උපසීව ගාථා

star_outline

දැන් සූත්‍ර නිපාත පාරායන වර්ගයෙහි එන උපසීව ප්‍රශ්න ගාථා හා අර්ථ අදහස් දක්වනු ලැබේ. ඒ සූත්‍රයෙහි ප්‍රශ්න ගාථා සතරක් හා විසර්ජන ගාථා සතරක් ද වෙයි. එයින් පශ්චිම පෘච්ඡාගාථාද්වය හා විසර්ජනා ගාථාද්වය මෙසේ යි.

තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායි

පුගං පි වස්සානි සමන්තචක්ඛු

තත්ථෙච සො සීති සීයා විමුත්තො

චවෙථ විඤ්ඤාණං තථා විධස්ස

මේ උපසීව මාණවකයා විසින් සර්‍වඥයන් වහන්සේගෙන් විචාරන ලද ප්‍රශ්නයයි.

“සමන්ත චක්ඛු, හාත්පස දක්වන නුවණැස් ඇති සර්වඥයන් වහන්ස; සො, ඒ; ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි පුද්ගල තෙමේ; අනානුයායි, අන්තැනකට නොයන්නේ; පුගං පි වස්සානි, බොහෝ වර්ෂ සමූහයක් මුළුල්ලෙහි; චෙ, ඉදින්; තිට්ඨෙ, සිටින්නේ නම්; සො, හෙතෙම; තත්ථෙව, ඒ ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි ම; විමුත්තො, මරණාදි දුක්ඛයන්ගෙන් මුක්තවූයේ; සීති සියා, සීතල ස්වභාවයට පැමිණියේ වේද; අථ, එසේ නොව; තථා විධස්ස, එබඳු ස්වභාව ඇති පුද්ගලයාගේ; විඤ්ඤාණං, විඤ්ඤාණය; චවෙ, චුතවේද යනු අර්ථයි.

අච්චි යථා වාතවෙගෙන ඛිත්තා

අත්ථං පලෙති න උපෙති සඞ්ඛං

එවං මුනී නාම කායා විමුත්තො

අත්ථං පලෙති න උපෙති සඞ්ඛං

මේ සර්‍වඥයන් වහන්සේගේ විසර්ජනයයි.

වාතවෙගෙන, වායු වේගයෙන්; ඛිත්තා, පිඹහරින ලද; අච්චි, ගිනිසිළ; අත්ථං, අස්තයට හෙවත් නිවීමට; යථා, යම්සේ; පලෙති. යන්නේද; සඞ්ඛං, අසවල් දිශාවට ගියේ ය යන සඞ්ඛ්‍යාවට; න උපෙති. නො පැමිණෙන්නේද; එවං, එපරිද්දෙන්; නාම කායා, නාම ධර්‍ම සමූහයෙන්; විමුත්තෝ, මිදුණාවූ; මුනි, භික්ෂු තෙම; අත්ථං, අස්තයට හෙවත් අතුරුදහන් වීමට; පලෙති, පැමිණේ; සඞ්ඛං, ප්‍රඥප්තියක් ආරූඪකොට ව්‍යවහාර කළහැකි සංඛ්‍යාවට; න උපෙති. නොපැමිණේ යනු අර්ථයයි.

උපසීව තවුස් තෙමේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි. ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය කරණකොට රූප කයින් මුක්ත වූවෙකි. එහෙයින් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ප්‍රධාන කොට දුඃඛ වෘතයෙන් එතර වන නියාව විචාළේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ නාම කයෙහි ආස්වාදනය කරන්නා වූ අරූප තෘෂ්ණාව කෙරෙන් මිදීමට නය දෙනුයේ “නාමකාය විමුත්තො” යි වදාළ සේක. උපසීව තාපස තෙමේ අරූප තෘෂ්ණාව දුරු කර ගත නොහී නාම කයෙන් නොමිදියේ නම් ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සිට ඉන් චුතව සංසාරයෙහි නැවත භවයෙන් භවයට ගමන් කරන්නෙක් වන්නේ ය. අරූප තෘෂ්ණාව දුරුකොට නාම කයින් මුක්ත වූයේ නම්; වාත වේගයෙන් පිඹ හරින ලද ගිනිසිල කිසි දිශාවකට නො පැමිණ අතුරුදහන් වන්නාක් මෙන් ඒ භූමියෙහි ම නාම ධර්‍ම පරම්පරාවගේ ද නිවීමට පැමිණේ. ව්‍යවහාරයට නගා ව්‍යවහාර කළ හැකි කිසිවකට නොපැමිණේය යනු මෙහි අදහසයි.

