සත්ත්වයෝ වනාහි නේරයිකයෝ ය, තිරශ්චීනයෝ ය, ප්‍රේතයෝ ය, මනුෂ්‍යයෝ ය, දෙවියෝ ය යයි පස් වර්ගයකි. එයින් නේරයික සත්ත්වයෝ නම්; අටමහ නරකයෙහි හා එක්සිය විසි අටක් වූ ඔසුපත් නරක වලද දුක් විඳින්නා වූ සත්ත්වයෝ ය. ඔවුහු මනුෂ්‍යයන් මෙන් දෙපා ඇති සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන්ගේ ශරීර ඉතා මහත් වෙයි. ඇතැම් කෙනකුගේ ශරීරය ගවු පමණ ද, ඇතැම් කෙනකුගේ ශරීරය දෙගව් පමණ ද, ඇතැම් කෙනකුගේ ශරීරය තුන්ගව් පමණ ද, ඇතැම් කෙනකුගේ ශරීරය යොදුන් පමණ ද විශාල වේ. අවීචි මහා නරකයෙහි පැසෙන්නා වූ දේවදත්තයාගේ ශරීරය සියක් යොදුන් ශරීරයකි. ඔවුන්ගේ ශරීර මනුෂ්‍යයින්ගේ ශරීර මෙන් තද නො වෙයි. පෙණ පිඬු මෙන් ඉතා සියුම් වෙයි. දුර්වල වෙයි. මහනිල් මල් පෙත්තකින් ගැසුව ද කැඩී යන තරම් ය. නේරයික සත්ත්වයන්ගේ ස්වභාවය යි.
තිරශ්චීන සත්ත්වයෝ වනාහි ඉතා විසිතුරු වූ කොටසකි. ඔවුහු සාමාන්‍යයෙන් පා නැති සත්ත්වයෝ ය, දෙපා ඇති සත්ත්වයෝ ය, සිව් පා ඇති සත්ත්වයෝ ය, බොහෝ පා ඇති සත්ත්වයෝ යයි සතර කොටසකට බෙදති. එකී එක එක කොට්ඨාසයක එකිනෙකට ශරීර ස්වභාව ගතිගුණ ආදියෙන් බොහෝ වෙනස්කම් ඇත්තා වූ දහස් ගණන් සත්ත්ව ජාතීහු වෙති. ඔවුන් අතර මනුෂ්‍ය ඇසට නො පෙනෙන තරම් කුඩා සත්තු ද වෙති. යොදුන් ගණන් විශාල සත්තු ද වෙති. ප්‍රේතයෝ නම් නානා විධ ශරීර ඇති සැපයෙන් පහ වූ මනුෂ්‍යයින්ට නො පෙනෙන්නා වූ සත්ත්ව කොටසකි. ඔවුහු සාමාන්‍යයෙන් ජාති දොළසකට බෙදා දක්වා තිබේ. ඔවුන්ගේ නම් හා ස්වභාවය මතු දක්වන පරිද්දෙන් දතයුතු.
1. වන්තාස - සෙම්සොටු ආහාර කොට ඇති ප්‍රේතයෝ.
2. කුණපාස - මිනිසුන්ගේ හා සතුන්ගේ මලකුණු ආහාර කොට ඇති ප්‍රේතයෝ.
3. ගූථඛාදක - අසූචි ආහාර කොට ඇති ප්‍රේතයෝ.
4. අග්ගිජාලමුඛ- කටින් නික්මෙන්නා වූ ගිනිදැල් ඇති ප්‍රේතයෝ.
5. සුචිමුඛ - ඉඳිකටු මලක් පමණ මුඛය ඇති මහා සැළියක් පමණ බඩ ඇති ප්‍රේතයෝ.
6. තණ්හට්ටිත - සාගින්නෙන් හා පිපාසයෙන් නිතර සිටින බැවින් ආහාරපානාශාවෙන්
පෙළෙන ප්‍රේතයෝ.
7. සුනිජ්ඣාමක - ගින්නේ දා ගිය කණුවක් මෙන් වියළී ගිය ශරීර ඇති ප්‍රේතයෝ.
8. සත්ථඞ්ග - ආයුධ වැනි වූ තමාගේ ශරීරය ම කැපෙන නිය ආදි ශරීරාවයව ඇති
ප්‍රේතයෝ.
9. පබ්බතඞ්ග - පර්වත ප්‍රමාණ වූ විශාල ශරීර ඇති ප්‍රේතයෝ.
10. අජගරඞ්ග - පිඹුරන්ගේ ශරීර වැනි ශරීර ඇති ප්‍රේතයෝ.
11. වේමානික - විමාන වල ඉපද සැප දුක් දෙක ම කලින් කල විඳින්නා වූ ප්‍රේතයෝ.
12. මහිද්ධික - කැලෑවල වාසය කරන්නා වූ මහත් වූ සෘද්ධි ඇති ප්‍රේතයෝ.
තවත් මෙහි නො දක්වන ලද්දා වූ මස්පිඩු වැනි ශරීර ඇති ප්‍රේතයෝ ය, ඇට සැකිලි බඳු ශරීර ඇති ප්‍රේතයෝ ය, සම නැති ප්‍රේතයෝ ය යන ආදි නොයෙක් වර්ගවල ප්‍රේතයෝ ද වෙසෙති.
මනුෂ්‍යයන් ගැන විශේෂයෙන් කිවයුත්තක් නැත්තේ ය. දෙවියෝ නම් මනුෂ්‍යයන්ට වඩා අධික වූ සැප ඇත්තා වූ, මනුෂ්‍යයන්ට නො පෙනෙන්නා වූ මහානුභාව සම්පන්න වූ සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන්ගෙන් සමහරෙක් මේ පෘථිවිය ඇසුරු කොට වෘක්‍ෂ පර්‍වතාදියෙහි විමන්වල වෙසෙති. සෙස්සෝ ආකාශයෙහි විමන් වල වෙසෙති. ඔවුන්ගේ ශරීර ද නොයෙක් ප්‍රමාණවලින් යුක්ත වේ. දෙවි කෙනෙක් වූ රාහු නම් අසුරේන්ද්‍රයාගේ ශරීරය සාර දහස් අටසීයක් යොදුන් උස් වේ. දෙවියන්ගෙන් කොටසකට බ්‍රහ්මයෝ යයි කියනු ලැබෙත්.
ඔවුන්ගේ කොටසකට සිත පමණක් මුත් කයක් නැත්තේ ය. කොටසකට කය මිස සිතක් නැත්තේ ය. කොටසකට සිත කය දෙක ම ඇත්තේ ය. නමුත් ඔවුන්ගේ කයෙහි ඝ්‍රාණ, ජිව්හා, කාය යන ඉන්ද්‍රිය තුන නැත්තේ ය. ඔවුන්ගේ ශරීරයන්හි යොදුන් සිය දහස් ගණන් විහිදෙන්නා වූ ආලෝකය ඇත්තේ ය. ඔවුන්ගේ ශරීර අතිශයින් සියුම් ද වෙති. ඒවා කාමාවචර දෙවියන්ගේ ඇස්වලට ද නො පෙනෙති.