගත්තේ ය. එය සුව කළ නො හැකි රෝගයකි. නමුත් අත සිඳ දමන ලද්දේ නම් ඒ දුකින් මිදිය හැකි හෙයින් හෙතෙම වෛද්‍යයකු ලවා අත සිඳවා ඒ දුකින් මිදුනේ ය. මේ පුරුෂ තෙම අත පරිත්‍යාග කළේ කවර හේතුවක් නිසා ද යතහොත්? වණය ඇති කල ඇති වන්නා වූ දුඃඛයෙන් මිදීම සඳහා ම ය. ඔහුගේ ඒ ශාන්තිය අතක් පමණ අගනා ශාන්තියකි. අතක අගය මෙතෙකැයි පිරිසිඳිය නොහේ. වේදයිත සුඛයන් අතරෙහි වනාහි අතක් පරිත්‍යාග කොට ලැබිය යුතු සැපයක් නැත්තේ ය. අත් පා සියල්ලක් සිඳ දමා පරිත්‍යාග කොට ද මරණයෙන් නිදහස ලබාගත යුතු වේ. එහෙයින් එක මරණයක නිදහස නමැති ශාන්තියේ අගය පිරිසිඳිය නොහේ. මේ සත්ත්වයෝ සංසාරයෙහි සැරිසරමින් සිටියහොත් එක එක සත්ත්වයකුට පැමිණෙන මරණයන්ගේ සංඛ්‍යාවක් නැත්තේ ය. අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මරණයෝ පැමිණෙත්. නිවනට පැමිණි සත්ත්වයාට පැමිණි වහාම අනන්ත මරණයන්ගෙන් නිදහස නමැති ශාන්තිය ලැබේ. එක මරණකයකින් නිදහස් වීමේ අගය මෙතෙකැයි පිරිසිඳිය නොහැකි කල අනන්තාපරිමාණ මරණයන්ගෙන් නිදහස් වීමේ අගය කෙසේ පිරිසිඳිය හැක්කේද? නොහැක්කේ ම ය. සංසාරයෙහි වාසය කරන්නා වූ සත්ත්වයාට පැමිණෙන්නා වූ මරණ දුඃඛයෙන් අන්‍ය වූ ද අපාය දුක්ඛාදි අප්‍රමාණ දුක්ඛයෝ වෙත්. ඒ සියල්ලගේ නිවීම නමැති ශාන්ති සුඛය නිර්වාණයයි. එහෙයින් නිර්වාණය අවේදයිත සුඛස්වරූපයෙන් පවත්නා ධර්මයක්යැයි දත යුතු. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ත්‍රිවිධ ලෝකවාසී සකල සත්ත්වයන් විසින් විඳිනු ලබන්නා වූ සකල ලෞකික සම්පත්තිය ම නිවනට පැමිණි එක පුද්ගලයකු ලැබූ ශාන්තියෙන් ලක්‍ෂයෙන් කොටසකුදු නොවටනේ ම ය. එහෙයින් නිර්වාණය ම පරම සුඛ යැයි දත යුතු.

මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ත්‍රිවිධ ලෝකයෙහි වූ සකල ලෞකික සම්පත්තීහු ම ඒකාන්තයෙන් දුඃඛයෝ ම ය. ඔවුහු සංස්කාර දුඃඛ, විපරිනාම දුඃඛ, දුඃඛ දුඃඛ යන දුඃඛත්‍රයෙන් සත්ත්වයන් පෙළන්නා වූ ධර්මයෝ ම ය. මේ සත්ත්වයෝ නිවනට නො පැමිණ භවාග්‍රයට පැමිණ ලෞකික සම්පත් අතුරෙන් ශ්‍රේෂ්ඨ සම්පත වූ බ්‍රහ්ම සම්පත් විඳිමින් සිටියාහු නමුත් දුක් සහිත වූවෝ ය. දෘෂ්ටි විචිකිත්සා යන ක්ලේශද්වය ප්‍රහාණය නො කළ තැනැත්තේ භවාග්‍රයට පැමිණ සිටියේ නමුත් ඔහුට අට මහ නරකයට පැමිණීම ඇත්තේ ම ය. එපරිද්දෙන් ම එකසිය විසිඅටක් වූ ඔසුපත් නරක වලට ද සකල තිරශ්චීන යෝනි වලට ද සකල ප්‍රේත යෝනි වලට ද සකල අසුර යෝනි වලට ද පැමිණීම ඇත්තේ ය. රාජ චෝරාදි සකල භය පැමිණීම ද ඇත්තේ ය.

එපමණක් නොව පෘථග්ජන පුද්ගල තෙමේ භවාග්‍රයෙහි සිටියේ නමුත් මතු වැද්දෙකු වීමට ද, සොරෙකු වීමට ද, මාතෘ ඝාතකයකු වීමට ද, පීතෘ ඝාතකයකු වීමට ද, අරහන්ත ඝාතකයකු වීමට ද, ලොහිතුප්පාදකයකු වීමට ද, සංඝ භේදකයකු වීමට ද, දෙසැට මිථ්‍යා දෘෂ්ටිය උගන්වන ආචාර්යයකු වීමට ද, කල්ප විනාශ වුව ද නරකයෙන් මිදිය නො හැකි නියත මිථ්‍යා දෘෂ්ටිකාචාර්යයකු වීමට ද, තිබියදී ම භවාඝ්‍රයේ වාසය කෙරේ. තදන්‍ය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භූමි වල වාසය කරන්නවුන් ගැන කියනු ම කවරේද? එක් එක් සත්ත්වයකුට මතු සසරදී පැමිණිය හැකි යයි කියන ලද භය සමූහයට පැමිණීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීහු යයි කියන ලද වේදයිත සුඛයෝ උපකාරක ධර්මයෝ වෙත්. මෙසේ ලෞකික සම්පත්තීන්ගේ භය ජනකත්වය දැන නිර්වාණ සම්පත්තියේ ශ්‍රේෂ්ඨත්වය සිතා බැලිය යුතු.