මෙහි “අත්ථං පලෙති” යන්නෙන් ප්‍රකාශිත නිර්‍වාණයට පැමිණේය යන අර්ථයෙහි මනුෂ්‍ය ලෝකයෙන් චුතව දිව්‍ය ලෝකයට පැමිණේයැ යි කීමෙහි පැමිණිය යුතු දිව්‍ය ලෝකයය, පැමිණෙන පුද්ගලයාය, මනුෂ්‍ය ලෝකයෙන් චුතව දිව්‍ය ලෝකයෙහි පහළ වීමේ ක්‍රියාවය යන අඞ්ග තුන ඇතුවාක් මෙන් පැමිණිය යුතු නිර්වාණ භූමියය, පැමිණෙන පුද්ගලයාය, ස්කන්ධයන්ගේ පැවැත්ම අතුරුදහන් වී නිර්වාණ සඞ්ඛ්‍යාත ලෝකෝත්තර භූමියෙහි පුද්ගලයාගේ පහළවීම ය යන අඞ්ග තුන ලැබිය හැකි නොවේ.

ඒ පදය චූළ නිර්දේශ පාළියෙහි “අත්ථං පලෙතීති. අත්ථං පලෙති. අත්ථං ගමෙති. අත්ථං ගච්ඡති. නිරුජ්ඣති, වූපසම්මති. පටිප්පස්සම්භති” යි වර්ණනා කොට තිබේ. අත්ථං පලෙතීති, අත්ථං පලෙති යනු; අත්ථං, නිර්වාණයට හෙවත් අදර්ශනයට; පලෙති. පැමිණේ; අත්ථං, නිර්වාණයට; ගමෙති, යේ; අත්ථං, නිර්‍වාණයට; ගච්ඡති, යේ; නිරුජ්ඣති, නිරුද්ධ වේ; වූපසම්මති, ව්‍යපශමනය වේ හෙවත් සන්සිඳේ; පටිප්පස්සම්භති, සන්සිඳේ යනු අර්ථයයි. මේ පද සය අතුරෙහි පූර්ව පදත්‍රයෙන් හුදකලා වූ අර්ථය ම දක්වන ලදී. “අත්ථං පලෙති” යන ආදි දෙකක් දෙකක් බැගින් වූ පදයන්ගේ ප්‍රකාශිතාර්ථය ස්කන්ධයන්ගේ නිවීම වූ එක ම ධර්මය බව “නිරුජ්ඣති” යන ආදි පශ්චිම පදත්‍රයෙන් දක්වන ලදී.

එහෙයින් ක්ලේශ ස්කන්ධ නිරෝධ සඞ්ඛ්‍යාත එක ම ධම්යට “අත්ථං පලෙති” යි වදාරන ලදැයි දතයුතු. මරණයට යේ, දිරීමට යේ, බිඳීමට යේ, යන දෙකක් දෙකක් වූ වචනයන්ගේ අර්ථ මැරේය, දිරාය, බිඳේයයි එක එකක් ම වූවාක් මෙනි.

“අත්ථඞ්ගතො සො උද වා සො නත්ථි

උදාහු චෙ සස්සතියා අරොගො

තම්මෙ මුනී සාධු වියාකරොහි

තථා හි තෙ විදිතො එස ධම්මො”

අත්ථඞ්ගතො, අස්තඞ්ගතවූ හෙවත් අදර්ශනයට පැමිණියා වූ; සො, හෙතෙම; උදනත්ථිවා, ඉදින් නැත්තේ හෝ වේද; උදාහු, නොහොත්; චෙ, ඒකාන්තයෙන්; සස්සතියා, ස්ථාවර වශයෙන්; අරොගො, පෙරළීම් රහිත වූයේද; මුනි, සර්වඥයන් වහන්ස; තං, ඒ කාරණය; සාධු, මොනවට; මෙ, මට; වියාකරොහි, විසඳා වදාළ මැනව; තෙ, නුඹ වහන්සේ විසින්; එස ධම්මෝ, මේ ධර්‍මය; තථාහි, අවිපරීතාකාරයෙන් ම; විදිතො, දන්නා ලදී. යනු අර්ථයයි.

ස්කන්ධ අනිකෙක, ස්කන්ධයන්ගේ ස්වාමී වූ ආත්මය අනිකෙක, පුද්ගලයාය සත්ත්වයාය ව්‍යවහාර කරනු ලබන්නේ ආත්මයට ම ය යන ලබ්දිය ලෝකයෙහි පැතිර පවත්නා වූ දෘෂ්ටියයි. ස්කන්ධ නිරුද්ධ වූ කල්හි පුද්ගලයා හෙවත් සත්ත්වයා සිඳේය යන ලබ්දිය නාස්තික දෘෂ්ටියයි. හෙවත් උච්ඡේද දෘෂ්ටියයි, “න හොති තථා ගතො පරම්මරණා” යන දෘෂ්ටිය ද මේ නාස්තික දෘෂ්ටියමැයි. ස්කන්ධ පමණක් නිරුද්ධව අතුරුදහන් වෙයි. ආත්මය කිසි කලෙක නිරුද්ධ නොවේය යන ලබ්දිය ආස්තික දෘෂ්ටියයි, හෙවත් ශාශ්වත දෘෂ්ටියයි. “හොති තථා ගතො පරම්මරණා” යන දෘෂ්ටිය ද මෙය ම වේ. සර්වඥයන් වහන්සේ විසින් පූර්ව ගාථාවේ “අත්ථං පලෙති” යන්නෙන් ස්කන්ධ නිරෝධය වදාරන ලද හෙයින් උපසීව පරිබ්‍රාජක තෙම ස්කන්ධ ස්වාමී වූ ආත්මය හෙවත් පුද්ගල තෙම ස්කන්ධ නිරෝධයෙන් පසු සිඳී යන්නේ ද නැතහොත් ස්කන්ධ සඞ්ඛ්‍යාත දුඃඛ ධම්යන් කෙරෙන් මිදී අන්‍යාකාරයකට පැමිණ නිත්‍යව සිටීදැයි ශංකා කොට දෘෂ්ටියට බැස මේ පශ්චිම ප්‍රශ්නය විචාළේ ය. සර්වඥයන් වහන්සේ විසින් මේ ආස්තික නාස්තික දෘෂ්ටිද්වය ප්‍රතික්ෂේප කරන ලද්දකි. එහෙයින් කච්චානගොත්ත සූත්‍රයෙහි “අත්ථිති ඛො කච්චාන එකො අන්තො, නත්ථිති ඛො කච්චාන දුතියෝ අන්තො” යි වදාරන ලදී. අත්ථි යන මේ ලබ්දිය එක් හීන ලබ්දියෙක, නත්ථි යන මේ ලබ්දිය දෙවෙනි හීන ලබ්දියක යනු භාවයි. සර්‍වඥ දේශනාව පරිදි පුද්ගලයා සත්ත්වයා ආත්මය ජීවය යන මොවුහු මුඛ්‍ය වශයෙන් නැත්තාහු ය. නාම රූප ධර්මයෝ ම ඒකාන්තයෙන් ඇත්තාහුය. ඔවුහු අවිද්‍යා තෘෂ්ණාදි හේතු ධර්ම පවත්නා තුරු උච්ඡේද ස්වභාවයට නො පැමිණෙන්නාහු ය. හේතු ධර්ම ප්‍රහාණය කළ කල්හි ඒකාන්තයෙන් නිරෝධයට පැමිණෙන හෙයින් සංසාරයෙහි නිත්‍යයෙන් පවත්නා වූ අස්ති ස්වභාවයෙන් යුක්ත වූවාහු ද නොවෙත්. එහෙයින් ආස්තික නාස්තික දෘෂ්ටි වලට බැස උපසීව පරිබ්‍රාජකයා විසින් විචාරණ ලද ප්‍රශ්නය ආස්තික නාස්තික ස්වභාවයෙන් මුක්ත වූ අන්‍ය පර්‍ය්‍යායකින් විසඳනු කැමති සර්වඥයන් වහන්සේ,

“අත්ථඞ්ගතස්ස න පමාණ මත්ථි

යෙන නං වජ්ජු තං තස්ස නත්ථි.

සබ්බේසු ධම්මේසු සමූහතෙසු

සමූහතා වාදපථාපි සබ්බෙති” යි වදාළ සේක.

අත්ථඞ්ගතස්ස, නාම රූප ධර්මයන්ගේ නිරෝධයෙන් අදර්ශනයට ගියාවූ පුද්ගලයාගේ; පමාණං, ඇත්තේය කියා හෝ නැත්තේය කියා හෝ ව්‍යවහාර කළ හැකි ප්‍රමාණයෙක්; නත්ථි, නැත්තේ ය; යෙන, යම් පරමාර්ථ ධර්ම සමූහයක් කරණ කොට; නං, ඒ පුද්ගලයා; වජ්ජු, නාම ප්‍රඥප්ති ආරූඪකොට ව්‍යවහාර කළාහුද; තස්ස, ඔහුට; තං, ඒ පරමාර්ථ ධර්ම සමූහය; නත්ථි, නැත්තේ ය; සබ්බේසු, සියළු; ධම්මේසු, පරමාර්ථ ධර්මයන්; සමූහතෙසු, මොනවට නසන ලද කල්හි; සබ්බේ, සියළු; වාදපථාපි, ව්‍යවහාර මාර්ගයෝද; සමූහතා, මොනවට නසන ලද්දාහු වෙත්; යනු අර්ථයි.

මේ ගාථාවෙහි ප්‍රථම පාදයාගේ අදහස ද්විතීය පාදයෙන් ද, තෘතීය පාදයාගේ අදහස තෘතීය චතුර්ථ පාදයන්ගෙන් ද වර්ණනා කොට වදාරා තිබේ. අදහස වච්ඡ ගොත්ත සූත්‍රානුසාරයෙන් දතයුතු. මේ ගාථාවන්ගෙන් ද දතයුත්තේ රහතන් වහන්සේගේ සන්තානයෙන් නිර්වාණයට යන්නා වූ කිසිවක් නැති බැවින් නිර්වාණයට ගිය පුද්ගලයා අතීත ව්‍යවහාරයෙන් ම ව්‍යවහාර කරනවා මිස වර්තමාන ව්‍යවහාරය ආරූඪ කොට ව්‍යවහාර කළ හැකි කිසිවක් ඔහුගෙන් ශේෂව නිවනෙහි නැති බව ම ය.

මෙතෙකින් උපසීව ගාථාවන්ගේ අදහස නිමි.

මේ පරිච්ඡේදයෙහි එකිනෙකට වඩා වෙනසක් නැත්තා වූ මෙතෙක් සූත්‍ර දක්වන ලද්දේ ඇතැම්හු අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්වාණ ධර්මය සංකාර ධර්මයන් මෙන් සත්ත්වයන්ගේ නිත්‍ය වාසයට යෝග්‍ය වූ ධාතුවක් ලෙස ද නිවනට පැමිණියා වූ රහතන් වහන්සේලා එහි ඇත යයි ද වරදවා තේරුම් ගෙන තිබෙන හෙයිනි. මෙතෙකින් දක්වන ලද සූත්‍ර දේශානුසාරයෙන් ක්ලේශ ස්කන්ධයන්ගේ මතු නූපදනා කාරයෙන් සිදුවන නිරෝධය හැර නිර්වාණ ධාතුවයයි අන්‍ය ධර්මයක් නොමැති බව හා නිවනට පැමිණියා වූ රහතන් වහන්සේලා සම්බන්ධ කිසිවක් නිවනෙහි නැති බවත් අවබෝධ කරගත යුතු. “කායස්ස භෙදා ධම්මට්ඨො තින්නො පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො” යන ආදි දේශනාවන්හි නිර්වාණයෙහි පරිනිවියා වූ සත්ත්වයන් සිටින්නාක් මෙන් වදාරා තිබෙන්නේ පර්‍ය්‍යායයෙනි. සුව වූ ඇතැම් රෝගයන් සුව වූ පරිදි නොපැවතී නැවත හට ගන්නාක් මෙන් නිර්වාණයට පැමිණීමෙන් නිරුද්ධවන්නා වූ ක්ලේශ ස්කන්ධයෝ මතු කිසි කලෙක නැවත හට නොගනිත්. ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධයෙන් නිවනට පැමිණි තැනැත්තාගේ ස්කන්ධයෝ නැවත හටගන්නා වූ ස්වභාවයට පැමිණ නිවනෙහි නො සිට නැවත මනුෂ්‍යන් අතරට හෝ දිව්‍ය බ්‍රහ්මයන් අතරට හෝ නො පැමිණේ. මෙසේ නිවනට පැමිණි සත්ත්ව තෙම ඉන් හැරී නො එන බැවින් නිවනෙහි කිසිවෙක් නැතත් එහි සත්ත්වයන් සිටින්නාක් මෙන් ද නිවන ඔවුන්ගේ වාසස්ථානය මෙන් ද පර්‍ය්‍යායයෙන් ව්‍යවහාර කරනු ලැබේ.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ තෘතීය පරිච්ඡේදය නිමි.